ඩේඩොන් අප්පුගේ අවතාරය (Dedos Appu)

ඩේඩොන් අප්පුගේ අවතාරය (Dedos Appu) - Your Choice Way

වෙලාව රාත්‍රී 12 පසුවී විනාඩි පහකි...

..විජේරත්න ඔරලෝසුව දෙස බලා හිතේ සනිටුහන් කර ගත්තෙය..තම බිරියත් දරුවන් තිදෙනාත් ඔවුන්ගේ කාමරවල තද නින්දේ පසුවූහ..සුසුමක් හෙලූ ඔහු යලිත් යන්තරය ඇඳීමට පටන් ගත්තේ ය..

අසල ගසක වැසූ බස්සෙකුගේ මූසල නාදය ඇසුණේ ඈත උන් නරි රැලකගේ හූ හඬත් මුසුවය.. හිස කෙලින් කර ගත් ඔහු රස්නය නිසා ජනෙල් පියන් හැර ගෙන මඳක් එපිටට නෙත් යොමු කළේ ය..නිසල පරිසරය දෙස මොහොතක් බලා උන් ඔහු යලිත් යන්ත්‍ර කොළේට එබිණි.

විජේරත්න යනු වෘත්තීයෙන් විද්‍යා ගුරුවරයෙකි.. හසල දැනුමක් තිබූ ඔහු යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය මැනවින් උගත් අයෙකි.. පනස් පස් වියේ පසුවූ විජේරත්න උස මහත සිරුරකින් යුක්ත නීරෝගී පුද්ගලයකද විය..

යන්ත්‍රය ඇඳීමට යළිත් යන්ත්‍ර කොළේට එබුණු ඔහු හූනෙකුගේ චික් චික් හඬින් ගැස්සිණි..

"මේක හරියන වැඩක් නෙවේ.. දැන් ගොඩක් රෑ වෙලා..නිදාගෙන හෙට නිස්කලංකව අඳිනව.."

විජේරත්න ලිය ලිය උන් සියලු දේ ඔහුගේ මේසයේ ලාච්චුවට එබිය.

සාමාන්‍යයෙන් ඔහු නිදාගන්නේ ගෙපිලේ පැඳුරක් එලා ගනිමිනි.. ඒ,රස්නය නිසාත් ඇඟට සුවපහසු නිසාත්ය..
සුපුරුදු පරිදි එලියේ පැඳුර එලා ගත් ඔහු එහි ඇලවෙන්නට වූයේ අසල තිබූ වේවැල් පුටුව දෙසද බලමිනි..විජේරත්නට එය දහවලට සැප මෙට්ටෙකි..ඒ තරමට ඔහු ඒ පුටුවට කැමතිය.. සුසුමක් හෙලූ ඔහු හඳ එලියට ගස්වල කොළ අතු හෙලවෙන දෙස බලා උන්නේ ය..ඒ ගස්වල සෙවනැලි බිම වැටී නොයෙක් විකාර මිනිස් රූප මවනු විජේරත්නගේ ඇස ගැටිණි...

මොහොතකින් ඔහුගේ ඇහැ පියවිණි..

කවුදෝ උගුර පාදන හඬකින් ගැස්සුණු ඔහු පැදුරේ හිඳගත්තේ ඒ හඬ ඇසුණේ ගෙයි පිලිකන්න දිශාවෙන් වු බැවිනි..

"මේ මහ රෑ කවුද ඇවිදින්නේ.."

හිතේ බියක් නොමැති වුවද විජේරත්නට එය පුදුමයක් විය.. දෙවරක් නොසිතූ ඔහු නැඟිට ටෝච් එකත් පත්තු කරගෙන ගෙයි පසුපසට ගොස් විපරම් කර බැලීය..කිසිවෙක් නෙත නොගැටුණ නිසා ඔහු සුසුමක් හෙලා යලිත් ගේ පිල උඩට පැන පැදුරේ ඇල විය..

"ශික් අද දවස නම්....නින්ද යාගෙන ආව විතරයි.."

විජේරත්න තමාටම කියාගත්තේ ය..එහෙමම කොට්ටය ගෙන හිසට තබා ගත් ඔහු ඇස් දෙක පියා ගත්තා පමණි..
තමාට අඩි කීපයක් දුරින් නිදන් උන් බල්ලාට කවුරුන් හෝ ගලකින් ගසා ඌ කෑ ගහගෙන අහකට පනිනු අඩ නින්දේ උන් විජේරත්නට ඇසිණි..

එක්වරම නැඟී සිටි ඔහු දෙනෙත් පොඩි කර බල්ලා දෙස බැලීය.ඌ වේගයෙන් ඈතට දිව ගියෙන් විජේරත්න වටපිට බැලීය..

ඔහු පුදුමයට පත් කරමින් කිසිවෙක් පෙනෙන්නට නොසිටියේය..

සියල්ල අමතක කොට ඔහු යලි නිදාගන්නට සැරසුණේ මධ්‍යම රාත්‍රියත් ගෙවී අවසන් නිසාය..දැඩි නිදිමත ගතියක් දැණුනු ඔහු එහෙමම ඇස් පියා ගත්තේ කවදාවත් නොමැතිව අද මේ සිදුවන විකාර දෑ පිලිබඳ යලිත් මෙනෙහි කරමිනි..

විජේරත්නට විනාඩි පහක් නින්ද යන්නට ඇත.. එක්වරම ඔහු අසල තිබූ වේවැල් පුටුව කිරි කිරි හඬින් පැද්දෙන්නට වූහ..තද නින්දේ පසුවූ විජේරත්න සිතුවේ එය හීනයක් ලෙසිනි..

දෑස් හැර නිකමට ඒ දෙස බැලූ ඔහුට වේවැල් පුටුව ඇත්තටම පැද්දෙනු පෙණුනේ බොඳවූ දෑසිනි..එහි කවුරුත් පෙනෙන්නට නොසිටියද , කවුරුන් හෝ කෙනෙක් හිඳගෙන සිටි බවට පුටුව සාක්ෂි දැරීය..

"මොන මළ මඟුලක්ද මේ..චික්..අද රෑම ඇහැරල ඉන්ඩ වෙයි වගේ.."

විජේරත්න කෝපයෙන්ම නැඟිට වේවැල් පුටුව ගෙන ගෙතුලට ගොස් එය සාලයෙන් තබා නැවත දොර වැසුවාය..

එහෙමම නින්දට වැටුණු ඔහුට සුවසේ නිදාගත හැකිවූයේ විනාඩි දහයකි..එක්වරම හැමූ සීතල සුළඟකින් ඔහුගේ මුලු ගතම කිළිපොළා ගියේය..
"අම්මෝ...මෙච්චර රස්නෙ දවසක සීතලක් .."

හිතේ අසතුටින්ම නැඟිට ගත් ඔහු කොට්ට පැදුරු හකුළා ගෙන ගෙතුලට යන්න සූදානම් වූවා පමණි..

"විජේ මහත්තයා "

ඒ හඬින් තිගැස්සී ගිය ඔහු පසුපස බැලුවේ කුතුහලයෙනි..

සුදෝ සුදු සරමකින් හා බැනියමකින් සැරසී උන් ඩේඩොන් අප්පු හඳුනා ගැනීමට ඔහුට ඒ හැටි වෙලාවක් ගියේ නැත..වෙනදාටත් ඔහු අඳින්නේ මේ ඇඳුමම නිසා එය ප්‍රශ්නයක් නොවුණත් මෙතරම් රෑ වෙලා ඔහු පැමිණියේ කුමකටදැයි විජේරත්න ට ඇති වූයේ කුකුසකි..

"ඩේඩොන් අප්පු මෙච්චර රෑ වෙලා..මොකෝ මේ.."

වෙනදාටත් තම ගෙදරට පය තබා වේවැල් පුටුවේ හිඳගෙන සතුටු සාමිචියේ යෙදීම ඩේඩොන්ගේ සිරිතය..එහෙත් අද ඔහුගේ පැමිණිම අමුතු බව විජේරත්නට වැටහිණි..

"නිකන් ..මට විජේ මහත්තයා එක්ක ටිකක් කතා කරන්න හිතුණා.."

ඔහුගේ කටහඬ ඇසිනි..

"මෙච්චර රෑ වෙලා..???"

"ඔව්"

විජේරත්න කිසිවක් නොපවසා ගෙතුළට ගොස් වේවැල් පුටුව රැගෙන යලි පිල මතට පැමිණියේ ය..

එකවරම දුටු දසුනින් විජේරත්නගේ හිත ගැස්සුණද ඔහු සිත දැඩි කරගත්තේය..

ඩේඩොන් අප්පු කලින් පුටුව තිබූ තැන යස අපූරුවට හිඳගෙන උන්නේ ඇත්තටම වේවැල් පුටුව මත හිඳගෙන සිටින ආකාරයටමය..දෙපා දික් කොට දෑත් දෙපස තබා ඔහු මැජික් කාරයකු ලෙස පුටුවක හිඳන් ඉන්නා විලාසයක් පෙන්වීම දුටු විජේරත්නගේ හුස්ම ඉහළ ගියේය..

එපමණක් නොව,ටිකෙන් ටික ඩේඩොන්ගේ මුහුණද වෙනස් වී සුදුමැලි වීමට එතරම් වෙලාවක් ගියේ නැත..දැඩි මැහිතෙල් දුහදකින් අවටම පිරී යද්දී විජේරත්න කාරණය අවබෝධ කොට ගත්තේය..

හිත ශක්තිමත් කර ගත් ඔහු අමනුස්සයන් උදෙසා වූ මන්ත්‍රයක් ජප කළේ උස් හඬිනි.. එක්වරම තම දෑස් මානයෙන් නොපෙනී ගිය රුව යලි ඔහු දුටුවේ නැත..

දිගු සුසුමක් හෙලූ විජේරත්න වැලි ටිකක් අතට ගෙන මතුරා එය ගේ අවට ඉස ආරක්ෂාවක්ද දැමීය..

එලිවීමට තිබුණේ හෝරා කීපයක් පමණි.. ඔහු පැදුරත් ගෙන ගෙතුලට පැමිණ දොර වසා දැමුවේ ය..

පසුදා උදෑසනම ගමෙන් ඇසුණු ආරංචියකි..

"ඊයේ රෑ දොලහට විතර ඩේඩොන් අප්පු වස බීලා මැරිලනෙ...පවුල් ප්‍රශ්නයක් කියන්නෙ.. රෑම පොලිසියෙන් ඇවිත්..අපිට නම් කෑ ගහන සද්දෙත් ඇහුණා..මෙහෙ දුර හන්දා ඇහෙන්නැති වෙන්න ඇති"

ගෑණියක් තම ගෙමිදුලේ සිට බිරිඳට පවසනු විජේරත්නට ඇසිණි..

ඒත් ඒ සියලු දෙනාට පෙර මැදියම් රැයේම ඩේඩොන් අප්පු තමා හමුවීමට පැමිණි බව දන්නේ විජේරත්නම පමණි..
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment