ලංකාවෙන් වාර්තාවන පළමු ළමා පැහැරගැනීමේ සිදුවීම - ජගත් කුලසිරි (The first reported case of child abduction in Sri Lanka)

ලංකාවෙන් වාර්තාවන පළමු ළමා පැහැරගැනීමේ සිදුවීම - ජගත් කුලසිරි (The first reported case of child abduction in Sri Lanka) - Your Choice Way

ජගත් කුලසිරි පැහැරගැනීම මීට දසක කීපයකට පෙර ලංකාව ම කම්පනයට ලක් කළේය. මේ සටහන ඒ සම්බන්ධයෙනි.

තමන්ට මෙතෙක් නො ලද සැප සම්පත් අත්කර ගැනීමට, මිනිසුන් තුළ ඇත්තේ ස්වභාවික, නො සංසිඳෙන ආශාවක්. ඒ වෙනුවෙන් බොහෝ මිනිසුන්, අසීරු නමුත්, අන්‍යන්ට හානිකර නොවන, තම හදවතට එකඟ ක්‍රමයක් තෝරාගන්නවා.  අල්පයක් මිනිසුන් ඒ දුෂ්කර, ‘හෙමින් ගමනට’ කැමති වන්නේ නැහැ.

ඒ නිසාම ඔවුන්, ධනවත් වීමේ කෙටි ක්‍රම සොයා, මිනිසත් බවට නො ගැළපෙන අපරාධ සිදුකරනව.

මේ කතාව අපි ඔබට කියන්නේ පැරණි පුවත්පත් මුලාශ්‍රයෙන්. ඒ නිසා අතරින් පතර එබෙන පුවත් සිරස්තල සහ උපුටන ද, භාෂාවේ වෙනස් වීම් ද ඉවසා දරාගනිමින් අවසානය තෙක් රැඳී සිටින මෙන් අපි ඔබෙන් ඉල්ලා  සිටිනවා.

මේ උපුටනවල ගෞරවය අදාළ මාධ්‍යවේදීන් වෙත ලැබිය යුතු අතර, ඔවුන්ව ඉතා කෘතෙව්දීව අපි සිහිපත් කරනවා.

යමක් කමක් ඇති පවුලක්
හොරණ මූණගම පදිංචි බී.ඩී. සිරිසේන මහත්තයා, යමක් කමක් ඇති, අත මිට සරු අයෙකු ලෙස ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙලා හිටියා. ඔහුට දරුවන් පස් දෙනයි. දරුවන්ගේ අම්මාගේ නම සෙලෝහාමි අබේසිංහ. මේ සිදුවීම වන විට ඇගේ වයස අවුරුදු 35 ක්.

අද අපේ කතානායක ජගත් කුමාර කුලසිරි මේ පවුලේ සිව්වැනි දරුවා. ඔහු  උපදින්නේ 1954 නොවැම්බර් 03 වැනිදා.

සිදුවීම වනවිට ඔහුගේ වයස අවුරුදු තුනයි මාස තුනයි.

10 පෙබරවාරි 1958.....
1958 පෙබරවාරි දහ වැනිදා උදෑසන කාලයේ සිරිසේන මහත්තයගේ ගෙදර හිටියේ හතර දෙනෙක් විතරයි. සිරිසේන මහත්තයගේ බිරිඳ සෙලෝහාමි, මෙහෙකාරියක් වන හීන්මැණිකේ සහ පවුලේ බාලම දරුවන් දෙදෙනා හැරෙන්නට ඉතිරි සියල්ලන්ම නිවසින් පිටවෙලා හිටියේ.

වෙලාව උදේ 9 ට විතර ඇති.

 හීන්මැණිකේ ගෙදර පිටුපස දොර අසල මිදුලේ යම් කටයුත්තක් කරමින් ඉන්න අතරවාරයේ, මෝටර් රථයක් ගෙදර දොරටුව අසල නතර කරනවා. එහි සිටින ආගන්තුකයන් දෙදෙනකු තමන් දිහා විමසිල්ලෙන් බලනවා පෙනුණු හීන් මැණිකේ ගෙට යන්නේ, පිටිපස්සේ දොරත් වහගෙනමයි. මේ වෙලාවේ සෙලෝහාමි ඉන්නේ කාමරයේ. කුඩා දරුවන් දෙදෙනාත් එතන ඉන්නවා. ටික වෙලාවක් යනවා.  සෙලෝහාමි සිටි කාමරයේ ජනේලය අසලට පැමිණි දෙදෙනෙක් සිරිසේන මහත්‍තයා ගෙදර ඉන්නවද කියල අහනව. එතකොටම ඇහෙන්නේ පා පහරකින් පිටුපස දොර විවර වෙන හඬ. කාමරයට කඩා පනින දෙදෙනෙක්, ඒ වෙද්දී සෙලෝහාමි ගේ තුරුලේ හිටපු, තුන් හැවිරිදි ජගත් ව බලෙන් උදුරා ගන ඔසවගන්නේ, දරුවා හඬා වැළපෙනකොටයි.

සෙලෝහාමි ඇඳෙන් නැගිටිනකොට, මේ අය දරුවත් අරන් ගෙයින් පිටවෙලා ඉවරයි.

සෙලෝහාමි අඩියට දෙකට ගෙයින් පිටතත පැන, තම දරුවා පැහැර ගෙන ගිය අය පිටුපස එලවනවා. එවිටම ඒ පිරිස නවතා තිබූ මෝටර් රථයේ ගොඩ වී පළා යනවා. සෙලෝහාමි ඊළඟට දුවන්නේ පොලිසියට.

පණිවිඩයක් ලැබෙයි
තමන්ගේ දරුවෙකු පැහැර ගැනීමට ලක්වීමේ සොවින් සිටින සිරිසේන මහත්තයට තුණ්ඩු කෑල්ලක ලියපු පණිවිඩයක් ලැබෙන්නේ මේ අතරේදී.

දරුවා නිදහස් කරන්න රුපියල් දොළොස් දහසක් අවශ්‍ය බවත්, ගණුදෙනු කතා කරගන්න තැනක් ඉක්මනින් කියන බවත්, මේ වග පොලිසියට දැනුම් දුන්නොත් දරුවා මරා දමන බවටත් මේ තුණ්ඩුවේ සඳහන් වුණා.
හැබැයි මේ තුණ්ඩුව ලැබෙන්න කළින්, මේ අතුරුදන් වීම පොලිසියට දැනුම් දