දරුවා කුඩා ගල් කැබිලිති අසුලා ඒවා වැව් දියට වීසි කරමින් දියරැළි නඟන ආකාරය නැරඹුවේ ප්‍රීතියෙන් යුතුව.
"අනේ.. අනේ තාත්තේ..!!"
එක්වරම තමන් පිටුපසින් ගමන් කරමින් තම කුඩා පුතු බියෙන් විලාප නඟනු ඇසුණු පියා වහා ඔහුවෙතට හැරෙද්දී දුටුවේ බියකරු දසුනක්. කුඩා දරුවා වැව් බැම්ම දෑතින් බදාගෙන පහතට එල්ලී සිටි අතර වැවට වැටීමෙන් වැළකීමට දැඩි උත්සහයක යෙදුණා.
" ප්ප් පුතේ.."
තම දරුවා ගළවා ගැනීමට ඔහු ගත් සියළු උත්සාහයන් ව්‍යර්ථ කරමින් කුඩා දරුවා වැව් දියට වැටී ගිලී ගියා. මොහොතකුදු පමා නොවූ පියා වැවට පැන ඒ මේ අත කිමිදුණත් පුතුගේ සළකුණකුදු ඔහුට දකින්න ලැබුණෙ නෑ. එබැවින් පියා ඉතා ගැඹුරු වැව්දිය පතුලටම කිමිදුණේ දරුවා කෙරෙහි ඇති අසීමාන්තික දාරක ස්නේහයෙන්. වැව් දිය පතුලට ළංවූ පියා දුටුවේ විශ්වාස කළ නොහැකි දෙයක්.
ඔහුගේ කුඩා පුතු වැව් පතුලෙහි ගලක් මත දෑත සිරුර දෙපසින් පහතට දමාගෙන සන්සුන් ලෙස හිඳ සිටියා. එහෙත් ඔහුගේ මුව හා දෑස් මහත් ලෙස විවරවී තිබුණෙ හිඳ සිටියදී ඔහු යම්කිසි දෙයකට බියවූ බවක් පාමින්. ප්‍රාණය ඇතැයි සිතිය නොහැකි ඔහුගේ සිරුර දිය රැළි සමඟ චලනය වුණා.
නමුත් පියා සටන අතහැරියෙ නැහැ. ඔහු පුතුගේ සිරුරද රැගෙන හැකි උපරිම වේගයෙන් වැව් දිය මතට කිමිදී ඉවුරට ගොඩවුණා. වාසනාවට ඔහු ප්‍රථමාධාර ක්‍රම ගැන තරමක පුහුණුව ලද්දෙක්. වහ වහා මුවට හුස්ම පිඹීමේ ප්‍රතිකාරය සිදුකොට අවසන සිය උත්සාහය අත්හැරීමට මොහොතකට පෙර දරුවාගේ ළය උස්පහත් වන අයුරු ඔහු දුටුවා.
සුවවූ දරුවා පැවසුවේ වැවෙන් මතුවූ කුඩා කොළුවෙකු විසින් තමන්ගේ දෙපයින් අදිනු ලදුව තමන් වැවේ ගිලී ගිය බවයි.
මේ පියා හා පුතා නොදැණ සිටියද ඕලා වැවෙන් හිටි අඩියේ මතුවන කොළුවාගේ අවතාරය එගම වැසියන් අතර ප්‍රකට පුවතක් වුණා. වැව අසල ජීවත්වන බොහෝ දෙනා කලින් කලට සමහර රාත්‍රීන්වල ඔහුගේ වේදනාබර විලාපයන් ඇසෙන බවට වාර්තා කොට තිබෙනවා.
" මේ සිද්ධියට මුල් වෙන්නෙ අතීතයෙ වුණ දුක්මුසු පුවතක්"
ඕලාහි වසන වැඩිහිටියෙකුගෙන් අසන්නට ලැබුණ පරිදි ඒ කතාව මෙසේයි.
