තිස් වසරක යුද්ධයෙන් බිඳුනේ තල්රුක විතරමද (Talruka Was The Only One That Broke Through The Thirty Years Of War)

තිස් වසරක යුද්ධයෙන් බිඳුනේ තල්රුක විතරමද (Talruka Was The Only One That Broke Through The Thirty Years Of War) - Your Choice Way

යුද්ධය අපිට කොපමණ කිට්ටුදැයි , කොපමණ දුරදැයි කියන්නට මම නොදන්නෙමි . මට හිතෙනා පරිදි යුද්ධය යනු පාපයක් විනා අන්කිසිවකුත් නොවේ. යුද්ධය සමග අපිට නෑකමක් ඇත්තේම නැත. යුද්ධය යනු සමාජය නමැති ඵලදාව විනාස කිරීමට පැමිණි පළිබෝධක වසංගතයකි යන්න විනා අන් කිසි අර්ථකතනයක් ඊට ඔබින්නේම නැත. ලංකාව කෙරේ අවධානය යොමු කිරීමේදීද කිව යුත්තේ දශක ගණනාවක් තිස්සේ මෙරට උතුරත් දකුණත් අවුළුවමින් දැල්වුණ රුදුරු යුද්ධය අපි රටක් ලෙසටද මනුෂ්‍යත්වය අතින්ද ගවුගාණක් ආපස්සට රැගෙන ගිය බවය. ඉන් දිනූවකු හෝ සැනසීමක් කිසිවෙකුත් නොලැබූ අතර මනුෂ්‍යත්වය ඉන් අතරමංව අසරණ විය. සැබෑවටම යුද්ධයක් යනු දෙකොණ දැල්වුණ විලක්කුවක් පමණි . මේ පොළොව යුද්ධයකට ඔරොත්තු නොදෙන තරමට මටසිලිටිය.

උතුර දකුණ කඳුළින් තෙත්කළ අඳුරු යුගයට යලි පය තියන්නට මේ රටේ සිංහල, දෙමළ ,මුස්ලිම් හෝ අන් කිසිදු ජාතියක් හීනෙන්වත් නොපතන වග අපි සක්සුදක් සේ දන්නෙමු. කවරෙකු හෝ එවැනි අඳුරු අගාධයකට නැවත අපි තල්ලු කරන්නට වලිකන්නේ නම් , පිඹුරුපත් අඳින්නේ නම් ඒ මානසික සමතුලිතතාව බිඳී රෝගයකට ගොදුරු වූවකු විය යුතුය. අදටද මේ සිංහල ,දෙමළ, මුස්ලිම් සමාජය තුළ එවන් රෝගීන් නැතැයි තිර ලෙසම කිව නොහැක. එහෙයින් මෙසේ ලියා තැබිය යුතුව ඇත.

මෙරට හැම ගෙදරකම පූජාසනයක් ඇත. එහි කවර දෙවියකු හෝ බුදුන් වැඩ වසනු ලැබේ. ධම්මපදය , භගවත් ගීතාව හෝ කුරානයද එහි වේ . ඒ සියල්ල අතරට තැබිය යුතු යමක් ගැන මම සඳහන් කරන්නෙමි. ඒ ‘’ බිඳුණු තල් රුක’’යි .

මෙරට ඉපදුණු, ඉපදෙන සියලු දෙනාම සිහි බුද්ධියෙන් කියවා තෙරුම්ගතයුතු පොතක් වන ‘’ බිඳුණු තල් රුක’’ යනු ‘’ The Broken Palmyra’’ යන ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනයයි. එහි සඳහන් වන්නේ උතුර දකුණ යාකරමින් ඇවිලුණු කාලකණ්ණි යුද්ධයේ කටුක සත්‍යයයි. කිසිවෙකුත් නැවත යුද්ධයක් ගැන වැරදීමකින් හෝ හිතන්නේ නම් ඊට පෙර පැය කීපයක් මිඩංගු කොට ‘’ බිඳුණු තල් රුක’’ කියවන්නයි මම ඇයද ඉන්නෙමි. ඒ තරමටම ඒ අකුරු තුළ යුද ශාපයේ ඛේදාන්තය අපිට හකුළුවා පෙන්වන්නේය. ඒ අකුරු තුළ හමුවන්නේම කඳුළ, පසු තැවීම ලැජ්ජාව මිස වෙනයම් දෙයක් නොවේ. ඒ දුක්බර අන්තර්ගතය දිනෙක මෙරට සියලු මිනිසුන් මත සාමයේ සෙවනැළි පතිත කරන්නට මෙන්ම හිත මත සංහිදියාවේ පාවඩ එලන්නට තරම් ප්‍රබල හැගීම් දන්වනු ඇතැයි යන බලාපොරොත්තුවක් දල්වා ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් නොවනු ඇත.

‘’ බිඳුණු තල් රුක’’ හෙවත් ‘’ The Broken Palmyra’’ මුල් වරට ප්‍රකාශයට පත්කර ඇත්තේ 1988 දී ඇමෙරිකාවේ ‘’ හාර්වී – මඩ් විද්‍යාල මුද්‍රණාලය විසිනි. ‘’බිඳුණු තල් රුක ‘’ රචනාකොට ඇත්තේ කතුවරුන් සිවු දෙනකු විසිනි. නමින් යාපනය විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ රාජන් හූල් , මනෝ චිකිත්සක අංශයේ දයා සෝම සුන්දරම්, ගණිත අංශයේ කේ. ශ්‍රී ධරන්, සහ කායික විද්‍යා අංශයේ රාජිණි තිරාණගමය. සැකැවින් පවසන්නේනම් මොවුන් සිවු දෙනාම විශ්වවිද්‍යාලයෙ ආචාර්යවරුන්ය. උගත්කමින් සම වූ සේම මොවුන් සිවු දෙනාම යුද්ධයේ කර්කශ වූ සත්‍යයට සැබෑවටම මුහුණ දුන්වුන්ය. මෙම කෘතිය සිංහලයට පරිවර්තනය කිරීමේ ගෞරවය ප්‍රේමලාල් කුමාරසිරි වෙත හිමිවන අතර මෙහි ප්‍රකාශනය ලංකාවේ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය විසිනි. පරිච්චේද දාහතකින් හා පිටු 253 කින් මේ කෘතිය සමන්විතවේ.

මේ ලෝකයේ ගුරුවරයාගේ භූමිකාව හැමවිටම හඳුන්වන්නේ ‘’ දෙවියන් පොළොව මතට වැඩමවීම ‘’ ලෙසිනි. ගුරුවරයා එපමණටම පූජනීය වේ. ගුරුවරුන් වූ උගතුන් සිවු දෙනකු අතින් රචනා වූ මෙම කෘතිය ගුණාත්මක , සත්‍යවාදී බැවින් හා අපක්ෂපාතී බැවින් යුක්ත වීම නිසාම , ජීවිත අවධානමක් සමග උඩුගම්බලා පිහිනීමක් බව නොකිය සිටීම ඔවුන්ගේ අප්‍රතිහත මහන්සිය කෙරේ පලකරන නොසැලකිල්ලකි.

