පුරාණ සිංහල රජවරුන්ගේ රාජ භෝජනය (Royal Banquet)

පුරාණ සිංහල රජවරුන්ගේ රාජ භෝජනය (Royal Banquet) - Your Choice Way

රාජ භෝජනයක්‌ කියන්නේ එසේ මෙසේ කෑම වේලක්‌ නම් නොවේ. රජෙක්‌ වාගේ කන්න ඕනෑ කිව්වම බොහෝ දෙනෙක්‌ තේරුම් ගත්තේ බඩ කට පිරෙන්න මහා බත් පිඟානක්‌ කනවා කියාය. නමුත් ඉතිහාසයේ එවන් වැකියක්‌ පට බැදී තිබෙන්නේ, ඖෂධීය ගුණයෙන් යුතු ශක්‌තිය වඩන නිරෝගිමත් කෑම වේලක්‌ නොකඩවා ආහාරයට ගන්නේ ර-ජුරුවෝ පමණක්‌ම බවට මහජනතාව පිළිගත් සත්‍යයක්‌ව පැවතීම මතය.

රාජ භෝජනය සැකසීම අපූරුය. සැබැවින්ම එය ඓතිහාසික ගාම්භීරත්වයක්‌ සහිත සංස්‌කෘතික ක්‍රියාවලියකි. මනා පෙළ ගැස්‌මකි. රාජ භෝජනාගාරයේ දෛනික වැඩපිළිවෙල කොපමණ නම් සංකීර්ණද යන්න මොනවට පැහැදිලි වන්නේ එක්‌ වේලක්‌ සැකසීම ස`දහා පෙළ ගැසී සිටින සේවක පිරිසත් භෝජනය සැකසීමේ ක්‍රමවේදයත් පිළිබඳ සලකා බලන කලය. එහි යටගියාව අදටත් අපට පරිශීලනය කළ හැක්‌කේ, පුස්‌කොළ පොත් කියෑවීමෙනි. අදාළ පුස්‌කොළ පොතෙහි මූලික වෙළුම් දෙකක්‌ තිබී ඇති අතරම අදටත් එය ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රාචීන පුස්‌තකාලයේ සුරැකිව ඇත්තේය. 

එකල රාජමාළිගාවේ රාජභෝජනය සැකසීම මූලික සහ ප්‍රධානතම කාර්යය වූ අතර ඊට දායක වූ පිරිස ගණනින් සූසැටකි. ඉනුත් මුල් තැන ගත්තේ, සොලොසකි. බෙහෙත්ගෙයි මුහන්දිරම්, බත් වඩන නිළමේ, මුලගිනා, මඩප්පු නිළමේ, මඩප්පු රාළලා, පිහන රාළලා, දෙහි දොඩම් කාරයෝ, පැහිදුම්කාරයෝ, තටුකොළ පහින්දම්කරුවෝ, ඇතුළුව රාජෝත්තමයන්ගේ ආයුවඩන්නට දිවි කැප කළ පිරිස බොහෝය.

රජ්ජුරුවන් උදෙසා වන ආහාර වේල් සැකසීමට වෙන් වෙන් වශයෙන් සේවක පිරිස්‌ සිට ඇත. දිවා ආහාරය සැකසීමට පෙළ ගැසෙන්නේ ර-ජුරුවන් උදෑසන මළපහ කළ අවස්‌ථාවේ සිටය. අද මෙන් නොව එදා සියල්ල සිදුව ඇත්තේ කලටය. වෙලාවටය.

රජු අවදිවූ මොහොතේ සිට ඒ අසල දැවටෙන්නේ බෙහෙත්ගෙයි මුහන්දිරම්ය. ඔහු රජුගේ මානසික තත්ත්වයත් පෙර දින නොවූ යම් වෙනසක්‌ වේද යන්න ගැනත් විමසිලිමත් වෙයි. මුව සෝදා පඩික්‌කමට හල කෙළ මුසු ජලයද, මුත්‍රා සහ මළපහද, හොඳින් පරීක්‌ෂා කරන බෙහෙත් ගෙයි මුහන්දිරම් එදින රජුගේ ශරීර සෞඛ්‍යයේ වත ගොත පිළිබඳව මුලුතැන්ගෙයි බත්වඩන නිළමේ වෙත දැනුම් දෙයි.

බෙහෙත් ගෙයි මුහන්දිරම්ගේ සේවාව ගම්පොළ යුගයේද පැවැති බව සඳහන්ය. ජාත්‍යන්තර මට්‌ටමේලා සැලකෙන එම වෛද්‍ය ක්‍රමය මුස්‌ලිම් ජනයාගෙන් උගත් බවත් වේගිරිය හා තදාසන්න ප්‍රදේශවල විසු වෛද්‍යවරු අතර ප්‍රචලිතව පැවැති බවත් ඉතිහාස කරුණු පෙන්වා දෙයි. 

