සමින්දිට සපුමල්ව මුනගැසුනේ ඔය කාලයේදීය. සපුමල් පෞද්ගලික ආයතනයක සේල්ස්මන් කෙනෙක් ලෙස රැකියාව කළේය. දෙදෙනා මුනගැසුනේ සපුමල් සමින්දිගේ කාර්යාලයට ආ ගිය විටය.
“මට සපුමල්ගේ මොබයිල් නම්බර් එක දෙන්නකෝ... මම ක්ලේම් එක ඇපෘ වෙච්ච ගමන් සපුමල්ට කෝල් එකක් දෙන්නම්...“
“අනේ මිස් කොහොම හරි වාහනේ හදන ගාණ මට ක්ලේම් එක දාල දෙන්න නැත්නම් ඉතුරු ගාණ මගේ පඩියෙන් කැපෙන්නේ...“
“ වාහන හප්පගත්ත නම් එහෙම තමා...“
යාළුකම පටන් ගත්තේ එහෙමය
“ මිස්ට පින් ක්ලේම් එක හදල දුන්නට...“
“ දැන් මට පින් තියන්න තැනක් නැතිවෙලා ඉන්නේ...“
“ මං මිස්ට දෙන්න අපි සේල්ස් කරන ෂැම්පූ එකක් අරන් තියාගෙන ඉන්නෙ... ඔෆිස් එකට ගේන්න හොද නැති නිසා ආවේ නැත්තේ...“
සපුමල් කිවේය.
“අනේ මට මොකටද ඒවා... මං විහිළුවට කිව්වෙ සපුමල්...“
“ බස් එක ගන්නේ ටවුන්හෝල් එකෙන් නේද... හවසට මං ගෙනත් දෙන්නද...“
“ ඒවා ගාල අපේ කොණ්ඩෙ යයිද දන්නෑ...“
කෙල්ල සිනාසී කිවාය
“මිස්ගේ කොණ්ඩෙට නම් ෂැම්පු ගාන්න ඕන නෑ... ලස්සනට තියෙනවා...“
“ ඒ පාර මුරුංගා අත්තෙත් මාව තියනවා...“
එදා හවස සපුමල් ආවේය. ඉන් පසුවද දෙන්නා නිතර නිතර හමු විය. අවසානයේ ලස්සනය. සමින්දිත් සපුමලුත් ආදරවන්තයන් විය.
“ මං හිතුවා මට ෂැම්පු උස්සන් එනකොට මොකක් හරි තමා කියලා...“
සමින්දි ඒ දවස්වල සිනාබරව කීවාය. ඔහු බලා උන්නේ ඒ ලස්සන අහිංසක මුහුණ දෙසය.
“ කියල කෙනත් අපි එනකං උන්නේ...“
“ මං උ...න්..නා..“
“ නැතුව... බස් එනවා යන්නෑ අපි බලන් ඉන්නේ...,
“ මොඩයෙක්ම තමා...“
ඒ දවස් ඇත්තටම ලස්සනය. සපුමල් හැමදාම පහ වෙද්දී බයිසිකලයත් තියාගෙන ටවුන්හෝල් එකේ බලා හිදියි. සමින්දි එන්නේ ඒ වත බදාගන්නට බලාගෙනය.
“ අද කොහෙද යන්නේ සපූ...“
“ ම් ගොල්ෆේස් ගහින් රෑ වෙනකල් ඉමුද... පරාට කාලා...“
“ හා මට ඉස්සො වඩෙත් අරන් දෙන්න...“
කතාව ගලා ගියේ එහෙමය.
“ මෙහෙම ඉන්න එකේ තේරුමක් නෑ...“
“ කොහොම ඉන්න එකද...“
“ ඔයා එක බෝඩිමක මං තව බෝඩිමක...“
“ ඒකනේ...“
“ අපි ඉක්මනට බදිමු... මං පොඩි ගේ කෑල්ලක් බලන්නම්... අස්ස ගණන් ඉල්ලන්නේ සමී ඇඩ්වාන්ස් වලට...“
“ ඒකනේ නේද...“
“ පොඩි වෑන් කට්ටක් තියෙනවා... ඒක ගත්තනම් මං මගේම සේල්ස් වැඩක් කරනවා... එහෙම කළාම හොද ලාබ සමි...“
“ ඉතින් අපි කරමුකෝ...“
“ එකහමාරක් විතර තියෙනවා ඉතුරු කරගත්ත... ඒක මදි...“
“ කීයක් මදිද...“
තව දෙකක්වත් ඕන... ඉතුරු ගාන නම් ලීසිං දාගන්න පුළුවන්...“
සමින්දි සපුමල් දෙස බලාගෙනම උන්නාය.
“ මං දෙන්නම් මං ගාව ඉතුරු කරගත්ත සල්ලි ටිකක් තියෙනවා... හැබැයි රත්තරන් ඒ මගේ සන්තිකේම තමා...“
“ එපා සමී... ඔයා රත්තරන් බඩුවක් වත් හදා ගන්නේ නැතුව ඉතුරු කරපු සල්ලි... මං දන්නවනේ ඒවා ඉතුරු කරපු හැටි...“
සපුමල් ආදරයෙන් කීවේය.
“ ඒවා ඉතුරු කලේ රත්තරන් බඩු ගන්න නෙමේ... කවදහරි අපිටමකියල ජීවිතයක් පටන් ගන්නනේ...“
“ ඉඩම් කෑල්ලක් ගන්න ඕන පොඩියට හරි කාමරයක් ගහගන්න ඕන... කොච්චර වැඩ තියෙනවද...“
“ චූටි පැටියෙක් හදන්නත් එපැයි...“
සමින්දි ඔහුගේ උරතලයට බරවී එය සිපගෙන කීවාය.
“ දෙසැම්බර් ඉවර වෙද්දිම බදිමු... ඔයා කරන දේකට මට සපෝට් එක දෙන්නත් පුළුවන්... අපි ඉරිදට අපි සේල්ස් යන්... මාත් එන්නම්...“
“ එහෙම කරමු...“
ඉරිදා රෑ සමින්දි සපුමල්ට ගත්තාය.
“ මොනාද කරන්නේ සපූ...“
“ මං බබා ගණන් වගයක් හැදුවා...“
“ හෙට අර සල්ලි ටික ගන්න පුළුවන් දෙන්නම යමු...“
“ කමක් නැද්ද...“
“ ඔය ඉතින් කෑවද...“
“ නෑ...“
“ මොනාද කන්න තියෙන්නෙ...“
ඇය ආදරයෙන් ඇසුවාය
“ දැන් දෙසැම්බර් වලින් පස්සෙ නෝන මගේ ලගනේ එතකොට කනවා...“
“ මං ඇත්තටම හදල දෙන්නම්... එහෙනම් උදේ නමයට පීපලස් බෑන්ක් එක ලගට එනවද සුදූ...“
“ හා එත් මට දුකයි...“
“ සපු...“
“ හරි හරි මං එනවා... නෝනා සැරයි...“
“ මං සැර තමා...“
හීන් පොදයක් සහිත කලබල සදුදාවක් උදා විය. සපුමල්ට දුකය. කෙල්ල ඔය සල්ලි ටික තමාට අරන් දෙන්නේ කොතරම් ආශාවකින්දැයි ඔහු දනී. ඇය ඔය ටික ඉතුරු කලේ බඩට නොකාය. වතට නොඇදය. සමහර දවස්වල කෙල්ලගේ බත් මුලේ තිබ්බේ සෝයා මීට් බැදුමකුත් පොල් සම්බෝල ටිකකුත් පමණී. එහෙම ඉතුරු කළ මුදල් ටික තමාට අරන් දෙන්නේ පුදුමාකාර පිරිසිදු සිතිනි.
ඒත් දැන් කරන්නට දෙයක් නැත. ජීවිතය ඉක්මනට පටන් ගත යුතුය. සපුමල් උදේ නමයට බැංකුව ළගට ගියේය. ඔයු ටික වේලාවක් බැංකුව ළගට වී උන්නේය. ලා දම් පාට සාරියක් ඇද සමින්දි ආවේ නොහිතූ ලෙසිනි.
“ කොහෙන්ද අවේ සමී...“
“ මේ පැත්තෙන්...“
“ මං බලාගෙනමනේ උන්නේ...“
“ මං ආවා යන්...“
සමින්දි සපුමල්ගේ අතට අත තිබ්බාය.
“ අතේ සීතල...“
“ දැන් නෑවේ සපූ යන්...“
බැංකුවට ඇතුල් වෙද්දීත් සපුමල් සමින්දි දෙස බැලුවේය. ඒ මුහුණ අද අමුතුය.
“ සනීප නැද්ද බබා...“
“ න්.. නෑ... මේකෙ පොලිය කීයක් තියෙනවද බලමු...“
පොලියත් සමග බැංකු පොතේ රුපියල් දෙලක්ෂ විසිතුන්දාහක් තිබුනි.
“ මං බාගයක් ගන්නම්...“
“ පිස්සු නටන්නෙ නැතුව ඉන්න... තියෙන ගාණම ගන්න... මේ ස්ලිප් එක ලියන්න සපූ...“
බැංකු පොතේ මුළු ගාණටම ස්ලිප් එක ලියද්දී නැවත වතාවක් සපුමල් හැරී ඇය දෙස බැලුවේය.
“ ලියන්න ලමයෝ...“
“ අපරාදේ සමී...“
“ දැන් වැඩක් නෑ රත්තරන්...“
“ ඇයි...“
“ වැඩක් නෑ ගන්නකෝ...“
ඒ මොහොතේ ඒ දෑස්වල තෙතමනයක් විය. හරියටම දෙලක්ෂ විසිතුන්දහසක් බැංකුවෙන් ගත් සමින්දි බැංකුව සල්ලි දමා දුන් කවරය පිටින්ම එය ඔහු අතේ තිබ්බාය.
“ මං යන්නම් එහෙනම් සපූ පරක්කු වෙනවා රත්තරන්...“
ඇය කීවේ එපමණය
“ ඉන්න සමී...“
නැත ඇය නැවතුනේ නැත. බැංකුවේ දොරකඩට දුවගෙන යද්දී සපුමල් දුටුවේ තල එළියක් එකවට එතනින් දෑසට වැටුණාක් මෙනි.
“ සමී...“
සපුමල් කෑ ගැසුවේහ. ඇය පෙනෙන්නට උන්නෙ නැත. ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් අවේ ඒ මොහොතේය. සපුමල් ඇමතුම ගත්තේද පාර දෙස බලමිනි. මේ ඉක්මනට ඇය කොහේ ගියාදැයි ඔහු සිතුවේය.
“ හෙලෝ...“
“ හෙලෝ සපුමල් අයියේ... මං රුවන්ති කතා කරන්නෙ...“
“ කියන්න නංගි ඇයි අඩන්නේ...“
රුවන්ති කතා කලේ අඩමිනි. ඇය සමින්දිගේ හොදම යෙහෙලියයි.
“ ඔ.. ඔයාගේ ර..ත්..ත..ර..න් සමී ඔයාව දාල ගියා අයියේ...“
රුවන්ති කියූ දේ අදහ ගන්නට ඔහුට නොහැකි විය.
“ සමී... නංගිට පිස්සුද... දැන් මේ මාත් එකක් බැංකුවට ආවනේ...“
“ නෑ... අද උදේ අපි දෙන්නා කුරුණෑගල ඉදලා එද්දී අඹේපුස්සේදි බස් එක කන්ටේනර් එකක
හැප්පුණා... මට තුවාලයි... සමී... අපිව දාල ගිහින්...“
සපුමල්ට එතනම ඉන්දවිනි. ඔහුට කිසිවක් සිතාගන්නට නොහැක විය. අඹේපුස්සේදී ඇය හදිසි අනතුරක ලක්ව මිය ගියානම් බැංකුවට තමා සමග අවේ කවුද... සපුමල්ට බැලුනේ අත තිබූ සල්ලි දෙසය. කදුළක් වේගයෙන් ගලා විත් මුදල් පැකැට්ටුවට වැටුනි.
සපුමල්ට බැංකුවෙන් මුදල් අරගෙන දෙන්නට අවේ සමින්ද නොවේ. මිය ගිය සමින්දගේ ආත්මයයි. මිය ගිය මොහොතේදීත් ඇය ආදරය වෙනුවෙන් කළ යුතු හොදම යුතුකම කළාය. ඇය ගියේ ඇය අමාරුවෙන් ඉතිරි කළ මුදල් ඇගේ දයාබර පෙම්වතාට රැගෙන දීය. ආදරය කොතරම් පුදුමාකර දෙයක්ද
0 comments:
Post a Comment