යාපනයේම වෙසෙමින් යුද ගින්දරේ පිළිස්සෙමින් වුවද ඔවුන් මෙම කෘතිය ලියමින් ගම්‍යමාන කොට ඇත්තේ තම උගත්කමේත් ගුරු වෘත්තියේත් යුතුකම වගකීම නොපිරිහෙළා ඉටුකළ බවය. ගුරුවරයා හැමවිටම යම් ප්‍රමාණයකට සමාජ විද්‍යාඥයකු මෙන් විමසිලිමත් වියයුතුය. සමාජ විද්‍යාඥයකු වනාහි සමාජයට ඉහළින් පියාසර කරනා රාජාලියකු මෙන් සංස්කෘතික,දේශපාලනික ,ආගමික, සමාජීය යන සියලු පැතිකඩයන් පිළිබඳ අවබෝධයක් , දැනුමක් ලබනා පිරිස් ය. ගුරුවරයාට එවන් දැනුමක් අවශ්‍ය වන්නේ අනාගත පරම්පරාව ගුණ නැණ නමැති පියාපත් වලින් ආඨ්‍ය කිරීම උදෙසාය. අකුරු, ඉලක්කම් ,න්‍යායන් , ප්‍රමේයයන් පිළිබඳ පමණක් දැනුම දී අත පිසදා ගැනීම සැබෑ ගුරුවරයකුගේ ලක්ෂණ නොවේ. මන්ද ගුරුවරයා යනු ශිෂ්‍යයන්ගේ පරමාදර්ශී චරිතයක් වන අතර ගුරු හිතේ පහළවනාන්නාවූ එක් වැරදි සිතිවිල්ලකට අංගුලිමාලවරු දහස් ගණනකට උපත දිය හැකි අතර මොහොතකින් ලෝකයම ගිනිබත් කළ හැකිය.

ඒ නයින් බලන කළ රාජන් හූල්, දයා සෝමසුන්දරම්,කේ. ශ්‍රීධරන්, රාජිණී තිරාණගම නම් ගුරුවරුන් තමන්ගේ ගුරු භූමිකාව ඉහටත් උඩින් ඉටුකොට ඇති වග ‘’ බිඳුණු තල් රුක කියවන්නෙකුට ඉඳුරාම වැටහෙනු ඇත. ගුරුවරයාගේ කාර්යය ගින්දර නිවීම මිස ඇවිලීම නොවන වගත් ඔහුට බෙදා ගැනීමට ඇත්තේ දැනුම , අත්දැකීම් පමණක්ම මිස මහපොළොව නොවන වගත් ඔවුන් පෙන්වා හමාරය. ‘’ බිඳුණු තල්රුක ‘’ පිළිබඳ මීට බොහෝ කාලයකට පෙර මා දැන්නුවත් කරන ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ කථිකාචාර්ය ප්‍රියදර්ශනී ප්‍රේමරත්නය. උතුර පිළිබඳවත් යුද්ධය පිළිබඳවත් කතාකරන්නට පෙර මෙම පොත කියවන්නයි කී ඇයට මගේ ගෞරවාදරය පුදකරමි.

පොත්පත්, පුවත්පත්,රූපවාහිනිය හෝ ගුවන් විදුලිය මගින් අපි දුටු ඊලාම් යුද්ධයට වඩා යුද්ධයේ සැබෑ ස්වරූපය වචන මතින් ත්‍රිමාන කොට පෙන්වන්නට හැකි වූ තිරයක් ලෙස ‘’ බිඳුණු තල් රුක ‘’ නම් කළ හැකි බව නොරහසකි. දකුණ ගැනත් උතුර ගැනත් අඩු වැඩි නැතිව ලියා ඇති මෙහි සැඟවුණ කඳුළු කතා බොහොමයකි. ඔවුන් බිඳුණු තල් රුකෙහි සිංහල සංස්කරණයේ පෙරවදනෙහි මෙලෙස සටහන් කරයි.

‘’ මේ පොතේ සිංහල පරිවර්තනය එලි දකින්නේ , මේ රටේ සිටින ජන කණ්ඩායම් එකිනෙකා තේරුම් ගැනීමටත් , එකිනෙකාට ගරු කිරීමත් පෙර කවරදාටත් වඩා අත්‍යවශ්‍ය කාලයකදීය…. අපට අපේම ගරුත්වය රැක ගත හැක්කේ ,අන්‍යයන්ට ගරු කිරීමට අප උගත්විට පමණි. මෙම පොතෙන් සෑහෙන දුරකට සාකච්චා වන්නේ , එවැනි විශ්ව සාධාරණ මූලධර්මයන් බැරෑරුම්ව ගණන් නොගැනීමෙන් ද්‍රවිඩ සමාජය පත් වූ ඉරණම ගැනයි.’’

‘’ 1987 ඔක්තෝබර් මාසයේ ඇරඹී ඉන්දියානු සාම සාධක හමුදාවේ යුද ප්‍රහාරයන් මැද්දේ අප මේ පොත ලියන්නට පටන් ගත් විට , අප උත්සහ ගත්තේ අපේ දෑස් වලට පෙනුණු යතාර්ථය ගැන සිත් යොමු කිරීමටය . සිංහල පාඨකයෝ අතට එය පත් වේ යැයි එකල අපට සිතුනේ නැත. තුවක්කු අතින් දැරූ බලවේග , මුළු මහත් ප්‍රජාවක් මතම නිහඬබව සහ අසරණකම බලෙන් පටවා තිබු විටෙක අපට කළ හැකි එකම දෙය මෙම පොත ලිවීමයයි අපට සිතුනි. ”ඔවුන් ජීවත් වූ පීඩාකාරී පරිසරය කොපමණ දරුණු වී තිබෙන්නට ඇද්දැයි සිතන්නට මේ වදන් ඉහටත් උඩිනි. එවන් පරිසරයක් සුඛිත මුදිත කරන්නට යන්ත දරන්නට මනුෂ්‍යත්වයේ උණ්ඩ වලට ඇති හැකියාව බොහොම අවම වුවද කළහැකි එකම දේ අඳුරට ශාප නොකොට කුඩා පහනක් හෝ දැල්වීම බවට ඔවුන් විශ්වාස කළ බවට මේ උදාහරණයයි. කාගේ කාගේ හෝ නොදැනුවත්කම, බලලෝභීත්වය, පටු සිතිවිලි ආදි කණාටු වෘක්ෂයන්ගේ අමිහිරිතම ඵලය ලේ කඳුළු කොල්ලකන යුද්ධයක් පමණක් වූ කල මිනිසුන්ගේ අසරණ බවට සරණ විය හැක්කේ කෙසේද යන්න ගැන ප්‍රබල මතයක් පල නොකලද එවැන්නක අවශ්‍යතාවය බොහෝ ඉවසීමෙන් මෙහි පෙන්වා දීඇත.