බත්වඩන නිළමේ නොහොත් මුලුතැන්ගෙයි ප්‍රධානියා බෙහෙත්ගෙයි මුහන්දිරම්ගේ පණිවුඩයට පසුව රජුගේ දිවා භෝජනය ගැන සැලකිලිමත්ව ඊට සුදුසු නුසුදුසු ආහාර වට්‌ටෝරු සකසයි. බොහෝවිට දෛනිකව උදෑසන හය හෝ ඊට ආසන්න වේලාවක සිට දිවා ආහාරය සැකසීම අරඹයි. බත් වර්ග හතක්‌ මස්‌ මාළු වර්ග තිහක්‌ සහ කොළ එළවළු වර්ග තිහක්‌ ද කැවිලි වර්ග පනස්‌ පහක්‌ද ගිතෙල් වෙඬරු හෝ කිරි ආශ්‍රිත ආහාර ද ඖෂධීය ශාක වර්ග ඇසුරින් සකසන ලෙය්‍ය වර්ග ද හීනටි හාල් අතුරුපසද කිරි පැණිද බුලත් විටද ඇතුළත්ව රාජ්‍ය දිවා භෝජන වට්‌ටෝරුව සැකසේ.

එකල දිනපතා සැකසෙන රාජ භෝජනය නිත්‍ය රටාවක්‌ම බැවින් මුලුතැන්ගෙයි සේම ඒ අවට සේවය කළ උදවිය සිය ඒකාකාරි බව පලවා හරිනු වස්‌ කවි කීහ. ඒ අතර උන් ඇතැම්හු හිටිවන කවි තැනූහ. ඇතැම්හු උසුළු විසුළු පිණිසද කවි තැනූහ. ආහාර පිසින්නෝද සිය කාර්යය කවියට පෙරළා ගායනා කළෝය.
  • මුංපියලි නැලියක
  • සහල් ගනු තුන් නැලියක
  • කෙටූපිටි විතර ක
  • උයාවී කිරිලා පදම්දැක
  • පත්පැර වියල නු 
  • අත්සුනු සකුරු මෙහිලනු
  • ඉසඉස බැදගනු 
  • ඊට මුතුලාල යයි නම් දනු
.....ආදි ලෙස ගායනා කර තිබේ. යටවර නමැති කිවි`දු රාජ භෝජන ආහාර වට්‌ටෝරු කවි තුන්සිය හතලිස්‌ හතරකින් පුස්‌කොළ පොතෙහි ලියා ඇති අතර පසු කාලීනව පුංචි බණ්‌ඩාර සන්නස්‌ගල පුස්‌කොළ පොතෙහි කවි සංස්‌කරණය කොට කෑම වට්‌ටෝරු එකසිය විස්‌සක්‌ පමණ ග්‍රන්ථාරූඪ කර ඇත. 

රාජ කෑම වට්‌ටෝරුවේ බත් වර්ග හත, සිරෝවල්ලි සම්බා, බාස්‌මතී, සුවදැල්, ඇතුළු අග්‍රගණ්‍ය සහලින් සමන්විතය. මහනුවර යුගයේ වාසලට දෛනික සහල් සැපයූවේ පැණිදෙණිය, ගුරුදෙණිය අටුවලින් බවද සඳහන් වේ. 

බත් වඩන නිළමේගේ ආහාර වට්‌ටෝරුව මඩප්පු නිළමේගේ අධීක්‌ෂණය යටතේ මඩප්පු රාළලාගේ කැපවීමෙන් රසවත් වේ. සාදා නිමකරන සෑම අහරක්‌ම ආරක්‌ෂා කරන්නේ පිහන රාළලා විසිනි. සෙසු කටයුතන්හිදී සේම දෙහි දොඩම්, පොල්, තුනපහ, දර, කෙසෙල් කොළ, පැණි හකුරු, ආදී සියලු අමුද්‍රව්‍යය මාළිගා මුලුතැන්ගෙට සපයන්නේ ඒ ඒ රාජකාරියේ නියුතු උදවිය විසිනි. අරක්‌කැමියා හෙවත් මුලගිනා ලුණු ඇඹුල් නොබලා, යස පදමට රස ගලපන්නේ සිය පලපුරුද්ද පෙරදැරිවය. මාළු පිනි හැටද කැවිලි පනස්‌ පහද සෙසු සියලුම ආහාරද පිසිනුයේ උදෑසනමය. පෙරදා සැකසූ කිසිවක්‌ රාජභෝජනයට කැප නොවේ. පිසින ලද සියලුම ආහාර රස බැලීමේ වරම් ඇත්තේ, අගුබලන්නාට පමණි. ඔහු සියලු ආහාර ගෙන සිංහල පැයක්‌ පසු වූ තැන බෙහෙත්ගෙයි මුහන්දිරම් ඔහුව පරීක්‌ෂා කොට, අනතුරුව රජ්ජුරුවන්ට කෑමට ආරාධනා කරයි. 

රජු ආහාර ගන්නේ, කෑම ශාලාවක නොවේ. මාළිගයේ හිස්‌ ශාලාවක කිසිවෙකුටත් නොපෙනෙන මුලුගැන්වූ ස්‌ථානයක සිටය. බුමුතුරුණක්‌ මත එරමිණිය ගොතා හි`ද ගන්නා රජ තෙමේ ඔඩොක්‌කුව මත රන් සළුවක්‌ එලනු ලබයි. දිය වඩන නිළමේ පැමිණ රන්තලියක වතුර බහා අත සෝදවා තෙත මාත්තු කොට ඉවත්ව යයි. අනතුරුව බත්වඩන නිළමේ පැමිණ රන්තැටියක්‌ තබා, බත් හැන්දක්‌ එක්‌ ව්‍යංජනයක්‌ බැගින් වරින් වර බෙදනු ලබයි. ව්‍යංජන අතරේ තිරිවානා හොද්ද විශේෂ වන්නේ එය වාජීකරණය ස`දහා වරා පොතු සහ තිරිවානා ගල් උපයෝගි කොට සකසන ලද්දක්‌ බැවිනි. බත් හා ව්‍යංජන ඇතැයි රජ සැලකල පසුව, කැවිලි ද, කිරිවලින් තැනූ අහරද, හීනටිහාල් අතුරුපසද, කිරි පැණි ද, ආහාරයට ගනී. අනතුරුව රාජකීය වෛද්‍යවරයා නොහොත් බෙහෙත්ගෙයි මුහන්දිරම් සැකසූ ලෙය්‍ය වර්ග අහරට ගනී.

මේවා තලියක දමා පිළිගන්වද්දී රජ එය ලෙවකෑ යුතුය. නිසි ඖෂධීය ගුණ සිරුරට ලැබෙනුයේ එවිටය. 

රාජ භෝජනය ඓතිහාසික වූයේ, සූප කලා සාහිත්‍යය හරහාය. නිරෝගිමත් ජීවිතයක්‌ උදෙසා එවන් සාහිත්‍යයක හරය අදටත් වැදගත් වන බව සිතීමද වැදගත්ය.

මහරජු වෙනුවෙන් ඉදෙන බත සඳහා ව්‍යඤ්ජන වශයෙන් මැල්ලුම්, තැම්බුම් හොදි නොහොත් සුප්, නියඹලා, ආනන්, ඇඹුල්, තෙම්පරාදු නොහොත් දුමානැවීම කළ ව්‍යඤ්ජන, මත්ස්‍ය බැදුම්, මාංස බැදුම්, ලුණුදෙහි, අච්චාරු වර්ග ආදී කොට ඇති විවිධාකාරයේ ආහාර වර්ග 30ත් 60ත් අතර ප්‍රමාණයක් දෛනිකව පිළියෙල කරන ලදී. මේ ආහාර එක් වර්ගයක රසය වෙනත් ආහාරයක රසයට සමාන නොවුණි.

රජ්ජුරුවෝ ආහාරයෙහි පමණ දනිති. කාම රසාස්වාදයෙහි ද පමණ දනිති. රජුගේ රාජකීය වතුපිටිවලින් මහවාසලේ පරිභෝජනය සඳහා අසීමිත ආහාර වර්ග හා පළතුරු ආදිය ලැබෙතත්, රජතුමා විශේෂ ප්‍රීතියෙන් අනුභව කරන්නේ පළා කොළ වර්ග හා පළතුරු වර්ගය. ඒවා පවා අනුභව කරන්නේ දවසට එක් වරක් පමණකි.

උඩරට රජුන්ගේ චාරිත්‍ර සම්ප්‍රදායන් ඉතා විසිතුරු ඒවාය. ඉන්දියානු ආභාෂයත්, පෘතුගිසි ආදි බටහිර ජාතින්ගේ ආභාෂයත්, අරාබියානු/පර්සියානු මෙන්ම සියම් ආභාෂයත් ඇසුරින් වර්ණවත්ව සහ ක්‍රමිකව ගොඩනැගුණු ‘උඩරට ක්‍රමය’ තුළ මහරජුගේ බොජුන් වැළඳීමේ සිරිත ද වර්ණවත් වූවක් විය. සුඛෝපභෝගී ආහාර වට්ටෝරුවකට අනුව සකස් වූ රස මසවුළු රජු විසින් පරිභෝජනය කරනු ලැබුවේ ද සාමාන්‍ය ක්‍රමයකට නොවේ. ආහාර පරිභෝජනයේ දී එතුමාට ම ආවේණික ක්‍රමයක් පැවති බව ද ඓතිහාසික විස්තරයන්ගෙන් ප්‍රකට වෙයි. රජ වාසල සේවයේ දෛනිකව සිදු වූ කටයුතුවලින් අතිශයින්ම සුවිශේෂී කර්තව්‍යයක් වශයෙන් ද රාජ භෝජනය පිළියෙළ කිරීම හා රජු විසින් එය පරිභෝජනය කිරීම හැඳින්විය හැකිය. අතීතයේ දී සිංහලේ මහරජු විසින් භාවිත කළ ආහාර වට්ටෝරු පොතෙන් විශේෂයෙන් තෝරා ගන්නා ලද ආහාර වර්ග හා අතුරුපස වර්ග ද පිළියෙල කර ගැනීම මෙන්ම, මහරජු විසින් එකී ආහාර පරිභෝජනය කළ ආකාරය ද සිත්ගන්නා සුළුය.