"1947 අවුරුද්දේ තමයි වාර්තාවලට අනුව ඔය සිද්ධිය වෙලා තියෙන්නෙ. ඒ කාලෙ හිටපු දරුවො ඔය වැව ඉස්මත්තෙ නිතරම සෙල්ලම් කරල තියනව. ඉතිං එක දවසක් ඔහොම සෙල්ලම් කරපු පොඩි කොල්ලො කණ්ඩායමක හිටපු එක දරුවෙක් එක පාරටම වැවට වැටිල ගිළුනලු. ගැඹුරු වුණත් වැවේ පීනන්න ඒ කාලෙ ළමයි බයවෙලා නෑ. ඉතිං මේ ළමයත් ගිලෙයි කියල කවුරුත් හිතල නෑ. වැටුණ වේගෙට යමක් වතුරෙ යට ගියාට සාමාන්‍යයෙන් ආපහු උඩ එනවනෙ. ඉතිං අනෙක් ළමයි වැව් ඉවුර අයිනට වෙලා මේ ළමය ආපහු උඩ මතුවෙනකම් බලං හිටියලු පැනල ගන්න. ඒත් සෑහෙන වෙලාවක් බලන් හිටියත් ළමය ආපහු උඩ මතුවෙලා නෑ. ඒපාර යාළුවො ටික හොඳටම බයවෙලා ගමට දුවල ඇවිත් වැඩිහිටියො කීපදෙනෙක් අඬගහගෙන ගියාළු.
වැවට පැන්න කිමිදුම් කරුවන්ට දරුව ගැන කිසිම හෝඩුවාවක් ලැබිල නෑ වැව් පතුලටම යනතුරු. මේ වැව හරිම ගැඹුරුයි. පතුලට කිමිදෙන එක අමාරුයි වගේම භයානකයි. ඒත් කිමිදුම් කරුවො වැව් පතුලටම ගියාළු. එතකොට දැකල තිබුණෙ අමුතු, භයානක දෙයක්. කිසිම දියේ ගිළුණ කෙනෙක් නොඉඳින ඉරියව්වකින් ඉන්න ළමයව එයාලට දකින්න ලැබුණලු.."
"ඒ කිව්වෙ?"
"ඒ කිව්වෙ මහත්තයො ඒ ළමය බොහොම සන්සුන් විදිහට වැව්පතුලෙ තිබ්බ ගලක් උඩ ඉඳගෙන අත් දෙක දෙපැත්තට දාගෙන හිටියළු. ඒත් හුස්ම හිරවෙද්දි වුණා කියල හිතන්න පුළුවන් විදිහට කටයි ඇස් දෙකයි හොඳටම ඇරිලලු.. "
දරුවා දියෙහි ගිලී සෑහෙන වේලාවක් ගතවී තිබූ නිසා ප්‍රාණය පිළිබඳව බලාපොරොත්තුවක් ඔවුන්ට තිබී නැහැ. කෙසේ නමුත් කිමිදුම් කරුවන් දරුවාව වැව් ඉවුරට ගෙන ආවා. ඔවුන් සිතූ පරිදිම ඒ වනවිට ඔහු අවසන් හුස්ම හෙළා බොහෝ වේලාවක් ගෙවී අවසන්. මුළු ගමේම සෝසුසුම් මැද ඔහුගේ දේහය මිහිදන් කළත් ඒ මරණයේ තිබූ අද්භූත බව නිසාම එයින් පසු ගම්මු ඒ සිදුවීම සිහිකරන්නටවත් පෙළඹුනේ නෑ.