‘’එක අතකින් දකුණේත් , බටහිර රටවලත් ජීවත්වන දෙමළ ජනයා සිතන්නේ සිංහලයන් ගැන විශ්වාසය තැබිය නොහැකි බවත් , දෙමල ප්‍රජාවට ඊළම් රාජ්‍යයක් හැර අන් කිසිවක් ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බවත්ය. එහෙත් හාමතයට ගොදුරුවන්නේ , බෝම්බ ප්‍රහාරයන්ට හසුවන්නේ , ෂෙල් වෙඩි වලට ඉලක්ක වන්නේ සහ මරණයට ගොදුරුවන්නේ බොහෝවිට පැනයාමට කිසිදු අවකාශයක් නැති දුප්පත් ජනතාවයි . රජයේ හමුදාවලින් ඔවුන් ලබන නිමක් නැති පීඩා වලට අමතරව , අධිපති ද්‍රවිඩ සටන්කාමි ව්‍යාපාරයෙන් කෙරෙන මහා පරිමාන මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමටද ඔවුහු ගොදුරු වෙති.’’ඌරන් කැකුණ තලනවිට හබන් කුකුලන්ට රජ මගුල්ය. යුද්ධයේ එක පැත්තක මෙවැනි මගුල් කෑම්ද බොහෝමය.

ඒ සියල්ලෙන්ම තැලී පොඩි වන්නේ අහිංසක ජනතාවය. මාධ්‍ය සංදර්ශනයන්ගෙන් එහා ගිය ගැඹුරු ගැටළු කෙරේ අවධානය යොමු නොකරන බොහෝ දෙනෙකුට යුද්ධය යනු විලද මී පැණි කවා පෝෂණය කරන ගිරාපෝතකයෙකි. ගිරවා දන්නේ කටපාඩම් කළ වචන කීපයක් මිස හොද නරක පිලිබඳ අදහස් නොවේ. ජීවිතේ කෙදිනක හෝ වෙඩි හඬක් ඇහෙනමානයක නොහිටි මිනිසුන් මේ යුධ වාතාවරණය උදෙසා උපදෙස් සපයමින් නැති ප්‍රශ්න ඇතිකරන්නට ඔස්තාද්ලා වෙති. මේ පිළිබඳ තව දුරටත් පෙරවදනෙහි මෙසේ සදහන්කොට ඇත.

‘’ අනෙක් අතට , කොළඹ ජීවත්වන සිංහල ප්‍රභූතන්ත්‍රය කියන්නේ , උතුරු නැගෙනහිර පළාත්වල වාසය කරන ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ හැගීම් තව තවත් දැල්වීමට හේතු වන පරිදි , එම පළාත්වල, එළිපිට මෙන්ම හොර රහසේමද , රාජ්‍ය තන්ත්‍රය යොදාගනිමින් සිංහල ජනපද පිහිටුවන ලෙසය. මේ ප්‍රභූන් පුවත්පත්වලින් ඔටුණු පළඳවනු ලැබූ වීරයන් වුවද , ජනපදවල පදිංචිකරුවන් වීමේ අභිලාෂයක් ඔවුන්ට නැත. තද බල ආරක්ෂාව මැද ඔවුන් ජනපද වලට යන්නේ චායාරූප ගැනීමේ අභිලාෂයන් සදහා පමණි.’’ ප්‍රභූන්ගේ ජීවිත අධික වටිනාකමකින් යුක්ත ලෙසද අහිංසක දුප්පත් මිනිසුන්ගේ ජීවිත තුට්ටුවක් පමණ වත් නොවටින ලෙස සිතා කටයුතු කළ දකුණේ ප්‍රභූත්වය පිළිබඳ මෙහි සදහන් කර ඇති දේ අසත්‍යක්යැයි කියන්නට කිසිවෙකුටත් නොහැකිය . මෙම ග්‍රන්ථය පිළිබඳ පවසන කතුවරුන් මෙසේද සදහන් කර ඇත. ඒ අප දන්නා උතුර දකුණ යාකළ ප්‍රසිද්ධ ප්‍රේම වෘතාන්තය මෙන්ම සැබෑ යුක්තිය උදා කරලීමට කැප වූ මෙවන් කෘතියක් ලිවීමට ඇත ගැසීමෙන් පවා තම ජීවිත අවධානම නොතකා ක්‍රියාකළ වෛද්‍ය රාජනී තිරානගම ගැනය. ඇය එල්. ටී.ටී.ඊ .ය අතින් මැරුම් කන්නටද හේතු වූවේ මේ හිත තුළ වූ අපක්ෂපාතීත්වය හා සාධාරණීය බවය.

බිය...
‘’මේ පොතට දකුණ සමග ඇති ඉතා වැදගත් සම්බන්ධයක් ගැනද සදහන් කිරීමට අපි මේ අවස්තාව යොදා ගන්නෙමු. මේ පොතෙහි සම කතුවරයෙකු වන අභාවප්‍රාප්ත රාජනී විවාහ වී සිටියේ , ඈත දකුණේ ගැමි පවුලකින් ආ බුද්ධිමතෙකු වූ දයාපාල තිරාණගම සමගය. රාජනී මේ රටේ සාමන්‍ය ජනයා වෙත මහත් ආදරයක් ඇතිකරගත්තේ ඔහුගේ ආභාෂයෙනි. ශිෂ්‍යයන් සහ පොදු ජනයා අතර ඈ කළ කටයුතු , මේ විවාහයේ ඵලයක් විය. මේ පොතෙහි මතු වූ අදහස් බොහෝ ප්‍රමාණයක් වෙනුවෙන් , අපි මේ සම්බන්ධයට ණය ගැති වෙමු.’’

දිනවකවානු සහිතව මෙහි ඇතැම් කරුණු දක්වා තිබීමෙන් ඕනෑම අයෙකුට වැඩි දුර තොරතුරු නිරීක්ෂණයට තව තවත් මූලාශ්‍ර සපයා ගැනීමට හැකියාවද මින් ලැබෙන අතර හැම විටම උතුර මෙන්ම දකුණ පිළිබඳවද සත්‍ය සිදුවීම් අගමුල ඇතිව ඉතා සංක්ෂිප්තව දක්වා ඇත්තේ පෙර සදහන් කර පරිදි ඔවුන් සතු වූ අපක්ෂපාතීත්වය තහවුරු කරමිනි. එල්. ටී.ටී.ඊ . සංවිධානයේ කියුම් කෙරුම් මෙන්ම ශ්‍රී ලංකා හමුදාව සම්බන්ධ සිදුවීම් හැරුණු කොට ඉන්දීය සාම සාධක හමුදාව පිළිබඳවත් , දකුණේ ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීමද මෙහි වේ.

තත්කාලීන සමාජයේ වූ දේශපාලනික ව්‍යුහය පවා පැහැදිලි ලෙස සදහන් කර තිබීම’’ බිඳුණු තල් රුකේ ‘’ තවත් වැදගත් ලක්ෂණයකි. එල් .ටී.ටී . ඊ .හි මෙන්ම ජේ.වී.පී.යෙත් ඒ කාලවකවානුවල පැවති ආණ්ඩුවලද පක්ෂවලද සීතාම්බර සළු ගලවා නිරුවත් හෙළිකරන්නට මෙම කෘතිය සමත් වී ඇත්තේ බොහෝ දෙනෙකු පුදුමයෙන් පුදුමයට පත්කරමිනි. මෙවන් ගැටුම්කාරී ශ්‍රී ලංකාවක් බිහිවන්නට පාදම් දැමූ අතීතයේ ලජ්ජා සහගත කතාවස්තුව මෙලෙස සමාජය අතට පත් වී ඇත.