ඊට පෙර, සියම් දූත ගමනෙහි යෙදුනු විල්බාගෙදර රාළගේ ගමන් විස්තරයෙහි අඩංගු ‘රාජකීය භෝජනය’ පිළිබඳ උද්ධෘතයක් දැක්වීම උචිතය. සියමට පැමිණි සිංහල තානාපතින් සඳහා සියම් රජු විසින් භෝජන සංග්‍රහයක් ලබා දෙන ලදි.

“ තිර වියන් බැඳි ගෙවල්වල දී ඉඳුන් හිටුන් නඹු චරිත්‍ර කර එක එක මහත්තැනට රිදී මණ්ඩා තුන තුන සාදා ඒ මණ්ඩා ඇතුලේ රත්‍රං හෙප්පු පනස් එක එක සාදා ඛාද්‍ය, භොජ්‍ය, ලෙය්‍ය, පෙය්‍ය, සායනීය්‍ය සංඛ්‍යාත පංචවිධ අහර ඒ රත්‍රං හෙප්පුවල පුරවා නඹු චරිත්‍ර ඇතුව දෙවරක දී මෙසේ මෙසේ ම බත සප්පායන් කලාය.”(විල්බා ගෙදර රාළගේ ගමන් විස්තරය, 90 පිට)

බත්වඩන නිලමේගේ සේවය.....
සිංහල මහරජුගේ මුළුතැන්ගෙයෙහි ප්‍රධානියා වූයේ බත්වඩන නිලමේ ය. අවසන් රජුගේ කාලයේ දී මෙම තනතුර උනම්බුවේ රාජකරුණා තෙන්නකෝන් වාහල මුදියන්සේ විසින් මෙම හොබවන ලදි. ඔහු යටතේ මුළුතැන්ගේ සේවය පිණිස මඩප්පු නිලමේ, මඩප්පු රාළලා, පිහනරාළලා නොහොත් අරක්කැමියන්, මාළු මුරකාරයන්, තටු කොළ පයිංඩක්කාරයන්, දෙහි දොඩම්කාරයන්, පැහිදුම්කාරයන් හා අගුබලන්නන් ආදී නොයෙකුත් තනතුරු පැවතියේ ය. ඔවුන් යටත් වහලුන් වශයෙන් සැටක පමණ පිරිසක් ද රාජකීය මුළුතැන්ගේ රාජකාරිය සඳහා පත්ව සිටියේ ය. මුළුතැන්ගේ කාර්යයන් සාර්ථකව ඉටුකර ගැනීම පිණිස වෙනත් රාජකීය නිලධාරින් වූ දියවඩන නිලමේ, මහගබඩා නිලමේ, පණිවිඩකරන නිලමේ සහ බෙහෙත්ගෙයි මුහන්දිරම් ආදින්ගේ සහයෝගය ද නිතරම ලබා ගැනුණි.

රාජකීය මුළුතැන්ගෙයි ආහාර පිසීම සඳහා භාවිත කරන ලද බඳුන් සියල්ලම පාහේ තඹ, පිත්තල හා ලෝකඩවලින් තනා තිබුණු අතර, අරක්කැමියන්ගේ නොහොත් පිහන රාළලාගේ අත වැසියන් විසින් ඒවා මනා සේ පිරිසිදු කළ යුතු විය. ආහාර පිසීම සඳහා ගන්නා ලද සියළු ම භාජන ආදිය පිහන රාළලා යටතේ තිබුණු අතර, මහරජු ආහාර භෝජනය කරන රන් තලිය, පැන් කෙණ්ඩිය, පානය සඳහා භාවිත කළ පූකුරුව, පැන් පිළිගන්වන කුළාව, පිඟන්, කුසලාන් හා තැලි තැටි හැඳි ආදි සියල්ලක්ම පාහේ බත්වඩන නිලමේගේ භාරයේ තිබුණි.

රාජකීය වෙදැදුරා.....
මහවාසලේ බෙහෙත්ගෙයි මුහන්දිරම් නොහොත් රාජකීය වෙදැදුරා දිනපතාම පැමිණ මහරජුගේ ශරීර පරීක්ෂාවක යෙදුණි. සුවදුක් විමසුවේය. මහරජුගේ මල පවා පිරික්සීය. මේ පරීක්ෂණයන්ගෙන් ඉක්බිතිව එදින රජුගේ සෞඛ්‍යයට හිතකර පරිදි ආහාර වට්ටෝරුව නියම කරන ලදී. පිහනරාළලා විසින් වෙදැදුරාණන්ගේ උපදෙස් අනුව එම ආහාර වට්ටෝරු මනා රසයෙන් යුක්ත වන සේ ගුණදායක ලෙසින් පිළියෙල කරන ලදී. ඔවුහු එම අවස්ථාවේදී හිස සහ මුඛය වැසී යන පරිද්දෙන් සුදු රෙදිකඩ බැඳගත්හ.