ඒත් එය සිදුවීමක අවසානයක් නොව, සිද්ධි දාමයක ආරම්භයක් වූ බව ඕලා වැසියන් දැණගන්නේ පසුවයි. වැව අසල ජීවත්වන බොහෝ දෙනාට ඉන් පෙර අසා නොපුරුදු වේදනාබර විලාප ඝණ අඳුරු රාත්‍රින්වල වැව දෙසින් ඇසෙන්නට පටන් ගත්තා. මුලදි ඔවුන් ඒ සුළඟ විසින් ඇති කරන හඬක් වියයුතු යැයි සිතුවත් පසුව ඒ අදහස වෙනස්වූවේ වැව ඉවුර මතින් යන බොහෝ දෙනෙක් වැවෙන් මතුවන දරුවා විසින් තම දෙපයින් ඇද ගිල්වීමට උත්සහ කරන ලදැයි කියන ප්‍රකාශ ඇසීමෙන්.
"මම හොඳටම දැක්ක ඒ ළමයගෙ ඔළුව .. එකපාරටම වතුරෙන් උඩට මතුවුණා.. ඊළඟ පාර එයා මගෙ කකුලෙන් තදින් ඇද්දා.. මම බේරුණේ අනූනවයෙන්.."
වැව් දියේ මසුන් මරන්නට ගිය, මෙවැනි කතා උපහාසයෙන් ඉවතලන කිහිපදෙනෙකුත් මේ අත්දැකීම ලැබුවා. වැඩිපුරම මේ දරුවාගේ ප්‍රහාරයට ලක්වුණේ කුඩා ළමුන් සහ අද්භූත කතා විශ්වාස නොකරන පුද්ගලයින්.
" අන්තිමේ ඒ කාලෙ හිටපු ඇත්තො හොඳ පාදිලි කෙනෙක් ගෙන්නල ළමයගෙ ආත්මය වෙනුවෙන් වැව් ඉවුරේ දේව කණ්නලවුවක් කරල තියනව. ඒ අය හිතල තියෙන්නෙ ඒකෙන් ළමයට ශාන්තිය ලැබෙයි කියල.. ඒත් ටික කාලයක් ගියාට පස්සෙ ආපහු අර විලාපෙ ඇහෙන්න අරං. අපේ සමහර අය කියනව ඒ ළමයගෙ ආත්මයට කවදාවත් ශාන්තියක් ලැබෙන්නෙ නෑ කියල.. දැන් මේ ආපහු වෙච්චි සිද්ධියෙන් මේ කතාව අළුත් වුණා මහත්තයො. අපේ සමහර අය කියනව ඒ ළමයට ඔය එයාගෙ වැව් පතුලෙ සොහොනෙන් ගැළවිලා යන්න පුළුවන් වෙන්නෙ තව කෙනෙක් ඒ ගල උඩ ඉන්දවලා විතරයිලු.. කවුද මහත්තයො ඒකට ඉඩ දෙන්න කැමති? ඒ කොළුවට සුගතියක් වෙනවට මොනතරම් කැමතිවුණත් කවුද තමන්ගෙ දරුවව කැප කරන්නෙ ඒ වෙනුවෙන්?"
එසේ කී ගැමියා දුක්බර බැල්මක් වැවේ රැළි නගන දියකඳ වෙත හෙළා මගෙන් සමුගත්තා. වැව පේන මානයටවත් නොයන ලෙස ඕලාවේ දෙමව්පියන් තමන්ගේ දූදරුවන්ට දැණටමත් තරයේ අවවාද කොට අවසන්.
වැව් දිය තොරතෝංචියක් නැතිව රැළි නඟයි. ඝණ අඳුරු රැයේ විලාප නඟන ඒ දරුවා හෙට, නැතිනම් තවත් දවසක අනපේක්ෂිත මොහොතක යළිත් වැව්දියෙන් මතුවෙන බවත්, තමන්ගේ දිය යට සොහොන් කොතෙහි ස්ථානයට වෙනකෙකු ගෙනයෑමට උත්සහ කරන බවත් මටත් හොරාම මගේ සිතත් විශ්වාස කිරීමට පටන්ගෙන ඇත.
0 comments:
Post a Comment