‘’තවද විමුක්ති අරගල දෘෂ්ටීන් ගැන කරුණු එහෙන් මෙහෙන් අහුලා ගත් හා, විමුක්ති ව්‍යාපාරයක නාමයෙන් තුවක්කු කරගසා ගන්නා ඕනෑම කණ්ඩායමකට අනුකම්පාව දක්වන , බුද්ධිමතුන් කණ්ඩායමකගෙන්ද, ජ.වි.පෙ යට සහයෝගය ලැබෙයි.මොවුන්ගේ මතය අනුව එල්.ටී.ටී.ඊ ය ද්‍රවිඩයන්ගේ නිත්‍යානුකූල ප්‍රාර්ථනා නියෝජනය කළ පරිද්දෙන්ම ජ.වි.පෙ.ය සිංහලයන්ගේ නිත්‍යානුකූල ප්‍රාර්ථනා නියෝජනය කරයි.’’ (පි.223)‘’මරණ දඩුවම් ක්‍රියාත්මක කරන ලද්දේ අතිශයින් ඝෝර මිලේච්ඡ අන්දමිනි.මේ මරා දැමීම් වල පරපීඩාකාමුක හා තිරශ්චීන ස්වභාවයට සමකළ හැකි දෙයක් සමකාලින ඉතිහාසයෙන් සොයාගත නොහැකිය. මරා දැමීමෙන් පසුව වුව ද ජ.වි.පෙ. යේ . දඬු වම කෙලවර නොවීය. වළලන අන්දම ගැන නියෝග පනවන ලදී. නිදසුනක් වශයෙන් වැලලීම සදහා මිනිය ඔසවාගෙන යාම තහනම් විය . මේ අණට අකීකරු වුනොත් වලෙන් ගොඩගත් මිනිය පසුදා උදේ ගෙයි දොරකඩ තිබෙනු දක්නට හැකි විය.(පි.246)‘’කොටින් බෙහෙවින් අවුල් හා තැවුල් සිතැතිව සිටින බවු පෙනේ . ඔවුන්ගේ දෘෂ්ටිය හා සටන්ක්‍රම මහත් හානියට බඳුන් වී ඇත. …ජ්‍යෙෂ්ට නායකයෝ බොහෝ දෙනෙක් ව්‍යාපාරය අත් හැර ගොස් ඇත්තාහ. විමුක්ති අරගලය පිළිබඳ සැලකිය යුතු ලක්ෂණයක් නම් , එල්.ටී.ටී.ඊ .යට අළුතින් බැදෙන්නන් බොහෝ වශයෙන් ඉතා බාල වයසේ ගැටවරයන් වීමයි. ළමා රණකාමීන් නැතහොත් කව් ඇන්ඩ් ගේට් ( ළදරු කිරි) රණකාමීන් යනුවෙන් ඔවුන් හඳුන්වනු ලැබ ඇත. ඔවුහූ ප්‍රධාන වශයෙන්ම සමාජයේ පීඩිත කොටස්වලට අයත් වෙති. මුල් කාලයේ දී මෙන් ඉහළ පාසැල් වලින් හෝ ඊට ඉහළ මට්ටමකින් තරුණයන් ආදී එන්නේ කලාතුරකිනි.’’(පි.248 )‘’ශ්‍රී ලංකා හමුදාව විසින් වැල්වෙටිතුරෙයි දීසාමාන්‍ය වැසියන් 70 දෙනෙකු මැරීමද , ප්‍රභාකරන්ගේ හා තවත් එල්.ටී.ටී.ඊ. නායකයන් කීප දෙනෙකුගේ නිවෙස්වලට හානි සිදු කිරීමද වෙනුවෙන් පළිගැනීමක් වශයෙන් .1985 මැයි 14 වැනිදා එල්.ටී.ටී.ඊ.ය , අනුරාධපුරයේදී බිහිසුණු ඝාතනයක යෙදුනේය. පැරණි සිංහල අගනුවරට කඩා වැදුණු එල්.ටී.ටී.ඊ. භටයෝ , ආණ්ඩුවේ හමුදා භටයන් කුමක් සිදු වී දැයි තේරුම් ගැනීමට කලින්, නිර්දය කාර්යක්ෂමතාවයකින් යුතුව අහිංසක පුද්ගලයන් 150 දෙනකු පමණ අමු අමුවේ මරා දමා බේරී පැන ගියහ. මේ හේතු කොටගෙන , කාර්යක්ෂම ‘’මාරක යන්ත්‍රයක්’’ ලෙස එල්.ටී.ටී.ඊ.ය ප්‍රසිද්ධියට පත් විය.’’(පි.62)‘’ මැයි 7 වැනි දා ටෙලෝ නායක සබාරත්නම් මරා දමන ලදී . මේ ගැටුම් වලදී එල්.ටී.ටී.ඊ.ය විසින් පාවිච්චි කරන ලද්දේ ඔවුන් අනුරාධපුර ඝාතනයේ දී පාවිච්චිකළ සටන් උපක්‍රමය. ටෙලෝ සාමාජිකයන් මරා දමන ලද කුරිරු ආකාරය , සෑම තැනම දෙමළ ජනයා කම්පාවට පත්කර වීය.(පි.62)‘’ එල්.ටී.ටී.ඊ -ටෙලෝ ගැටුමෙන් පසු සාමාන්‍ය ජනතාවගේ හැගීම් තේරුම් ගත් එල්.ටී.ටී.ඊ ය , ශබ්දවාහිනී යන්ත්‍ර සහිත වාහන යොදා සිදු වූ දේ ගැන කතාකරන්නට හෝ විග්‍රහ කරන්නට එපා යයි මහජනයාට නියම කළේය. මේ වූ කලී ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කළ ප්‍රථම ප්‍රවෘති තහනමයි. ඊට කලින් එල්.ටී.ටී.ඊ ය හා ටෙලෝ සංවිධාන පුවත්පත් කාර්යාලවලට ගොස් යම් යම් සිද්ධීන් ගැන නොලියන ලෙස නියම කිරීම සිරිතක් වී තිබිණ.’’ ( පි.64)‘’කන්කසන්තුරේ ජැටියේ සිද්ධියේදී එල්.ටී.ටී.ඊ.භටයන් විසින් හමුදා සෙබලුන්  18 දෙනෙක් මරණ ලදහ. කෝපයට පත් හමුදාව , සිමෙන්ති සමාගමේ ( දෙමළ)ආරක්ෂක භටයන් 5 දෙනෙක් මරා දැම්මේය. නැවට සිමෙන්ති පටවමින් සිටි දෙමල කම්කරුවන්ගෙන් පළිගනීවී යයි බිය වූ නෞකාවේ ( සිංහල) කප්පිත්තා , ඔවුන් නැවට නංවා ගෙන දියඹට යාත්‍රා කළේය. පැය ගනනකට පසු ඔවුන් ගොඩ බස්වන ලද්දේ , ඔවුන්ට හිරිහැර නොකරන බවට පොරොන්දුවක් ලබා ගැනීමෙන් පසුවය. සිය ප්‍රචාරක කටයුතු වරද්දාගත් ආණ්ඩුව , සිමෙන්ති සමාගමේ ආරක්ෂක භටයන්ගේ මළ සිරුරු වටා පතරොම් පටි ඔතා ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස ප්‍රදර්ශනය කළේය. තරුණ ත්‍රස්තයෙකුගේ ලෙස පෙන්වන ලද එක සිරුරක් ඉදුනු කෙස් සහිත 55 හැවිරිදි මයිල්වාගනම් නමැති ආරක්ෂක සාජන්ට්ගේය. දෙමල ජාතික ආරක්ෂක භටයන් මරණ ලද්දේ එල්.ටී.ටී.ඊ ය විසිනි. ආණ්ඩුව ඒබව නිවැරදිව වාර්තා කළේ නම් , ඔවුනට ලැබෙන වාසිය මීට වඩා බොහෝ වැඩිය. දෙමල ජනමතය දිනා ගැනීමට ආණ්ඩුවට වුවමනාවක් නැති බවට මෙය තවත් නිදසුනකි. මෙය එල්.ටී.ටී.ඊ.යට වාසි දායක විය . මේ සිද්ධියෙන් පසු ආණ්ඩුව සාමාන්‍ය ජනයාගෙන් පලි ගැනීමෙන් වැළකී සිටියේනම් , එල්.ටී.ටී.ඊ ක්‍රියාවේ නිරර්ථක භාවය හෙළි කිරීමට පුළුවන්කම තිබිණ. එහෙත් මීළග සති හයේදී ආණ්ඩුව කළේ පොදුවේ සාමාන්‍ය ජනයාට විරුද්ධව ඉවක් බවක් නැති භීෂණ ක්‍රියාවල යෙදීමයි. ‘’(පි.79 )‘’ යාපනේ පුවත්පත්වල සදහන් වූයේ හමුදාව මගින් තබන ලද වෙඩි ගැන පමණකි. එහෙත් කොටුව ඇතුලට වෙඩි යැවීම මගින් ප්‍රකෝප කිරීම් නිතර සිදු වූ බව , පත්‍ර වාර්තා කරුවෝ බොහෝ දෙනෙක් පිළිගත්හ. 1986 මයි මාසයේ රෝහල් අර්බුදයේදී , එල්.ටී.ටී.ඊ.යෙ හැසිරීම මගින් සිදු වූ එක දෙයක් නම්, ඔවුන් තුළ සාමාන්‍ය වැසියන්ගේ ජීවිත ගැන තැකීමක් නොතිබීය යන සැකය තහවුරු වීමයි’’.(පි.84)මේ කෘතිය තුළින් අවධාරණය කරනු ලබන ප්‍රධාන මාතෘකා අතරට’’ අඩන්නට කඳුලුත් නෑ අක්කේ ‘’ ලෙස 13 වන පරිච්චේදය හරහා අවිගත් කාන්තාවෝ යන මාතෘකාව යටතේ එල්.ටී.ටී .ඊ .ය කාන්තාවන් කෙරේ දැක් වූ සැලකිල්ල කෙබදුද යන්නත් , ඉන්දීය සාම හමුදාව විසින් කාන්තාවන් විෂයෙහි හැසිරුණු පහත් ආකාරය පිළිබඳවත් දක්වා ඇත. උතුරේ තිලීපන්ගේ මරණය සේම දකුණේ දී මරුමුවටපත් මාධ්‍යවේදී රිචඩ් සොයිසා ගැනද සදහන්කොට තිබේ.

