ඇය දිනක් නිවසට අවශ්‍ය බඩු ගෙන එ්මට පොළට යාමට සැරසෙන්නේ දහවලෙහිය. තම නැන්දම්මා වෙත තම කුඩා දරුවන් බලා කියා ගැනීම භාර කළ ඇය තනිවම පොළ කරා පිටත් වන්නේ තමන් ගෙන ආ යුතු බඩු අාදිය පිළිබඳ සිතමිනි.
සුපුරුදු මාර්ගය ඔස්සේ පොළට ගොස් අවැසි භාණ්ඩ මිළදී ගන්නා ඇයට දක්නට ලැබෙන්නේ අලුත් මාළු ය.
තම කුඩා දියණිය මාළු කෑමට දැඩි ආශාවක් දක්වන බව සිහි වූ චන්ද්‍රා තම දියණිය වෙනුවෙන් මාළු මිළදීගත්තා ය. එම මිළදී ගත් මාළු පාර්සලය වෙනම අතේ රඳවාගත් ඇය පුතුට හා දියණියට සෙල්ලම් බඩු ද රැගෙන නැවත නිවස කරා ගමන් ඇරඹුවා ය.
සෑම දිනකම පොළට ගොස් නැවත පැමිණෙන මාර්ගය දිගේම ඇය පැමිණෙමින් සිටින අතර යම් අමුත්තක් පරිසරයේ සිදුවන බව ඇයට වැටහෙන්නට එතරම් වේලාවක් ගත නොවුණි. සිදුවන්නේ අරුම දෙයකි. මාර්ගය ටික දුරක් ගොස් අවසන් වී ඇත. ඉදිරියේ ඇත්තේ වෙල කි. කෙසේ හෝ පාර සොයාගන්නා අදිටනින් ඇය වෙලට බැස මද දුරක් ගමන් කළා ය. නැවත පෙර පරිදි මාර්ගය දිස්වන්නට විය. එහි මද දුරක් ගමන් කළ පසු ඇයට දක්නට ලැබෙන්නේ නැවතත් කන්දකි. චන්ද්‍රා තුළ මේ පිළිබඳ විශ්මයක් මිස කිසි විටෙකත් චකිතයක් ඇති නොවුණි. ඇය මදක් නතර වී තමන්ට මාර්ගය වැරදී ඇත්දැයි විපරම් කළා ය. එ්ත් සෑම දිනකම ගමන් කරන මාර්ගය වරදින්නේ කෙසේද?
ඇයට දැනුණේ මහ අමුත්තකි. එ් සමඟම ඇගේ අතේ තිබූ මාළු පාර්සලය යමෙකු විසින් අදින්නට තැත් කරන බව හැඟී ගිය බැවින් ඇය ඒ දෙස බැලුවාය. කිසිවෙකුත් නැත. බලා සිටීමෙන් පලක් නොවන බව වටහාගත් ඇය කෙසේ හෝ මාර්ගය සොයාගතයුතු බව සිතා ඉදිරියට අඩියක් තැබුවා පමණි. පෙර සඳහන් කළ නොපෙනෙන බලවේගය මඟින් ඇයව මාළු පාර්සලයෙන් අල්ලා පිටුපසට අදියි. වහා මාළු පාර්සලය අත හැර දැමූ චන්ද්‍ර පසු නොබලා දිස් වූ කඳු මුදුනට නැග ගත්තාය. තේ යායකින් වටවූ කඳු මුදුනේ දක්නට ලැබුණේ දේවාලයකි.
දේවාලය දෙසට ඇය ගමන් කළා ය. දේවාලය අසළ සිට මහළු පුද්ගලයෙකු පිටතට පැමිණි අතර ඇයට එය යම් අස්වැසිල්ලක් විය. ඔහු දේවාලයේ කපු මහතා ලෙස තමන් හඳුන්වා දුන් අතර දේවාලයට පැමිණි හේතුව චන්ද්‍රාගෙන් විමසා සිටියේය. ඇය තමන් මුහුණ පෑ සිද්ධිය අකුරක් නෑර කපු මහතා ඉදිරියේ පැවසීය.
“ මේ දරුවා බේරිලා තියන්නේ වාසනාවකට තමා. ඔය පාරෙන් වැඩිය කවුරුත් යන්නේ නෑ. ඇරත් මේ මහ දවාලේ ඔය දරුවා තනියෙන් ඔය පාරේ ඇවිත් කරලා තියෙන්නේ භයානක දෙයක්. ජීවිතේ බේරුණ එකම පුදුමයි. ඔය වත්තට පහළින් ඉඩමේ අයිතිකාරයා මැරුණහම වැළලුවේ ඔතනමයි. නිකම්වත් මනුස්සයෙකුට යන්න එන්න සුදුසු පාරක් නෙවෙයි ඕක. මේ දරුවා මාළු ඇරගෙන ඇවිල්ලත් බේරැණේ හිත හයිය නිසා තමා. ඇරත් මේ පේරත අාත්මය ගැන සිද්ධිය නොදන්න එකම පුදුමයි. සමහර විට ඒ කතාව ටිකක් පරණ නිසා අනෙක් ගම් වල උදවියට ගාණක් නැතු ඇති" චන්ද්‍රා හට එම කතාව ඇසුව පසුද එතරම් බියක් නොදැනුණි. නිවසට පැමිණි පසුව ද එතරම් ඒ සිද්ධිය ඈ විසින් ගණන් නොගත්තද අවුරුදු 26කට පමණ පෙර සිදුවූ එම සිද්ධිය අද සිහි කරන්නේ යම් චකිතයකිනි.
0 comments:
Post a Comment