මහරජු වෙනුවෙන් ඉදෙන බත සඳහා සම්බා සහල් සපයන ලද්දේ කුණ්ඩසාලේගුරුදෙණියේ මහ අටුවෙනි. එම බත සඳහා ව්‍යඤ්ජන වශයෙන් මැල්ලුම්, තැම්බුම් හොදි නොහොත් සුප්, නියඹලා, ආනන්, ඇඹුල්, තෙම්පරාදු නොහොත් දුමානැවීම කළ ව්‍යඤ්ජන, මත්ස්‍ය බැදුම්, මාංස බැදුම්, ලුණුදෙහි, අච්චාරු වර්ග ආදී කොට ඇති විවිධාකාරයේ ආහාර වර්ග 30ත් 60ත් අතර ප්‍රමාණයක් දෛනිකව පිළියෙල කරන ලදී. මේ ආහාර එක් වර්ගයක රසය වෙනත් ආහාරයක රසයට සමාන නොවුණි. අතුරුපස වශයෙන් හීනටිහාලේ බත්, දීකිරි, පැණි, ගිතෙල්, වෙඬරු ආදී පස්ගෝ රසයන්, හාල් පිටි, මුං හෝ උඳු පිටි ආදියෙන් මෙන් ම හකුරු (ශර්කරා) මුසු කොට පිළියෙල කරන ලද කැවුම්, ආස්මි, අත්සුණු, අතිරස, මුංගෙඩි, මුංකැරැළි, පිට්ටු වර්ග, තලප වර්ග ආදී කොට ඇති වර්ග පනස් පහක් පමණ සකස් කරන ලදී. මහරජුගේ භෝජනය පිණිස සුවඳැල්, පූවාලු, හොරණවාලු, ආණවාලු, රත්නවාලු සහසුවඳකදලි ආදී කෙසෙල් වර්ග ද, දෙහි, දොඩම්, අන්නාසි, මි අඹ, ගිරා අඹ ආදී වෙනත් පළතුරු වර්ග ද සූදානම් කරන ලදි.

සියලු ආහාර වර්ග පිළියෙල කොට අවසන් වීමෙන් ඉක්බිතිව, මඩප්පු නිලමේගේ පූර්ණ අධික්ෂණය යටතේ මඩප්පු රාළලා විසින් ඒ ඒ ආහාර වර්ග ඇසිරූ රන් රිදී ආදියෙන් නිමැවූ බඳුන් ගෙන පිළිවෙළින් මහරජුගේ භෝජනාගාරය වෙත ගෙනැවුත්, පිළිසහිත පුවරු නොහොත් මේස මත තබන ලදි. දිනපතා ස්නානය කිරීම සහ අලංකාර පවිත්‍ර වස්ත්‍ර හැඳ මුකවාඩම් බැඳගෙන සිටිම මඩප්පු රාළලාගේ අනිවාර්ය අංගයක් විය.

භෝජනාගාරය අලංකාර කිරීම, වියන් බැඳීම, සුවඳවත් කිරීම ද ඔවුන්ගේ වගකීමක් විය. මේ කටයුතු සියල්ල නිම වීමෙන් ඉක්බිතිව, අගුබලන රාල නමින් හැඳින්වූ රාජකීය නිලධාරියා භෝජන ශාලාවට පැමිණේ.

ඔහුගේ රාජකාරිය පිසන ලද ආහාර වර්ගයන්ගේ රස පරික්ෂා කිරීම විය. එක් එක් ආහාරයෙන් ස්වල්පය බැඟින් කා බලා, අනතුරුව නිසි වේලාවක් ඔහු සැතපී හිඳ, ආහාරය වස විසයෙන් තොර බවත්, මහරජුගේ භෝජනය පිණිස උචිත බවත් සනාථ කරන ලදි.
බොජුන් වැළඳීම......
දැන් ඉතිරිව තිබෙන්නේ භෝජනය පිණිස මහරජුගේ සැපත් වීම පමණකි. බත්වඩන නිලමේ මහරජු කරා ගොස්, දහවල් හෝ රාත්‍රී භෝජනය පිළියෙල කොට අවසන් බව දන්වා, බොජුන් වැළඳීම පිණිස පැමිණෙන මෙන් ආරාධනා කරනු ලබයි. බොජුන්හලේ එක් කෙළවරක මහරජු වෙනුවෙන් පළස් ඇතිරූ අසුනක් පනවා තිබුණු අතර, ඒ මත ඔහු අරමිණිය ගොතා අසුන් ගත්තේය. අනතුරුව පෙරන ලද පැන් දැමූ රන් බඳුන ගෙනැවුත් එයින් මහරජුගේ සුරත දෝවනය කොට රන් නූලින් වියූ සළුවෙන් තෙත මාත්තු කිරීම දියවඩන නිලමේගේ කාර්යය විය. එයින් ඉක්බිතිව බත්වඩන නිලමේ විසින් රන්මුවා තලිය රජුගේ උකුලමත තබා ඒ මත කෙසෙල්පතක් එළන ලද අතර, ඔහු විසින් ම කෙසෙල්පත මතට බත් හැන්දක් ද, එක් ව්‍යඤ්ජනයක් ද බෙදනු ලබයි. එය හමාර වූ විටමුල් කෙසෙල්පත ඉවත් කොට අලුත් පතක් එළා ඊට ද පෙර සේම බත් හැන්දක් සහ ව්‍යඤ්ජනයක් බෙදනු ලබයි. මෙයාකාරයෙන් ප්‍රමාණවත් තරම් බත් ද ව්‍යඤ්ජන ද භෝජනය කිරීමෙන් පසුව නැවත දියවඩන නිලමේ විසින් රාජකීය හස්තය දෝවනය කරන ලදි.

ඉනික්බිතිව හීණටිහාලේ බත ද, කිරි පැණි ද රජු විෂයෙහි පිළිගන්වනු ලැබුණි.

රාජකීය මුළුතැන්ගෙය සඳහා අවශ්‍ය කරන කිරි, දීකිරි හා ගිතෙල් ආදිය දිනපතා ම සැපයීම රාජකීය ගව පට්ටිය භාර මුහන්දිරම්තැන විසින් සිදු කළ යුතු විය. කිරි පැණි වළඳා අවසන් වූ විට රජු වෙනුවෙන් පිළියෙල කරන ලද
පනස්පස් වර්ගයක් වූ කැවිලි පිළිගැන්වුණි. එය ද භුක්ති විඳ අවසන් වූ විට රාජකීය වෛද්‍යවරයා විසින් අනුදත් පරිදි සකස් කළ ලෙය්‍ය වර්ග මහරජු හට පිළිගන්වන ලදී.

ස්වර්ණමය බුලත් හෙප්පුව.....
මේ සියලු ආහාර පාන වර්ගයන් නිසි පමණ දැන රස විඳීමෙන් පසුව පයිංඩ කරන නිලමේ විසින් පෙති වශයෙන් කපන ලද කරුන්කා පුවක්, පෙති පුවක්, දිය පුවක්, අමු පුවක් යන පුවක් වර්ග හතර ද, කයිප්පු හා සුවඳ බෙහෙත් වර්ග ද එක් කොට සකස් කළ හුණු මර්දඬු ද, කරදමුංගු, කරාඹු නැටි, ජාතිඵල, අරළු ආදී තිස් වර්ගයක් පමණ වූ දැයෙන් යුක්ත වූ බුලත් සහිත ස්වර්ණමය බුලත් හෙප්පුව ගෙන එනු ලැබුණි. 

ස්වකීය මනාපය පරිදි මහරජු එයින් ද්‍රව්‍ය ගෙන බුලත් විට කන අවස්ථාවේ දී, භෝජනාගාරය වටා සුවඳ දුම් ඇල්ලීමට වෙන ම පිරිසක් සූදානම්ව සිටියෝ ය. මහවාසල සංගීතඥයෝ රජු වෙනුවෙන් මිහිරි ලෙස සංගීතය වාදනය කළෝ ය. මේ විචිත්‍ර ආහාර ගැනීම පිළිබඳව 

ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස්ගේ සටහන මෙසේය....
අවුරුදු 19 ක් පමණ කාලයක් උඩරට රාජධානියේ II වෙනි රාජසිංහ රජතුමාගේ හිරකාරයෙක් විදිහට හිටිය ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් ලියපු කෘතියේ රාජසිංහ රජතුමා කාපු බීපු හැටි ගැන කියලා තියෙනවා. ඩේවිඩ් කරුණාරත්න මහත්මයා එදා හෙළදිව කියලා සිංහලයට පරිවර්තනය කරපු ඒ පොතෙන් තමා මේ උපුටා ගැනීම කරලා තියෙන්නේ.

"..මේ රජ්ජුරුවෝ භෝජනයෙහි පමණ දනිති. කාම රසාස්වාදයෙහි දු පමණ දනිත්මය. රජුගේ රාජකීය වතු පිටිවලින් මහ වාසලේ පරිභෝගය සඳහා අසීමිත ආහාර වර්ග හා පළතුරු ආදිය ලැබෙතත්, රජතුමා විශේෂ ප්‍රීතියෙන් අනුභව කරන්නේ පලා කොළ වර්ග හා පලතුරු වර්ගය. ඒවා පවා අනුභව කරන්නේ දවසකට එක් වරකි. රජතුමා වෙත ගෙන එනු ලබන කවර දැයක් වුවද සුදකින් වසා ගෞරවපූර්වකව ගෙන ආ යුතුය. මෙම දැකුම් කඳ ගෙන එන්නෝද හුස්ම නොවදනා සේ මුඛවාඩම් බැඳ ගෙනම පැමිණෙති.

රජු භෝජනයද ගන්නේද විධිමත් ලෙසිනි. සුදු පාට පිළියෙන් වසන ලද මේසය, ඉදිරිපිට තබන ලද කුඩා පුටුවක හෙතෙම අසුන් ගන්නේය. නිල්වන් කෙසෙල් පතක් එලූ රත් රන් භාජනයක් මේසය මත වෙයි. රජු අහර වළඳන්නේ මේ කණමය භාජනයෙහිය. මේ මේසය මත, නොයෙක් ආහාර විශේෂවලින් පිරී ගිය තැටි තිස් හතළිස් ගණනක් වෙයි. රජුගේ ආහාර මේසයෙහි සේවයේ නියුතු බත් වඩන නිලම තෙමේ, ආහාර තැටිවලින් රජු කැමති දෙයක් සැන්දෙන් ගෙන රජුගේ රන් බඳුනට බෙදයි. අහර උදවු කරන අවදියෙහි මේ බත් වඩන නිලමේද මුවෙහි මුඛවාඩම් බැඳගෙන සිටින්නේය....."

මේත් රජතුමාගේ ආහාර ගැනීමත් එක්ක සම්බන්ධ වෙන නොක්ස් දක්වන කරුණු කීපයක්......
"..රටෙහි කිසියම් ප්‍රදේශයක විශේෂ වැදගත්කමින් යුත් යම් පලතුරු වර්ගයක් වුවහොත් රටේ බණ්ඩාර නමින් හඳුන්වනු ලබන මහ රජ්ජුරුවන්ගේ නිලධාරීහු පැමිණ, එම වෘක්ෂ වටා ලණු බැඳ ඒ ලණු කෙළවරෙහි ගැට තුනක් ගසති. මේ ගැට ගැසූ ඉක්බිති ගස හිමියාට වුවද එම ගසට අතක් නොතැබිය යුතුය. ඉදින් අත තැබුවහොත් මරණ දණ්ඩනය හෝ ඒ හා සමාන දණ්ඩනයකට හෝ පාත්‍ර විය යුතුය. මෙසේ තහනම් කරන ලද ගස්වල පලතුරු පැසුණු විට, ඒවා නෙළා කද බැඳ සුදු පිළියෙන් ඔතා පළාතේ දිසාවේ තැන වෙත ගෙන යා යුතු වන්නේය. මේ දිසාවේ තැන විසින් පලතුරු පරීක්ෂා කර බලා නොකැළල් වූ පලුදු නොවූ ගෙඩි තෝරා ඒවා නැවත වරක් සුදු පිළියෙන් ඔතා රජ මාලිගාව වෙත යවන්නේය...."

"... කීප වර්ගයක අඹද ලංකාවේ ඇත්තේය. ඇතැම් අඹ වර්ග ඉතා මිහිරිය. රජතුමා මේ අඹ බුදීමෙහි අතිශයින්ම ප්‍රිය වූයේ රටේ නොයෙක් පළාත්වලින් අඹ ගෙන්වා ගන්නේය..."

නොක්ස් කියන විදිහට උඩරට රජතුමාගේ රජ වාසළ මුළුතැන්ගෙයි සම්පූර්ණයෙන් සේවය කරලා තියෙන්නේ හොඳ පෙනුමක් තිබුණු කාන්තාවෝ. මුළුතැන්ගෙයි සේවයට කාන්තාවෝ බඳවාගන්න එක කාලෙකට රජතුමා අණ බෙරයක් පිටත් කරනවා. එතකොට රූමත්, තරුණ අස්වාමික වේවා සස්වාමික වේවා කාන්තාවක් මුළුතැන්ගෙයි රාජකාරියට තෝර ගත්තොත් ජීවිතාන්තය දක්වාම ඒ සේවයේ යෙදෙන්න ඕනේ. නොක්ස් උඩරට ජීවත් වූ කාලයේදී රූමත් පෘතුගීසි ජාතික කාන්තාවෝ කීප දෙනෙකුත් රාජකීය මුළුතැන්ගෙයි සේවයේ යෙදිලා තිබෙනවා.

ජීවිතාන්තය දක්වාම රාජකීය මුළුතැන්ගෙයි සේවයේ යෙදෙන්න ඕනේ නිසා සමහර කාන්තාවන් සේවයෙන් පලා ගියොත් ඊට දඬුවම වශයෙන් දියේ ගිල්ලලා මරා දැමීම රජතුමා සිදු කරලා තිබෙනවා. එහෙමත් නැත්නම් සිරගත කිරීමත් සිදු කරලා තිබෙනවා.

මේ රාජකීය මුළුතැන්ගෙයි කාන්තාවන් වාසය කරලා තියෙන්නේ මහනුවර නගරය සහ ඒ ආසන්නයේ තිබුණු ගම්වල. ඒ ගම්වලට රාජකීය අවසරයක් නැතුව කාටවත් ඇතුල්වීම තහනම් කරලා තිබුණා. ඒත් කිසියම් වහලෙක් මේ ගම්මානයකට පලා ආවොත් ඔහුව නිදහස හිමිවීම ඒ කාලයේ සම්ප්‍රදායක් වෙලා තිබෙනවා.

නොක්ස්ගේ විමර්ශණයෙන් මග හැරුණු උඩරට රජුන්ගේ ආහාර සිරිත් කීපයක් පිළිබඳව මහාචාර්ය රැල්ෆ් පීරිස්ගේ සිංහල සමාජ සංවිධානය-මහනුවර යුගය කෘතියේ දක්වන විදිහට රජතුමා ආහාර ගන්නා ශාලාව හඳුන්වලා තියෙන්නේ "පාක ශාලාව" කියන නමින්.

ඒකේ ප්‍රධානියා වෙන බත්වඩන නිලමේ යටතේ මඩප්පුරාළ නමින් හැඳින්වුණු නිලධාරීන් දෙදෙනා සේවය කරලා තිබෙනවා. මඩප්පුරාළගේ රාජකාරිය වෙලා තියෙන්නේ රාජකීය මුළුතැන්ගෙයි සකස් කරපු රාජ භෝජනය පාක ශාලාවට ගෙනල්ලා රජතුමාගේ කෑම මේසය සකස් කරන එක. මඩප්පුරාළලාගේ රාජකාරියට රාජකීය මුළුතැන්ගෙයි පිහනරාළලා විදිහට හිටිය අයගේත් සහය ලැබිලා තියෙනවා.

උඩරට රාජධානියේ අවසන් රජතුමා වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කාපු බීපු හැටි ගැනත් විස්තර අපට හමුවෙනවා. 1815 පෙබරවාරි 18 වෙනිදා බෝමුරේ ගල්ලැහැවත්තේ උඩුපිටියේ ආරච්චිලගේ නිවසේදී ඉංග්‍රීසින්ගේ අත් අඩංගුවට පත් වුණු රජතුමාව 1816 ජනවාරි 25 වෙනිදා ඉන්දියාවේ වෙල්ලෝර් කොටුවට පිටුවහල් කෙරෙනවා.

වෙල්ලෝර් කොටුවේ පිටත් කෙරෙනකම් කොළඹ ගාලු මුවදොර ආසන්නයේ තිබුණු මන්දිරයක හිටපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා තමන්ට එක් වේලකට ලැබෙන හාල් සේරු 8 ප්‍රමාණවත් නොවන නිසා ඒක හාල් සේරු 12 දක්වා වැඩි කරන්න කියලා ඉල්ලීමක් කරපු බව ජෝන් ඩොයිලි දක්වනවා. හිතලා බලන්නකෝ එක වේලකට හාල් සේරු 12 ක් කනවා කිව්වාම සෙල්ලම්ද උඩරට රාජධානි සමයේ තිබුනු රජතුමාගේ ආහාර ගන්න චාරිත්‍ර කුරුණෑගල යුගයේදී විතර ඇතිවෙන්න ඇති කියලා අනුමාන කරන්න පුලුවන්. එහෙම අනුමානයකට එන්න පාදක කරගන්නේ කුරුණෑගල යුගයේදි දෙව්රද දම් පසඟිනාවන් විසින් රචනා කරපු දළදා සිරිත කියන ග්‍රන්ථයේ තිබෙන කරුණු කාරණා.

අතීතයේ ඉදන්ම ලාංකීය රජවරුන්ට තමන්ට ලැබුණු ගරු සත්කාරවල ආකාරයටම දළදා වහන්සේටත් පුද සත්කාර කරන්න හුරු වෙලා හිටිය නිසා දළදා සිරිතේ දැක්වෙන විදිහට දළදාවට දානය සකස් කරද්දී අරක්කැමියන් මුකවාඩම් බැඳගෙන සිටිය යුතු බවත් පිළිගැන්වීමේදීත් මුකවාඩම් බැඳගෙන සිටිය යුතු බවත් ආදී කරුණු තිබීම නිසා ඒ කාලේත් රජවරුන් උදෙසා ඒ වගේ චාරිත කෙරෙන්න ඇති කියලා හිතන්න පුලුවන්.

සිංහල රජුගේ මේ භෝජන ක්‍රමය ඉංග්‍රීසි ආණ්ඩුව බලයට පැමිණීමත් සමඟ අභාවයට ගියේ වී නමුත්, දකුණු ඉන්දියාවේ වෙල්ලෝරයේ සිරකරුවෙකු වශයෙන් සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු උදෙසා ආහාර පිණිස සංකීර්ණ වට්ටෝරුවක් ඉංග්‍රීසි ආණ්ඩුව විසින් වෙන් කරන ලදි....

...............අන්තර්ජාලය ඇසුරෙනි..............දැනුම සොයන්න මේ පාරෙන් එන්න
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පුරාණ සිංහල රජවරුන්ගේ රාජ භෝජනය (Royal Banquet) පුරාණ සිංහල රජවරුන්ගේ රාජ භෝජනය (Royal Banquet) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 10, 2022 Rating: 5

0 comments:

Post a Comment