‘’පාලක පක්ෂයේ එක්තරා කොටසකට කිට්ටු පුද්ගලයන් දෙදෙනෙකු වූ, පත්‍ර කලාවෙදියකු හා නාට්‍ය රචකයකු වූ රිචඩ් ද සොයිසා සහ යූ.එන්.පී නාගරික මන්ත්‍රීවරයකු වූ ලක්ෂ්මන් පෙරේරා මරා දැමීමේ සිද්ධිය නිසා …..මේ සිද්ධියෙන් පසු පත්‍රකලාවේදීහු සිය ආරක්ෂාව ගැන බිය වූහ.ආණ්ඩුවේ අය කළ ප්‍රකාශ බොහෝවිට පරස්පර විරෝධී විය . සමහර පත්‍රකලාවේදීහු රටින් පිට වී ගියහ.’’(පි.251)තවත් වරෙක මෙම කතුවරුන් තමනේ සමාජය කෙරේ යොමුකළ පුළුල් දැක්ම පුවත්පත් වාර්තා තුළින් පවා උපුටා දක්වමින් සත්‍යයේ අපක්ෂපාති වේදිකාව නිරාවරණය කොට ඇත්තේ මෙසේය.

‘’තිලීපන්ගේ මරණය ජනයාගේ ගැඹුරු ගෞරවයට බඳුන් විය. එල්.ටී.ටී.ඊ. යෙ මිතුරන් නොවූ දකුණේ පත්‍රකලාවේදීහු පවා සිය ප්‍රශංසාව පල කළහ. 1987 ඔක්තෝබර් 4 වැනි දා සන්ඩේ ටයිම්ස් පත්‍රයට ලිවූ ලූෂන් රාජකරුණානායක , සිංහල ආධිපත්‍යය වෙනුවෙ තම ප්‍රථම ලේ බින්දුව හෙලීමටත් කලින් , අන්තිම ලේ බින්දුව හෙලන බවට හැමදාම ප්‍රතිඥ දෙන , දකුණේ සීමාන්තික ජාතිවාදීන් නොකරන දෙයක් තිලීපන් කර ඇති බැව් කීවේය. ඔහු මෙසේද කීය. ‘’ තිලීපන් නිරාහාරව ගිය ගමනින් අඩක් දුර යාමට තමන් සූදානම් දැයි ප්‍රසිද්ධ වේදිකාවල නැගී බෙරිහන් දෙන හා ප්‍රතිඥ දෙන සිංහල දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න කිරීමට, සිංහල ජනයා ඉදිරිපත් වන්නේ නම් සිංහල වීරයන්ගේ වේශයෙන් හැසිරෙන දේශපාලන වංචාකාරයන් තුරන් කර ලීමට එය උපකාරී වනු ඇත.’’ ( පි.119)යුද්ධයකින් මියැදෙන්නේ මිනිස් ශරීර පමණක්ද? ජීවත්වෙන වුන් ද ඇතැම්විට එක මොහොතකදී සිය දහස්වාරයක් මැරී මැරී උපදින්නාසේම තවත් පිරිසක් විවිධ මානසික කඩා වැටීම් වලට ගොදුරු වීම අමතකකර දැමිය හැකිද?. මේ කෘතිය තුළ ප්‍රධාන වශයෙන්ම මේ වකවානුවේදී මිනිසුන් පත්වී වුන් ශාරීරික හා මානසික පීඩනයන් පිළිබඳවද සදහන්කොට ඇත. එවන් සිදුවීම් ගණනාවක් මෙහි දක්වා ඇත්තේ යුද්ධයක් ගැන හීනෙකින්වත් දකින්නට නොලැබේවා යන ප්‍රාර්තනයකටද පාඨක හිත යොමු කරමිනි.

