මෙම හිස් කබල විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වී ඇත්තේ, වානර ලක්ෂණ සහිත මුතුන් මිත්තන්ගෙන් පළමු මානවයා පරිණාමය වීම පිළිබදව දැනට පවතින මතවලට අභියෝගයක් එල්ල වන බවය.
පළමු ආදි මානවයා ලුසී නමැති වානර විශේෂයකින් පරිණාමය වූ බවට දැනට පවතින මතය ඒ අනුව නැවත සලකා බැලීමට සිදුවනු ඇතැයි අදහස් පළවේ.
මෙම නවතම අනාවරණය පිළිබදව Nature විද්‍යා සඟරාවේ පළ කර තිබේ.
අදාළ හිස් කබල මහාචාර්ය යොහාන්ස් හයිලේ සෙලාසී විසින් ඉතියෝපියාවේ මිරෝ දෝරා නමැති ස්ථානයකින් සොයාගෙන තිබිණි.
ඇමෙරිකාවේ ඔහායෝහි පිහිටි ක්ලෙව්ලන්ඩ් ස්වාභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ විද්‍යාඥයෙකු වන ඔහු පැවසුවේ, අදාළ පොසිලයෙහි වැදගත්කම තමන් සැණෙකින් වටහා ගත් බවය.
"දෙවියනේ, මම හොයපු දේ ම මට හම්බ වුණා නේද කියල මට හිතුණා. ඒ ගැන මම ගොඩක් සතුටු වුණා. මට තේරුණා මම සිහින දැකපු දේ මට ලැබුණා කියලා," මහාචාර්ය යොහාන්ස් හයිලේ සෙලාසී බීබීසී පුවත් සේවයට පැවසීය.
මහාචාර්ය හයිලේ සෙලාසී පවසන්නේ, වානර ලක්ෂණ සහිත මානව මුතුන් මිත්තන් වූ ඔස්ට්‍රලෝපිතීකස් ඇනමෙන්සිස් මීට වසර මිලියන 4.2 කට පෙර සිටි බවට මෙම හිස් කබල හොඳ ම උදාහරණයක් බවය.
ඔස්ට්‍රලෝපිතීකස් ඇනමෙන්සිස් (Australopithecus anamensis) යනු පසුකාලීනව වඩා දියුණු විශේෂයක් වන ඔස්ට්‍රොලොපිතීකස් ඇෆරෙන්සිස් විශේෂයේ (Australopithecus afarensis) සෘජු මුතුන් මිත්තෙකු ලෙස සැලකූ අතර, එය පළමු හෝ මුල් කාලීන මානව වර්ගය ලෙස සැලකෙන හෝමෝ (Homo) ලෙස හැඳින්වෙන කුලයේ මුල් ම මුතුන් මිත්තෙකු ලෙස සැලකිණි.
1974 වසරේදී සොයා ගනු ලැබූ ඇෆරෙන්සිස් විශේෂයට අයත් ඇට සැකිල්ල විශාල අවධානයකට ලක්විය. එම ඇට සැකිල්ල ලුසී ලෙස නම් කරන ලද්දේ, එම සැකිල්ල සොයා ගත් ස්ථානයේ සිට බීට්ල්ස් සංගීත කණ්ඩායම ගායනා කළ 'Lucy in the Sky With Diamonds' නමැති ගීතය හේතුවෙනි.
"ඇවිදින ලද පළමු වානරයා" ලෙස සැලකුණු ලුසී පිළිබදව දැඩි අවධානයක් එවක යොමු විය. එහෙත්, Nature සඟරාවට අදහස් පළ කරමින් ලන්ඩන්හි ස්වාභාවික ඉතිහාසය පිළිබද කෞතුකාගාරයේ මහාචාර්ය ෆ්‍රෙඩ් ස්පූර් පැවසුවේ, ඉතියෝපියාවෙන් හමුවී ඇති ඇනමෙන්සිස් විශේෂයට අයත් හිස් කබල "මානව පරිණාමයේ තවත් සුවිශේෂී සංකේතයක්" වනු ඇති බවය.
මෙම තත්ත්වයට හේතුව වන්නේ, ඇනමෙන්සිස් සහ ඇෆරෙන්සිස් එක ම කාලයක වාසය කර තිබීම විය හැකිය. මීට පෙර ඉදිරිපත් කළ මත පරිදි පිළිවෙළින් රේඛීය ආකාරයකින් පරිණාමය වීමක් සිදු වී නොමැත.
මෙම නව පොසිලය සොයාගැනීම මගින් මීට පෙර සොයාගෙන තිබූ හිස් කබල සම්බන්ධයෙන් නව අර්ථ නිරූපණයක් ලබා දෙනු ඇත. එම පොසිලය ඇනමෙන්සිස් විශේෂයට ඇතුළත් කර තිබිණි. එහෙත්, එය ඇෆරෙන්සිස් විශේෂයට අයත් වූවක් බවත්, එම විශේෂයේ ආරම්භය තවත් ඈතට දිවයන බවත් දැන් විද්‍යාඥයින්ට පෙනී යනු ඇත.
මේ අනුව පෙනී යන්නේ, මෙම විශේෂ දෙක ම වසර 100,000ක පමණ කාලයක් සමකාලීනව වාසය කළ බවය.
බොහෝ දුරට සිදුවී ඇතැයි අනුමාන කළ හැක්කේ, ඇනමෙන්සිස් විශේෂයට අයත් කුඩා කණ්ඩායමක් ප්‍රධාන ජනගහනයෙන් හුදෙකලා වී කාලයාගේ ඇවෑමෙන් ඔවුන් වාසය කළ ප්‍රදේශයේ තත්ත්වයන්ට අනුවර්තනය වීම නිසා ඇෆරෙන්සිස් බවට පරිණාමය වූ බවය. සෙසු ඇනමෙන්සිස් මානවයින් විනාශ වීමට පෙර ඔවුන් එකිනෙකා සමග ගැටෙමින් වාසය කරන්නට ඇත.
මෙම අනාවරණය වැදගත් වන්නේ, අදාළ කාල වකවානුව තුළ වානර ලක්ෂණ සහිත මානව විශේෂ ගණනාවක් පැවති බවට එමගින් කරුණු ඉදිරිපත් වන හෙයිනි. ඒ අනුව, පළමු මානවයා සම්බන්ධයෙන් ගොඩනැගෙන පරිණාමීය මං සලකුණු තවත් වැඩි වී තිබේ.
නූතන මානවයා බිහිවීම සම්බන්ධයෙන් පැහැදිලි රේඛීය තත්ත්වයක් නොමැති බව පෙන්නුම් කරන නවතම අනාවරණය ඇනමෙන්සිස් විශේෂයයි.
ඒ අනුව, නූතන මානව පරිණාමය පිළිබද ඇත්ත තවදුරටත් සංකීර්ණ මෙන් ම ආකර්ෂණීය වී තිබේ. එමගින් කියැවෙන්නේ, පරිණාමය පිළිබද කතාන්දය තුළ විවිධාකාරයේ ආදි මානවයින් විවිධ දේශගුණික, වාසස්ථාන සහ ආහාර සාධක මත වාසය කළ බවය.
දෙපයින් ඇවිදීමේ ඉතිහාසය හෙළිකළ පෞරාණික වානර ෆොසිල....
මෑතක දී සොයාගනු ලැබූ පෞරාණික වානර ෆොසිල මගින් දෙපයින් ඇවිදීම ඇරඹුණේ කෙසේ ද කෙදිනක ද යන්න පිළිබඳ අනුමාන කළ හැකි යැයි පැවසේ.
සිරුර කෙළින් තබා ගෙන ඇවිදීමට හැකි වීම සුවිශේෂ මානව ලක්ෂණයක් ලෙස සැලකේ.
ගස් වල එල්ලී සිටීමට පහසු වන අත් වානරයන් සතු වූ අතර මානවයන් හා සමාන පාද ද සතු විය.
එම නිසා, වසර මිලියන 12කට පමණ පෙර වානරයන් ගස් අතු උඩ සහ පොළොව මත ඇවිදීම කරන්නට ඇති බවට මත පළ වේ. එමගින් ද්වීපාද ඇවිදීමේ කාල නියමය වසර ගණනාවකින් පසු පසට යන බව ගවේෂකයන්ගේ අදහස වේ.
