තාරු බොරු නෝක්කඩුවක් මවාගෙන ජනිත්ගේ උරහිසට පාරක් ගැහුවා..
"හොද ඇදුම්..!!! ඇයි තාරු ඔයාට අල්මාරියක් පිරෙන්න තියෙන්නේ ඔක්කොම සවුත්තු ඇදුම්ද..ගමනක් යන
යන ගානේ ඇදුම් ගන්න.. අනේ මන්දා ඔයාට තියෙන තරම් ඇදුම් පමුණුවේ වත් තියෙනවද කියලා..."
"අනේ යන්න ජනී යන්න..."
"මේක මේ ප්ලෑන් කරලා යන්න තීරණේ කරන් හිටපු ගමනක් නෙවේ බබා.. මට නිවාඩු ගන්න එක එච්චර ලේසි නෑ කියලා ඉතිං දන්නවනේ ඔයා.. මං කලින් ඇප්ලයි කරපු දවස් තුනක් තමා ඔය හම්බුණේ.. ඉතිං මැරේජ් එකෙන් පස්සේ අපිට කොහෙවත් යන්න වුණේ නැති නිසා තමා නුවරඑළියට මේ ට්‍රිප් එක දාගත්තේ...."'
"හරි ඉතිං... මේ එතකොට අපි දවස් තුනක් නුවරඑළි ඉන්නවද..."
"ම්ම්ම්ම්...."
"අනේ ෂෝක්...."
"ඔව් මේ දවස් වල එහෙ හරි සීතලයිලු..."
ජනිත් එහෙම කිව්වේ ඇහැක් වහලා.. තාරුගේ මූණ රතු වුණේ බලන් ඉද්දී....
"ඉදා.... මේ බලපල්ලකෝ.. මෙයාගේ ලැජ්ජව හනිමුන් එකේ වත් දැක්කේ නෑ මෙහෙම ලැජ්ජාවක්..."
ජනිත් උරහිස් හොල්ල හොල්ල හිනා වුණේ තාරුගේ මූණ දිහා බල බල...
"අනේ මේ... ඉස්සරහා බලන් ඩ්‍රයිව් කරනවා... විකාරේ..."
"අම්මත් එච්චර කැමති වුණේ නෑ අපි මෙහෙම හදීසියේ එනකොට..."
"අනේ ඉතිං ඒ නැන්ද අම්මා මොනාටද කැමති... මොනා කරන්න ගියත් බර බරේ නේ..."
"ඔයා හරි නරකයි අනේ හැමවෙලේම අපේ අම්මට නෝණ්ඩ් දානවා... ඉන්නවකෝ මං කියන්න..."
"කියලා කරයි මට...."
ජනිත් එහෙම කිව්වම තාරුටත් හිනා ගියා..
අවට වට පිටාව අදුර ගිලගෙන තියෙද්දී සිහින් පොද වැස්සකුත් ඒ වට පිටාව වෙලා ගත්තා.. වැඩි වෙලාවක් නොගිහින්ම සිහින් පොද වැස්ස මහ වැස්සක් බවට පත් වුණේ හතර වටම එලිය කරමින් අකුණු පාරවල්ද එල්ල කරන ගමන්...
"ඕහ්... ෂිට්... කොහෙන් පාත් වෙච්ච වැස්සක්ද මේ..."
වතුර කපාගෙන ජනිත් වාහනේ වේගේ වැඩි කරා.. නොසිතූ ලෙස ඇදහැලෙන්නට ගත්ත වර්ෂාව ඔවුන්ගේ ගමනට බාධාවක් නොවුණම නෙවේ...
"හයියෙන් යන්න ඕන්නෑ ජනී අපි හෙමින් යං.. "
"මං ටාගට් කරේ උදේ පාන්දර වෙද්දී නුවරඑළියට ලෑන්ඩ් කරන්න.. ෂිට් දැන් මේ වැඩෙන් දවල් වෙයි...."
"ඒකට කමක් නෑ... පුලුවන් වේගෙන් යං... වැස්ස අඩු වෙයි තව ටිකකින්..."
පැයක් පමණ එකදිගට ඇද හැලුණු වැස්සේ කිසිම අඩුවක් උනේ නෑ.. ජනිත් වැස්සත් එක්ක ඇති වුණේ තරහක්..
"වෙලාව කීයද තාරු..."
"12හට කාලයි."
නිදිමතට පියවෙන දෑස් බලෙන්ම වගේ ලොකු කරන් තාරු හිටියේ නින්ද යයි කියලා බයෙන්.. ඇය කැමති වුණේ නෑ කොච්චර නිදිමත උනත් ජනිත්ව තනි කරන්න...
"අනේ දෙයියනේ !!!!..... ජනී... ඔන්න....!!"
සුදු පැහැති ගුලියක් වැනි යමක් විත් වාහනයේ වින්ඩ්ස්ක්‍රීන් එකේ වදිද්දීම තාරු බෙරිහන් දුන්නා...ඒ දර්ශනේ දුටු ජනිත් ක්ෂණිකව වාහනය වම් පසට කපා නැවැත්තුවේ ලයිට් කණුවක වදින්න ඔන්න මෙන්න කියලා තියෙද්දී....
"මොක්....මොකද්ද ඒ....????"
කිසිවක් සිතා ගත නොහැකිවූ තාරු ජනිත්ගේ අත තම දෝතින්ම අල්ලා ගන්නා ගමන් පැවසුවා...
තම විශාල වූ දෑස් එක එල්ලේම වින්ඩ්ස්ක්‍රීන් එක දිහාවට යොමාගෙන සිටි ජනිත් එහි වු යමක් දෙස බලා සිටියේ එලියට පණින්න තරම් දගලන හදවතත් සමග....තාරුගේ දෑස් ද ඒ වෙත යොමු වුයේ ජනිත්ගේ මුහුණේ තිබූ ඉරියව් වලින් ඇගේ හදවතද සලිත වී යද්දී...
" ආහ් ජනිත් ලේ...!! "
වැහි වතුරත් සමග බේරී වින්ඩ්ස්ක්‍රීන් එක දිගේ පහලට බේරෙන රක්තවර්ණ රුධිර ධාරාව දුටු තාරු දෑතින් කටවසා ගත්තේ උගුරෙන් කෑගසමින් ...
"අනේ ජනිත් කවුරු හරි හැප්පුණ දෙයියනේ...."
"ෂ්... චුට්ටක් කලබල නැතුව ඉන්න තාරු... සතෙක්ද දන්නෑනේ... ඉන්න මං බැහැලා බලන්න..."
"නෑ නෑ බහින්න එපා !! "
"පිස්සුද තාරු නොබැහැ කොහොමද ... ඒ මනුස්සයෙක් නම් අපිට බෑ මග අරින්න..."'
"ඔයා ඔහොම නෙවේ කොහොම කිව්වත් මං ඔයාට බහින්න දෙන්නෑ ජනිත්... මට නුවරඑළි යන්න ඕන්නෑ අපි ගෙදර යමු....යමු.. යමු.."
අවසිහියෙන් මෙන් තාරු කෑගහද්දී තම බිරිදගේ මානසිකත්වය ගැන සිතූ ජනිත් අකමැත්තෙන් යලිත් වාහනය හැර වුයේ තමන් වරදකාරයෙකු යැයි යන හැගීමෙන්...
නොනවත්වාම අඩන තම බිරිද සැනසීමටවත් වදනක් ඔලුවට නාව ඔහු කල්පනාවට බර වෙමින් රිය ඉදිරියට පැදවුවා.. ආපසු රිය හරවන විට ඔහු ඕනෑකමින් බැලුවේ ලගම තිබූ නාම පුවරුව දිහා..
"දොර පහ හංදිය"
ඔහු එය තම සිතේ තදින්ම සටහන් කර ගත්තා...
"තාරු.... ඇයි මේ... ඇයි මේ ගිය පයින්ම...."
තාරු හඩමින් උඩු මහලට දිව ගියේ තම මවට වත් පිලිතුරු නොසපයාම...
"ජනිත් පුතා... ඇයි පුතේ..."
කිසිවක් සිතාගත නොහැකි වූ පෙරේරා මහත්මිය ජනිත් දෙස බලා සිටියේ විසල් වූ දෑසින්...
"පුතා!!!!"
"ම්...මේ... මගදි අම්මා පූසෙක් පැන්නා වාහනේට. ඌ යට උනා.. තාරු ඒකට අප්සට් එකේ යන්න බෑ කිව්වා...."
"ඒකනේ පුතේ මං කියන්නේ හදීසියට ගමන් බිමන් දාගන්න එපා කියලා... හ්ම්ම්ම්... කෝක උනත් වෙච්ච දේ හොදටයි කියලා හිතාගන්න ... ගමන නොගිය එක හොදයි...."
එදින රාත්‍රියේ තාරුටවත් ජනිත්ට වත් නින්දක් නොවූවා.. ඉදහිට හෝ දෑස් පියවෙද්දී තාරු අධික ලෙස හීනෙන් බය වී කෑගසන්නට වුණා... ජනිත්ගේ හිතත් යකාගේ කම්මල වගේ තිබුණේ ඒ යට වුණේ මනුස්සයෙක් නම තමන් මිණීමරුවෙක් යන හැගීම හිතට වදදෙන්න ගත්ත නිසා..
"උදේම ඔයා කොහේ යන්නද මේ..."
පසුදා පාන්දරම ජනිත් හැදපැලද ගත්තේ පෙරදින අනතුර වු ස්ථානයට යාමට සිතාගෙන.. නමුත් ඒ කිසිවක් තාරුට නොපවසන්න ඔහු තීරණය කරා...
"මං දනුකව පොඩ්ඩක් මීට් වෙලා එන්නම්.."
"ඒ මොකටද.."'
"විශේෂයක් නෑ... නිකන්..."
"ජනිත් මට පොරොන්දු වෙන්න මේ කිසිදෙයක් කාටවත් කියන්නෑ කියලා ප්ලීස්..."
"හරි තාරු මං කාටවත් කියන්නෑ.. කියන්න පුලුවන් කමකුත් නෑනේ..."
"හ්ම්ම්... එහෙනම් පරිස්සමට ගිහින් එන්න..."
තාරුගෙන් සමුගත්ත ජනිත් කෙලින්ම ගියේ තමන්ගේ වාහනය ලගට. ඔහු එහි ඉදිරිපස හොදින් පරික්ශා කර බැලුවත් තැලීමක් තියා සීරීමක් වත් වාහනයට සිදු වෙලා තිබුනේ නෑ .. ඒ දේ ඔහුට පුදුමයක් උනා...
පසුව ඔහු කෙලින්ම රිය පැදවුයේ පසුදා අනතුර වූ ස්ථානයට ..
දොරපහ හංදිය ලෙස සටහන් කර තිබූ පුවරුව අසල වාහනය නතර කල ඔහු ඉන් බිමට බැස කිසිවෙකුටත් සැක නොහිතෙන ලෙස අවට වට පිටාව පරීක්ෂා කර බැලුවා.. නමුත් ඔහුට අනතුරක හෝඩුවාවක් වත් දැක ගන්නට වුයේ නෑ...
"මට වැරදුනා ද තැන..."
ඔහු තනිවම කල්පනා කරා.. නමුත් ඒ නාම පුවරුව ඔහුගේ මතකේ හොදින් තිබුණා ...
"මහත්තයා...."
තමාට පිටුපසින් ඇසුණුකට හඩට ජනිත් ගැස්සිලා ආපහු හැරුණා ...
"පාර වැරදිලා වත්ද මහත්තයෝ ..."
සුදු පැහැති බැණියමකින් හා සරමකින් සැරසුණු තරමක් තරබාරු මැදිවියේ පුද්ගකයෙකු ජනිත් ඉදිරියේ සිටගෙන සිටියා...
"න්..නෑ... මේ ...මං...."
ජනිත්ට එකවරම කීමට යමක් ගලපා ගන්නට නොහැකි වුවා..
"මං මේ මහත්තයා දිහා ටිකක් වෙලා බලන් ඉදලයි මේ ආවේ... ආන් අර තියෙන්නේ මගේ කඩේ..."
පාරෙහි වම් පසින් තනා තිබූ කඩයක් දෙසට අත දිගු කරමින් ඔහු පැවසූවා.. ඊයේ සිදු වූ අනතුර පිලිබඳව මොහු නම් නිසැකවම දැන ගත යුතු බව ජනිත්ට සිතුණා.. කෙසේ හෝ ඔහුගෙන් හෝඩුවාවක් දැන ගත යුතු බව ජනිත් සිතුවා...
"ආ නෑ... මේ වාහනේට මොකෙක් හරි සතෙක් පැන්නා මං මේ බැහැලා බැලුවේ ඒකයි මුදලාලී..."
"සුදු පාට ගුලියක් වගේද මහත්තයෝ ..."
දෑස් ඉහලට අරන් ඉහු පවසද්දී ජනිත්ගෙ දෑස්ද ඒ හා සමානව ඉහල ගියා...
"මු...මුදලාලී කොහොමද ඒක දන්නේ..."
ජනිත්ගේ හදවතේ රිද්මය පවා ඒ වෙලාවේ වෙනස් වෙලයි තිබුනේ ...