1981 වසරේ යාපනයේ මහජන පුස්තකාලය ගිනි තැබීම පිළිබඳව මෙහි දක්වා ඇත්තේද අනෙක් සියලු කාරණා විස්තර කරන්නාක් මෙන්ම ඉතා කෙටියෙනි. ඉන් පැහැදිලිවන්නේ ඔවුන් මෙය ශාස්ත්‍රීය මට්ටමේ වාර්තාකරණයකට සමානව සිදුකළ බව විනා තමන් අයත් වූ ද්‍රවිඩ සමාජයට යම් වැඩි බරකිරීමකින් යුතුව කිසිවක් නොලියූ බවය. ‘’නින්දිත රාත්‍රිය ‘’ යන මාතෘකාව යටතේ ලියා ඇති සිදුවීම් ද තවදුරටත් මේ කෘතිය පිලිබඳ විශ්වාසය තහවුරු කිරීමට හේතුවේ.

ගිනිබත් කිරීටය – යාපනය පුස්තකාලය
‘’1981 ජූලි මාසයේ මේ මණ්ඩල සදහා මැතිවරණ පවත්වාගෙන යද්දී , ආණ්ඩුවේ බලවේග විසින් යාපනේ මහජන පුස්තකාලය පුළුස්සා දමන ලදී…… එමෙන්ම දුරේ අප්පාගේ ඝාතනයෙන් පසු ද්‍ර. එ. වි .පෙරමුණේ විරුද්ධකරුවන් ද්‍රවිඩ සටන්කාමීන්ගේ භීෂණයට ගොදුරු වූ ප්‍රථම අවස්ථාව මෙය විය. හිටපු යු.ඇන් .පී. මන්ත්‍රීවරයකු වූ ත්‍යාගරාජා සහ යූ.ඇන් .පී .සංවිධායකයකු වූ නඩරාජා මරා දමන ලදහ. (පි.25 )1987 වසරේ අප්‍රේල් 22 වනදා කන්කසන්තුරේ සිමෙන්ති කම්හල් වසා දැමීමේ දුක්බර කතාව මෙන්ම විටින් විට සිංහලයන් මරා දැමීම් පිළිබඳ සිදුවීම් ගණනාවක් වාර්තා කොට ඇත්තේ, ‘’ හැම යාපනේ වැසියකුම බෙහෙවින් ලජ්ජාවිය යුතු සිද්ධීන් ගණනාවක් මෙදින රාත්‍රියේ ඇති විය….( පි .130 ) ආදී ලෙස දක්වමිනි. ,එම වසරේදීම මරා දැමුණු විජය කුමාරතුංග ගැනද ලියා තබන්නට මෙහි කතෘවරු ප්‍රවේශම් වී ඇත. කොහේ වුව මියැදෙන්නේ මනුෂත්බව තේරුම් ගෙන සිටීම ඊට එක හේතුවක් වන්නට ඇත.
‘’අවුරුද්ද ඇතුලත දී මේ රටට , මහත් බලාපොරොත්තු සහිත ජාතික නායකයෝ දෙදෙනෙක් නැති වූහ . එනම් කොමියුනිස්ට් පක්ෂයේ පාර්ලිමේන්තු ,මන්ත්‍රී සරත් මුත්තෙට්ටුවේගම මහතා සහ , ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග මහතාත්ය.ඔවුන්ගේ වැදගත්කම වූයේ බහුතර සිංහල චන්ද දායකයන් අමතා කතාකරනවිට , සුළුතර දෙමල ජනයා ද සිංහල දිලින්දන්ද ඇතුළත්, ශ්‍රී ලංකාවේ සකල ජනයාගේ දුක් ගැනවිලි ගැන හඬ නැගීමයි. 1956න් මෙපිට එතරම් අවංක භාවයකින් යුතුව එය කරන ලද්දේ බහුජන අනුගාමිකත්වයක් ඇති ඇය අතරෙන් කීප දෙනෙකු විසින් පමණකි.’’(පි.223 )‘’සිංහල ජනතාව වූ කලී , සමස්තයක් වශයෙන් හා සාමාන්‍ය කාලවලදී මෛත්‍රී සහගත හා දයාබර ජනතාවකි.එසේ වුවද දෙමළ ජනයාට විරුද්ධව භීෂණය හා මරණය මුදා හැරීම පිළිබඳ සාමුහික වරද ඔවුහු ද ඔවුන්ගේ දේශපාලනඥයෝ ද භාරගත යුත්තාහ. හෘදය ශාක්ෂියට එකඟව කතාකරන සමහර පුද්ගලයන් මෙය පිළිගෙන ඇත.’’ (පි. 220)‘’එනමුදු කොටින්ගේ ආධිපත්‍යයේ බහින කලාව එළඹ ඇත. අසුභ ලකුණු පහල වීමට පටන් ගෙන ඇත. … 1987 ඔක්තෝබර් යුද්ධයේදීත් ඊට පසු සටන්වලදීත් , තම පල පුරුදු කාර්යධරයන් මරුමුවට පත්වීම නිසා , කොටි ව්‍යාපාරයේ දැනුම , විශේෂඥ දස්කම් , ප්‍රවීණතාව හා සටන් ජීවය හීන වී ඇත. වැල නොකැඩී අලුත් භටයන් ගලා එතත් ඔවුහූ වෙනස් පරම්පරාවකට අයත්වෙති. ළදරු යුද භටයාගේ යුගය ආරම්භ වී ඇත. හරියාකාරව සිතීමේ හෝ දේශපාලන හෝ යුද්ධමය හෝ කටයුතු කරට ගැනීමේ ශක්තියක් නැති බාලයන් , මාරක අවි ආයුධ රැගෙන වෛරයෙන් දැවෙන හදින් යුතුව හා ලුහු බඳිනුලබා තැනින් තැන සැරි සැරීම, දෙමළ ජාතියේත් කොටි ව්‍යාපාරයේත් මහා අභාග්‍යය හා ඛේදවාචකය වෙයි’’.(පි.243)‘’ ශ්‍රීලංකා හමුදාව ඉන්දීය හමුදාවට වඩා හුගක් හොඳය’’ .යි සහ ඉන්දීය හමුදාව හිඟන හමුදාවක්ය’’ යි වැනි දේ කිවූ දුකට පත් වූවන්ගේ ප්‍රකාශවලට ප්‍රසිද්ධියක් දෙන ලදී. සත්‍යය නම් , හමුදා දෙකම ඒකාකාර ලෙස නරක විධියට හැසිරුණු බවයි.කොළඹ පුවත්පත්වල පල නොවුනත් ශ්‍රී ලංකා හමුදාවද මිනී මැරීමෙහි , ස්ත්‍රී දූෂණයෙහි හා කොල්ල කෑමෙහි බහුල ලෙස යෙදුනේය.’’(පි.243)‘’තමන් සමග එකඟ නොවීමේ වරදට තම සහෝදර ද්‍රවිඩයන්ට දරුණු ලෙස සලකන කොටින්ට , තම පාරම්පරික සතුරන් වන සිංහල රාජ්‍ය පාලකයන් සමග එක මේසයේ වාඩි වී පිළිසඳර කතාවල යෙදීමට පුළුවන් වී ඇත. ඔවුන්ට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කළ හා ඔවුන් කෙරේ විශ්වාසය පල කළ අවස්ථාද තිබිණ . දහස් ගණන් සිංහල තරුණයන් කෲරලෙස මරා දැමූ මේ රාජ්‍යයේ නියම ස්වරූපය ගැන, මේ ද්‍රවිඩයන්ට සංවේදී හැගීමක් නොමැති බවයි , ඉන් පෙනෙන්නේ.(පි.249)’ ඉන්දීය සාම හමුදාවේ අසාර්ථකත්වයට බෙහෙවින් හේතු වූයේ , ඔවුන්ගේ උද්දච්චකමත් , ඒ නිසාම සාමාන්‍ය ජනයාගේ හැගීම් තේරුම් ගැනීමට හා ඒ හැගීම වලට ගරු කිරීමට ප්‍රතික්ෂේප කිරීමත් ය…. ඉන්දියාව විසින් ගන්නා ලද කිසිසේත්ම සමාව දිය නොහැකි තීරණය වූයේ බලෙන් සේවයට බදවා ගැනීම මගින් ද්‍ර. ජා.හ. සෑදීමයි. එය කරන ලද්දේ වගකීමකින් තොරව මෙන්ම නීත්‍යානුකූල භාවයක්ද නොමැතිවය. අනුකම්පා විරහිත වූද ,පිළිකුල් සහගත් වූද නින්දිත වූද අන්දමින් එය කරන ලදී. මහා පාරවලින්ද, දුර ගමන් යන බස් රථවලින් හා දුම්රියවලින් තරුණ ළමයි බලෙන් අල්ලාගෙන යන ලදහ. දුප්පත් අසරණ දෙමවුපියන්ට තම පුතුන්ට වූ දේ සොයා ගැනීමටසදහා තැනින් තැනට, කදවුරෙන් කදවුරට , යාමට සිදුවිය.’’ (පි.260) මේ කෘතිය අපි කියවිය යුත්තෙම යුද සමාජයක වූ සැබෑ තතු සදහන් වීම නිසාම එහි බියකරු බව පසක් කොට ගැනීමටය. තවත් දිනෙක එකිනෙකා මරාගනු වැලක්වීමට මේ වචන උපකාරී වෙනු ඇතැයි උතුරේත් දකුණේත් බොහෝ දෙනකු අවන්කවම විශ්වාශය පළකර සිටී. ඒ සුදුසුකම මේ කෘතිය ලබනා සාධක අතර (පි. 94-95 ) සදහන් පරිදි ‘’යුද සමයේ සිංහලයන් හා ද්‍රවිඩයන්’’ නම් උප මැයෙන් රචිත සිදුවීම් කීපයකි. ‘’ මුදා ගැනීමේ ක්‍රියාන්විතය සමයේදී සිංහලයන් හා ද්‍රවිඩයන් තම තම දුර්වලකම් සහිතව වුවද , හුදෙක් මනුෂ්‍යයන් වශයෙන් හැසිරුණු අන්දම දක්වන අපූර්ව නිදසුන් කීපයක් මෙහි වාර්තා කරමු.’’ ලෙස සටහන් කරන ඔවුන් මේ සිදු වීම් ඔස්සේ අඳුරු වලාකුළු අතර රිදී රේඛා දැක ඇත. ‘’ ජාතික දුම්රිය ස්තානාධිපතිවරයකු සිය රාජකාරියෙන් ඔබ්බට යමින්, ප්‍රවාහනය අඩපන වී තුබූ අවධියක යාපනේ රෝහලට ඔක්සිජන් සැපයුම සහතික කිරීම සඳහා කටයුතු යෙදූ අන්දම ප්‍රකටය.’’(පි. 94)