පැරණි ෆොසිල සාධක අනූව 'දෙපයින් ඇවිදීම' මීට වසර මිලියන හයකට පමණ පෙර ඇරඹුණු බවට සැලකිණි.
2015ත් 2018ත් අතර කාලයේදී බවේරියා නම් පෙදෙසේ මැටි වළක තිබී පිරිමියෙකුගේ, කාන්තාවන් දෙදෙනෙකුගේ සහ යෞවනයෙකුගේ ෆොසිල හතරක් සොයා ගන්නා ලදි.
"දකුණු ජර්මනියෙන් හමුවූ මෙම ෆොසිල පෞරාණික මානව විද්‍යාවේ විශේෂ සලකුණක්. මොකද එමගින් වානර සහ මානව පරිණාමය ගැන අපගේ පෙර වටහා ගැනීම් පිළිබඳව මූලික ප්‍රශ්න නැගෙන නිසා." යැයි මේ පිළිබඳ ව ජර්මනියේ ටියුබින්ජන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැඩ්ලෙන් බෝමේ පැවසීය.
ඇය පැවසුවේ මානවයන් සහ වානරයන් අතර 'අස්ථානගත සම්බන්ධතාව' විදහා දැක්වීමට මේ වානරයා හොඳම ආකෘතිය යනුවෙනි.
දෙපයින් ඇවිදීම ආරම්භ වූයේ කෙසේ ද...?
අප ආදී මානවයා දෙපයින් ඇවිදීම ඇරඹුවේ කෙසේ ද කවදා ද යන්න පිළිබඳව චාල්ස් ඩාවින් යුගයේ සිට දැඩි විවාදයක් පවතී.
එය වානරයාගෙන් ගස් මත ජීවත් වූ ඔරන්-ඔටන් ගෙන් හෝ ගෝරිල්ලා මෙන් වැඩි කාලයක් භූමිය මත දිවි ගෙවූ ඇඟිලි පුරුක් මගින් ඇවිද ගිය මුතුන්මිත්තන්ගෙන් මානවයාට දායාද වූ ප්‍රධාන ලක්ෂණයක් ද....?
නේචර් (Nature) සඟරාවේ පළ වූ නවතම ගවේෂණය පෙන්වා දෙන්නේ අප සිරුරේ සෘජු ස්වභාවය ඇති වන්නට ඇත්තේ මානවයාට සහ වානරයාට පොදු වූ එක් පොදු මුතුන්මිත්තෙක් ගෙන් බවය. ඔවුන් ජීවත් වන්නට ඇතැයි සැලකෙන්නේ මීට පෙර සිතූ ආකාරයට අප්‍රිකාවේ නොව, යුරෝපයේ ය.
මීට වසර මිලියන 11.62කට පෙර ජීවත් වුවා යැයි සැලකෙන 'Danuvius guggenmosi' ගේ ෆොසිල මගින් හඳුනා ගෙන ඇත්තේ එම සත්ත්වයා දෙපා භාවිතයෙන් සෘජුව ඇවිදීමට සහ වානරයෙකු ලෙස ඉහළ නැගීමට අත් පා සියල්ල භාවිත කළ බවය.
ගවේෂකයන් පවසන්නේ නව සොයාගැනීම් අනුව ගස් මත දෙපයින් ඇවිදීම වසර මිලියන 12 ට වැඩි කාලයකට පෙර සිදුව ඇති බවක් අධ්‍යයනයෙන් පෙනී යන බවකි.
සෘජුව ඇවිදීමට හැකිවීම මානව පරිණාමයේ සුවිශේෂ සලකුණකි. එමගින් යමක් ඇල්ලීමට හැකිවීම, සොයා බැලීමට හැකිවීම, සහ විවිධ උපාංග ගෙනයාම සහ භාවිත කිරීමට අවස්ථාව සැලසිනි.....
හෝමෝ ල්‍යුසොනෙන්සිස් නම් වඳ වී ගිය මානව විශේෂයක කොටස් හමුවෙයි....
මානව පවුලේ ඉතිහාසය අලුතෙන් ලිවීමට සිදුව තිබේ. ඒ, වඳ වී ගිය මානව වර්ගයක සාක්ෂි පිලිපීනයෙන් හමුවීම හේතුවෙනි.
එම මානව වර්ගය හෝමෝ ල්‍යුසොනෙන්සිස් ලෙස නම් කර තිබේ. ඒ සම්බන්ධ සාක්ෂි හමු වූයේ, පිලිපීනයේ විශාලතම දූපත ලෙස සැලකෙන ල්‍යුසෝන් (Luzon) දූපතෙනි.
එම මානව වර්ගයේ ශාරීරීක ලක්ෂණ, ආදි මානවයින්ගේ සහ මෑත කාලීන මානවයින්ගේ ලක්ෂණවල එකතුවක් ලෙස හඳුන්වයි.
මෙම නව සොයා ගැනීම් අනුව පැහැදිලි වන්නේ, ප්‍රාථමික මානව ඥාතීන් අප්‍රිකාව අතහැර අගින්දිග ආසියාව දෙසට සංක්‍රමණය වී ඇති බවය. මීට පෙර පැවති මත අනුව එය එසේ විය නොහැකි බවට තර්ක කෙරිණි.
මෙම නව සොයා ගැනීම්වලින් පෙනී යන්නේ, අග්නිදිග ආසියානු කලාපයේ මානව පරිණාමය වටහා ගැනීම අතිශය සංකීර්ණ වූවක් බවය.
හෝමෝ ල්‍යුසොනෙන්සිස්....
ඔවුන්ගේ ඇඟිලි සහ පාද අස්ථි වක්‍ර ස්වභාවයකින් යුක්ත වන අතර, ඔවුන්ගේ ජීවන රටාව තුළ ගස් හෝ කඳු නැගීම වැදගත් අංගයක් වන්නට ඇත
අප්‍රිකානු කලාපයේ සිට සංක්‍රමණය වූවන් අග්නිදිග ආසියාවට පැමිණෙන විට එම කලාපයේ තවත් මානව විශේෂ තුනක් හෝ ඊට වැඩි ගණනක් වාසය කර තිබීම ඊට හේතුවයි.
එසේ වාසය කළ එක් මානව විශේෂයක් වන්නේ, "හොබිට්" හෙවත් හෝමෝ ෆ්ලොරෙසියන්සිස් (Homo floresiensis) යනුවෙන් හඳුන්වන අතිශය කුඩා මානව විශේෂයයි. ඔවුන් මීට වසර 50000කට පෙර ඉන්දුනීසියාවේ ෆ්ලෝරෙස් (Flores) දූපතේ වාසය කර ඇත.
"හෝමෝ ෆ්ලොරෙසියන්සිස් මානව විශේෂය සම්බන්ධයෙන් කළ සොයා ගැනීම් පිළිබඳව 2004 වසරේදී තොරතුරු වාර්තා කිරීමෙන් පස්සේ, මම කිව්වා ෆ්ලොරෙස් දූපත ආශ්‍රිතව ලැබුණු සාක්ෂි කලාපයේ වෙනත් දූපත්වලිනුත් ලැබෙනු ඇති බව," ලන්ඩන්හි ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ මහාචාර්ය ක්‍රිස් ස්ට්‍රින්ගර් පවසා තිබිණි.
"ඒ අනාවැකිය ෆ්ලෝරෙස් දූපතට කිලෝමීටර් 3000ක් එහායින් පිහිටි ල්‍යුසෝන් දූපතෙන් තහවුරු වෙලා තියෙනවා.
පිලිපීනයේ ල්‍යුසෝන් දූපතේ පිහිටි කැලවෝ කේව් නමැති හුණුගල් ගුහාවේ තිබී සොයා ගැනුණු සාක්ෂි Nature සඟරාවෙහි පළ කර තිබේ. එම අස්ථි කැබලි වසර 67000 - 50000කට පෙර කාලයට අයත් බව නිර්ණය කර තිබේ.
එහිදී අස්ථි කොටස් 13ක් සොයාගෙන තිබේ. ඒ අතර, දත්, අතක අස්ථියක්, පාද අස්ථි මෙන් ම කලවා අස්ථියක් ද වේ. එම කොටස් වැඩිහිටියන් තිදෙනෙකුට සහ කුඩා දරුවෙකුට අයත් බවට තහවුරු කරගෙන ඇත.
හෝමෝ ල්‍යුසොනෙන්සිස් නමැති මානව විශේෂය වත්මන් මානවයින්ගේ ලක්ෂණවලට සමාන ශාරීරික ලක්ෂණවලින් යුක්තය. එහෙත්, සෙසු ශාරීරික ලක්ෂණ australopithecine නමැති විශේෂයට සමානය. ඔවුන්ගේ ඇවිදීම වසර මිලියන 4කට පෙර අප්‍රිකාවේ විසූ මුල් කාලීන මානව විශේෂවලට සමාන වානර ලක්ෂණවලින් සමන්විතය.
ඔවුන්ගේ ඇඟිලි සහ පාද අස්ථි වක්‍ර ස්වභාවයකින් යුක්ත වන අතර, ඔවුන්ගේ ජීවන රටාව තුළ ගස් හෝ කඳු නැගීම වැදගත් අංගයක් වන්නට ඇත. මෙම ලක්ෂණ ද australopithecine නමැති මානව විශේෂයට බෙහෙවින් සමානය.
හෝමෝ ල්‍යුසොනෙන්සිස්..
australopithecine මානව විශේෂයට සමාන මෙම නව මානව විශේෂය අග්නිදිග ආසියාවට සංක්‍රමණය වූවා නම්, අප්‍රිකාව හැර ගිය පළමු මානව විශේෂය කවුරුන් ද යන්න පිළිබඳව නව මතයක් ඉදිරිපත් වනු ඇත.
වසර මිලියන 1.9කට පෙර පළමු වරට අප්‍රිකාව හැර ගිය පළමු මානව සාමාජිකයා හෝමෝ ඉරෙක්ටස් (Homo erectus) බව බොහෝ කාලයක සිට පවතින මතයයි.
ල්‍යුසෝන් දූපතෙන් හමුවූ අස්ථි කොටස් අයත් මානව විශේෂයට එම දූපතට ළඟා වීමට තිබූ එක ම මාර්ගය මුහුදයි. මෙම සොයා ගැනීම් අනුව මතු වන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ, ආදි මානව විශේෂ දූපතට ළඟා වූයේ කෙසේ ද යන්නය.
හෝමෝ ල්‍යුසෝනන්සිස් විශේෂයට අමතරව ඩෙනිසෝවන් (Denisovan) නමැති මානව විශේෂයක් ද අග්නිදිග ආසියාව සිය වාස භූමිය බවට පත් කරගෙන සිට ඇත. ඔවුන් ප්‍රාථමික නූතන මානවයා ලෙස සැලකෙන හෝමෝ සේපියන් (Homo sapiens) සමග සම්මිශ්‍රණය වූ බවට සාක්ෂි පවතී.
මෙම සාක්ෂි ලැබී ඇත්තේ, ඩීඑන්ඒ පරීක්ෂා කිරීම්වලින් වන අතර, එම කලාපයෙන් ඩෙනිසෝවන් මානව විශේෂයේ ෆොසිල මෙතෙක් හමුවී නොමැත.
ඉන්දුනීසියාවට අයත් ෆ්ලෝරෙස් දූපත හෝමෝ ෆ්ලොරෙසියන්සිස් මානව විශේෂයට වාස භුමිය වී ඇති අතර ඔවුන් අතිශය කුඩා ශරීර ඇත්තන් වූ හෙයින් හොබිට් ලෙස නම් කර තිබේ. ඔවුහු මීට වසර 100000ක සිට වසර 50000කට පෙර කාලය දක්වා ජීවත් වී ඇති බවට විශ්වාස කෙරෙති. ඔවුන් නූතන මානවයාගේ ආගමනය සමග ඔවුන් වඳ වී යන්නට ඇති බව පෙනී යයි...
.............අන්තර්ජාලය ඇසුරෙනි..........දැනුම සොයන්න මේ පාරෙන් එන්න
0 comments:
Post a Comment