" කාලකණ්ණි මලයක්ෂණී දවල්ටත් බිලි ගන්න හදනවද කොහෙද දැන් ... ඒත් මං අද උදේ කඩේ ඇරියේ කාගේ ජීවිතේද බිල්ලට ගත්තේ කියලා බයෙන් මහත්තයෝ ... පුදුමේ කියන්නේ ඊයේ කෙම්මුර දවසේ ඒකීට බිල්ලක් ගන්න බැරිවෙලානේ.. නැත්තම් හැම කෙම්මුර දවසකම මෙතන ඇක්සිඩන්ට් එකක්..කවුරුම හරි මැරිලා"
"ජනිත් ඒ සියල්ල අසා සිටියේ තුෂ්නිම්භූත වෙලා.. කතා කර ගත නොහැකි ලෙසට ඔහුගේ මුව තිබුනේද ගොළු වෙලා..."
"මහත්තයෝ කඩේට ගොඩ උනා නම්.. හිතත් ගැස්සිච්ච එකේ පොඩ්ඩක් ඉදලා යන්න..."
ජනිත් ඔහු සමග ඔහුගේ කඩේට ගොඩ උනා.. කඩපිල මත තබා තිබූ පුටුවක හිද ගත් ජනිත්ගේ අතින් ඔහු තැබුවේ සිසිල් බීම බෝතලයක් .. ජනිත් එය පානය කරේ එක හුස්මට ..
"මල යක්ෂණි කිව්වේ කාටද මුදලාලී..."
ඇගට යම් කිසි ප්‍රාණයක් දැනුණු පසු ජනිත් ඔහුගෙන් විමසා සිටියා...
"ඔය මේ අපේ ගමේ අනුන්ට කොඩිවින කර කර හිටපු ගෑණියෙක් මහත්තයෝ.. දන්න සාත්තරේ යොදා ගත්තේ නපුරටමයි... නපුරටමයි... මුලු ගමටම පිලිලයක් වෙලා හිටියේ ඔය ගෑණී.. දවසක් ඕන් ඔය දොර පහ හංදියේ ටිපර් එකකට යටවෙලා කුඩුපට්ටම් වෙලා හිටියා.. ඒත් ඔය කාටදෝ කොඩිවිනයක් කරලා එන ගමන්... ඒ ගෑණිගේ මස් ගොඩ විතරයි ඉතිරි වුණේ හරියටම ඊයේ වගේ කෙම්මුර දවසකම.. එදා ඉදන් හැම කෙම්මුර දවසකම මෙතන කවුරු හරි ඇක්සිඩන්ට් එකකින් මැරෙනවා...
"ඒවගේ දේවල් වෙන්න පුලුවන්ද මුදලාලි මහත්තයා ..."
"මොකෝ වෙන්න බැරි මහත්තයෝ.. ඇහැට දැකපු ගමේ ඈයොම ඉන්නවා.. බේරිච්ච අය දෙන්නෙක් තුන්දෙනෙක්මත් ඉන්නවා ගමේම ..සුදු පාට මීදුම් ගුලියක් වගේ ඇවිත් වදිනවලු වාහනේ.. "
මුදලාලි පවසන කතාවේ යම් ඇත්තක් ඇතැයි ජනිත්ට සිතුණේ ඒ අත්දැකීමට තමන් මුහුණ දුන් නිසා..
"මහත්තයා යන්නද..."
ජනිත් නැගිටිනවා දුටු මුදලාලී ඔහුගෙන් ඇසුවේ ඒ එක්කම නැගිටින ගමන් ...
"ඔව් මුදලාලී..."
"මේකනේ මහත්තයෝ ඔතන වෙන දේ දැන දැනත් අපිට කරබාගෙන ඉන්න වෙලා.. මොකද බෝඩ් කෑල්ලක් වත් ගහන්නද.. බෑනේ.. වලක්, ගලක් ප්‍රපාතයක් වගේ නම් ගහත හැකී.. මේ දේ ඉතිං කටින් කට ගියොත් තමා.. අනේ මන්දා කවදා මේවා ඉවරවෙයිද කියලා...."
"මං එහෙනම් යන්නම්..."
"හොදයි මහත්තයෝ .. හොදයි.. මහත්තයගේ පූරුවේ පිනකට බේරෙන්නැත්තේ... තුරුණුවන් සරණයි...."
ජනිත් ආපසු විත් කාරයට ගොඩ වුයේ හිත තව තවත් පැටලෙද්දී... නමුත් ඔහුගේ හිතට එක් සහනයක් දැනුණා ඒ තමා අතින් මිණීමැරුමක් සිදු වී නැතැයි කල්පනාවෙද්දී.. ඒ කෙසේ වෙතත් කාලයත් සමග මේ සිදු වීම තාරුට අමතක වී යන බව ඔහු දැන ගෙන සිටිනිසා මේ පිලිබඳව කිසිදාක ඈ හා නොපවසා සිටීමට ඔහු අවසානයේ තීරණය කරා...
0 comments:
Post a Comment