තොටිල්ල පදවන අත යුද්ධයට...
යාපනයට විදුලිය විසන්ධි කරන්නට ලද අණක් සම්බන්ධ කතාව මෙසේය.

‘’…….හමුදා භටයෝ , යාපනයට විදුලි බලය සැපයුම වසා දමන ලෙස නියම කළහ. විදුලිබලය සැපයුම වසා සමා ඇති බැව් දැනගන්නට ලැබූ විගස , යාපනේ චුන්නකම්හි ස්විච් කාමරයේ සේවකයෝ අනුරාධපුර ස්විච් කාමරයට දුරකතනයෙන් කතාකළහ. අනුරාධපුරයේ සිංහල විදුලිබල මණ්ඩල සේවකයෝ විදුලිබලය නතරකොට ඇති බැව්සැබෑ යයි කියමින් ටැලිපෝනය ආපසු තැබූහ . යාපනයේ විදුලිබල සැපයුම යලි ආරම්භ කරන ලෙස නියම කරමින් සවස හයට හමුදා භටයෝ අනුරාධපුරයේ ස්විච් කාමරයෙන් නික්ම ගියහ. හමුදා භටයන් නික්ම ගිය පසු , යාපනයේ සිය සගයින්ට කතාකල අනුරාධපුර විදුලි මණ්ඩල සේවකයෝ ‘’ ඒ වෙලාවේ ටැලිපෝනය ආපසු තැබීම ගැන කනගාටුයි . එතකොට හමුදා භටයෝ මෙහි සිටියා. ඉතින් අපිට කතාකරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. නැවතත් විදුලිබලය ඇණ හිටියොත් ඒ හමුදා අණ උඩ බව දැන ගන්න. විදුලිය නතරකොට තිබෙන විට අපට දුරකතනයෙන් කතාකරන්න එපා. විදුලිය යලි සන්ධි කිරීමෙන් පසු කතාකරන්න ‘’ යයි කීහ. මෙබදු සටන් අවධියකදී වුවද සාමාන්‍ය මිනිස් සබදකම් මේ ලෙස පැවතීමද , යාපනය මුළුමනින්ම කළුවරේ තැබීමට හමුදාව අදහස් නොකිරීමද හිත කාවදින සිදු වීම් වේ. (පි.94)’’

ජනාධිපති ප්‍රේමදස ඇන්ටන් බාලසිංහම්
‘’ මයි 28 වනදා මුදා ගැනීමේ ක්ර්යාන්විතයේ උග්‍රම අවස්ථාවට එළඹී තුබූ වෙලේ , විඩාවට පත් මගීන් පිරිසක් වෑන් රථයකින් අලිමංකඩට ලගා වී ඉදිරියට යාමට හමුදාවෙන් අවසර ඉල්ලුහ. අවසර දිය නොහැකි බව පිළිතුර විය. එසේ නම් ගමනාරම්භ කල හැක්කේ කොයි වෙලාවටදැයි මගීහු ඇසූහ . සෙබළෙක් පිළිතුරු දෙමින් ‘’ අපේ භට කණ්ඩායමක් පාර දිගේ ඉදිරියට ගියා. පහර කෑමෙන් පසු ඔවුන් ආපසු ඒවි . ඊටපස්සේ ඔයගොල්ලන්නට යන්න පුළුවන්’’ (පි.94-95)

