නගර වැසියන්ට අනුව රාත්‍රියේ ඒ මැඳුර පසුකොට යන බොහෝ දෙනාට එතුළින් අද්භූත ශබ්ද ඇසී තිබුණා.එසේම රාත්‍රියේ මැඳුර තුළ සැරිසරන අද්භූත මිනිසෙක් දුටු බවත්, කෙසඟ සිරුරකින් යුතු ඒ පුද්ගලයා පැසුණු හා අවුල් ජාලයක්වූ දිගු කොණ්ඩයක් හා රැවුලකින් යුතු බව ඇසින් දුටුවන් පැවසුවේ බියෙන් වෙවුලමින්. එසේම ඒ අද්භූත මිනිසාගේ දෑත් හා දෙපා විලංගුලා තිබූ බවත් පැවසුණා.
මේ පුවත නිසා මැඳුර හිමිකරුට එය විකුණා ගැනීමට හැකිවුණේ නෑ. කිහිප දෙනෙක් එය මිලදී ගැනීමට පෙර පරික්ෂා කිරීමට ආවත් මැඳුර තුළට යන ඔවුන් බියෙන් ආපසු හැරී විත් අදහස අත් හැර ආපසු ගියා. මේ නිසා හිමිකරුවා මැඳුරට නියම කර තිබූ මිළ ගණන් විශාල ලෙස අඩු කළා. මේ මැඳුර පිළිබඳව පැතිරී ඇති කතාව අසන්නට ලැබුණු තවත් කීර්තිමත් ග්‍රීක දාර්ශනික යෙකුවූ ඇතෙනෝඩොරස් ඒ ලාභ මිල ගෙවා මැඳුර මිලදී ගත්තා. ඔහුට අවශ්‍ය වුණේ මේ කතාව අසත්‍යයක් බව ඔප්පු කිරීමට විය යුතුයි.
මැඳුර මිලට ගත් පසු ඇතෙනෝඩොරස් පුංචි මේසයක්, පුටුවක්, ලිවීමට අවශ්‍ය ද්‍රව්‍ය හා පහනක් ගෙන්වා ගත්තා.
"දැන් ඔබ හැමෝම මා මෙහි තනි කොට පිටව යන්න"
තම සේවකයින් හා ගෝලයින් මැඳුරෙන් බැහැර යැවූ දාර්ශනිකයා මේසය හා පුටුව මැඳුරේ ඉදිරි දොරකඩ තබා ගත්තා. පහණ පත්තු කොටගෙන අවටින් ඇසෙන සෑම ලොකු, කුඩා ශබ්දයකටම සවන් දෙමින් නිහඬව පුටුවෙහි වාඩිවී ඔහු පැය කිහිපයක් ගෙවා දැමුවා. රාත්‍රියේ ඝනාන්ධකාරය පළවා හරින්නට ඔහුගේ කුඩා පහණේ මලානික ආලෝකයට හැකි වුණේ නෑ. දිවා කළ උස් බිත්ති, කණු හා ලොකූ උළුවහු සහිතව විරාජමානව වැජඹුන මැඳුර මුළුමනින් අඳුරේ ගිලී ගොස් තිබුණේ තමන් මහා අන්ධකාර අගාධයක තනිවූවාක් වැනි හැඟීමකින් ඇතෙනොඩොරස්ගේ සිත පුරවාලමින්.
රෑහි නාදය ඒ ගුප්ත රැයේ අද්භූත බව තවත් වැඩි කළා. ඇතෙනොඩොරස් සිටියේ පුංචි මේසය වෙත හිස නවාගෙන. එක්වරම සුපුරුදු රෑහි නාදය අතරින් වෙනස් යමක සිහින් හඬක් ඔහුගේ තියුණු දෙසවණට වැටුණා. ඒ ශබ්දය මඳින් මඳ වැඩි වෙද්දී ඒ දම්වැල් එකට ගැටෙන හඬ බව ඔහුට වැටහුණා. ඔහු වහා තමන්ට ඇසෙන දේ පිළිබඳව ලියන්නට පටන් ගත්තා. දම්වැල් හඬ ටිකෙන් ටික තමන් සිටින දෙසට ළංවෙන බව ඔහුට වැටහුනත් හිස හරවා එදෙස බැලුවේ නම් නෑ. දිගටම ලියමින් සිටියා.
තමා අසලටම ආ දම්වැල් ශබ්දය නැවතුන බවත්, තමාට පිටුපසින් කිසිවෙක් නිශ්චලව තමා දෙස බලා හිඳින බවත් ඇතෙනෝඩොරස්ට විශ්වාසයි. එහෙත් ඔහු නොසැලී ඒ ඉරියව්වෙන්ම සිය කාර්‍ය්යේ නියැළුනා. මඳ වේලාවකට පසු තමන්ට පිටුපසින් යළි දම්වැල් නද එක් වරක් ඇසුණා. එවර ඇතෙනෝඩොරස් හැරී එදෙස බැලුවා.
ඔහුට පිටුපසින් සිටියේ සම හා ඇටසැකිල්ල පමණක් ඇති කෙසඟ, පැසුණ හිසකෙස් හා රැවුල හැඩපළු ගෙතී දිගට වැවුණ මහල්ලෙක්. ඔහුගේ දෑත් හා දෙපා වල විලංගු ලා තිබුණා. එසේම ඔහුගේ දෑත්වල මස් හෝ සම ඉතිරිව තිබුණෙ නෑ. එක්වරම දම්වැල් හඬවමින් අතක් එසවූ මහල්ලා ඇතෙනෝඩොරස් වෙත කිසියම් සංඥාවක් කලා.
"මේ මිනිහා කියන්නෙ මට එයා පස්සෙන් එන්න කියලද?"
එසේ සිතුවත් ඇතෙනෝඩොරස් කළේ කිසිවක් නොවැටහුණු ලෙසින් නැවතත් මේසය වෙත හැරී මහල්ලා පිළිබඳව සටහන් කර ගැනීමයි. එහෙත් එක්වරම මහල්ලා බැරෑඬි හඬක් පිට කළේ ඇතෙනෝඩොරස්ට බල කිරීමක් හෝ තර්ජනය කිරීමක් වගෙයි.
"දැන්නම් මෙහෙම ඉන්න එක ඇඟට ගුණ නෑ වගේ.."
එසේ සිතූ ඇතෙනෝඩොරස් පහණත් අතින් ගෙන අසුනෙන් නැඟී මහල්ලා වෙත පියවරක් තැබුවා. මහල්ලා හැරී ඉතා අපහසුවෙන් දෙපා අද්දමින් අඳුරු ශාලා දිගේ ඉදිරියට ගමන් කරන්නට වුණා. දම්වැල් හඬ ඒ ශාලා ඇතුළෙ දෝංකාර දුන්නා. ඇතෙනෝඩොරස් තිගැස්මෙන් යුතුව වුණත් නොනැවතී මහල්ලා පසුපස ගියා. මැඳුරේ වෙනත් පැත්තකින් අංගනයක් වෙත ගිය මහල්ලා එහි එක් වල්වැදුණු ස්ථානයකදී ඇතෙනෝඩොරස් දෙස බලාගෙන අතුරුදහන් වුණා. ඔහු යළිත් ඒ රැයේ පෙණී හිටියෙ නෑ.
තැතිගැන්මෙන් යුතුව වුවත් මේ පිළිබඳව කල්පනා කරමින් රැය ගෙවා දැමූ ඇතෙනෝඩොරස් උදෑසනම නගරයේ විනිසුරුවරයා හමුවට ගියා. තමන් අත්දුටු සිදුවීම පැහැදිලිව ඔහු හා පැවසූ හෙතෙම විනිසුරුගේද අවසරය ඇතිව මිනිසුන් කීප දෙනෙක් හා පොළව සෑරීමට අවශ්‍ය උපකරණ සමඟ නැවත මැඳුරේ ඒ අංගනය වෙත ගියා.
අඩි ගණනක් පොළව යටට සාරද්දී ඔවුන්ට දැක ගන්න ලැබුණේ දෑත් දෙපා විලංගුලා තිබූ ඇටසැකිල්ලක්. එය වකුටුවී තිබූ ආකාරය දුටු සැමගේ සිත්වල ඇතිවුණේ දැඩි කණගාටුවක්. ඔහු කවුද, එවන් දරුණු මරණයක් ඔහුට අත්වූයේ කෙසේද යන ප්‍රශ්ණ වලට පිළිතුරු මැඳුරේ කලින් හිමිකරු හෝ වෙනත් කිසිවෙක් දැන සිටියේ නැහැ. ඒ මැඳුර වසර සියගණනක් පුරා හිමිකරුවන් රැසක් අතට මාරුවූ ගොඩනැගිල්ලක්.
අවසානයේ ඇතෙනෝඩොරස් ඒ ඇටසැකිල්ල ගොඩගෙන, එහි විලංගු ඉවත්කර නිසි ආගමික චාරිත්‍ර හා සම්මත අවසන් ගෞරව සහිතව නැවත භූමදාන කළා. එදායින් පසු යළි කිසිදාක විලංගු ලූ මහල්ලා ඇතැන්ස් පුරවරය කැළඹීමට පැමිණියේ නෑ.
0 comments:
Post a Comment