‘’ ජුනි 4 වැනිදා යාපනය බලා යමින් සිටි මගීන් පිරිසක් , ඕමාන්තායිහි පරික්ෂා කරනු ලැබුහ. අලියා බීම රැගත් ලොරියක්ද ඒ අසළ පරීක්ෂා කරනු ලබමින් තිබිණ . එම ලොරියෙන් සිසිල් බීම බෝතල් කීපයක් මිලට ගත සිංහල සෙබළෙක් , ඒවා දෙමල මගීන්ට පිරිනැමුවේය.’’ බොන්න මට සල්ලි තියනවා. මගේ දෙමවුපියන් ඕමාන්තායිහි ගොවීන් වශයෙන් පදිංචි වූ අය. මං උපන්නේ මෙහේ. මේ මගේ ගම . මෙහි දී අමුත්තන්ට සංග්‍රහ කිරීම මගේ යුතුකමක්’’ යයි ඔහු කීවේය. (පි.95) මේ කෘතියේ සදහන් සියලු සිද්ධි මෙහි උපුටා දැක්විය නොහැකිය. නපුරු හීන අතර සහෝදරත්වයේ සැබෑ මනුෂ්‍යත්වයේ මිහිරියාවද විදහා පාන කතා ගණනාවක් මෙහි වේ. කෙසේ වුවද මේ සිදු වීම් හුවා දක්වමින් මෙහි කතුවරුන් බිඳුණු තල් රුක සමග බිදුණු හදවත් නැවත පිළිසකර කරන්නට ප්‍රාර්ථනා කරන්නට ඇත. මෙවන් කුඩා සිදුවීම් මෙහි සදහන් කිරීමෙන්ම පෙනී යන්නේ ඔවුන්ගේ ඒකායන අභිප්‍රාය සාමයේ ආලෝක කදම්බය මේ රට පුරා පැතිරෙනු දැකීම බවමය. මේ කෘතිය අවබෝශයෙන් කියවන අයෙක් කුඩා දරුවෙකුට සෙල්ලම් තුවක්කුවක් අතට දීමට පෙරද තවත් වරක් කල්පනා කිරීමට පෙලබෙනු ඇත.

ප්‍රචණ්ඩත්වය, සාම ගිවිසුම්, සිංහල ජාතිවාදය , භීෂණය – සාම සාධක අවිය, සිංහල ජාතිවාදය හා දෙමල ජාතිවාද, විජිතවාදී අතීතය, නිදහසෙන් පසු ශ්‍රීලංකාව, ඉන්දීය ද්‍රවිඩයන්ට චන්ද බලය අහිමි කිරීම ආදී මාතෘකා රැසකින් සමන්විත ‘’බිඳුණු තල් රුක’’ලංකාවේ සිංහල, දෙමල, මුස්ලිම් ඇතුළු සියලු දෙනාගේම නව පරපුරේ භාවිතය උදෙසා පෙලපොතක් බවට පත්කරන්නට හැකිනම් එය සාමකාමී සුළං රැළි උදෙසා පෙම් බඳින මතු පරම්පරාවක් මේ රටට දායාද කිරීම උදෙසා සිදුකරන ඇති විශිෂ්ට ආයෝජනයක් වනු ඇත. අවුරුදු තිහකට එහා ගිය දවසක යුද සමයක ප්‍රකාශකරන ලද මේ කෘතිය අද වනවිට යුද ගිනි නිවී ඇති එහෙත් ගිනි පුළිගු අළු යට ඇතැයි සැක සංකා මතුවෙන යුගයක වුවද සාමය උදෙසා කමටහනක් වනු ඇති බව අපගේ විශ්වාස යයි.

ළමා සොල්දාදුවෝ....
සැබවින්ම යුද්ධයකින් දිනන්නේ කවරහුද?එහි ඇත්තේ පසු තැවීම් පමණක්මය. මේ බිඳුණු තල් රුක කියන්නට උත්සහ කොට ඇත්තේම මනුෂ්‍යත්වය තරම් අන් දිනුමක් මෙලොව නැති වගය. එහෙයින් මෙහි හැම අක්ෂරයකම අනුකම්පාව හා සහනුකම්පාව තැවරී ඇත. ජාති බේද, වර්ණ බේද යනු ස්වභාව ධර්මයාට මෙලොව මිනිසුන් අඳුනා ගැනීමේ පහසුවට ඇතිකළ යමක් විනා එකිනෙකාට මරාගැනීමට දුන් අවසරපත් නොවේ. අනෙකාගේ සංස්කෘතිය තුළ වන සුන්දරත්වය තුටින් විදින්නට හැකි මනසක් ඇතිවෙන දිනක මේ පොළොව මීට වඩා සිය දහස් ගුණයක් සොදුරුවනු ඇත. එකම ජාතියේ මල් පැළ පිරුණු ගෙවත්තකින් ඇති ඵලය කුමක්ද? ඉර, හඳ, තරු අල්ලන්නට යන්නට පෙර අනෙකාට ආදරය, ගෞරවය පුදන්නට හුරු වියයුතු නොවන්නේද? ඒ තරම් ජයග්‍රහණයක් මෙදියත ඇත්තේම නැත.

‘’බිඳුණු තල් රුක’’ මතකද අහන්නේ මම පොත ගැන
සිවු දෙනෙක් කතුවරු ලියපු සත්‍යයේ හිත ගැන
යුද බිමක සැඟවුණු කඳුළුවල අග මුල
පන්හිඳට නතුකළ සැබෑ උගතුන් නෙත

මරණයේ සෙවනැළි දැක දැකම අත ලඟ
උපෙක්ෂාවේ සිතුම් අකුරු කොට පණ පිඹපු
උතුරේ මෙන් දකුණේද වැරදි අත කැරකුණු
මාලිමාවේ වග ලියු තරු මං පොත

නිල් අහස මහ පොළොව එක ලෙසම දුටු ඇස
අසිපතක් මත හිඳ ලියූ බිඳී ගිය තල් රුක
යලිදු යුද බිමක් ගැන හීනෙන්ද නොපතන
හෙටක් කැඳවනු පිණිස දරුවෙකුට
කියවන්න දියයුතුම ‘’පෙළපොත’’

ගෙදර පූජාසනේ මත
තබා සුරැකිය යුතුම වත්කම,
පොත්ගුලක දුලබතම එකතුවේ
ඉහලින්ම තැබියයුතු ,
අකුරු දත් ඇස් වලට
කියවන්න නිර්දේශ කළයුතුම
මේ රටේ ‘’ හදපොත’’
-සඳරැසී සුදුසිංහ

...............අන්තර්ජාලය ඇසුරෙනි...............දැනුම සොයන්න මේ පාරෙන් එන්න
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment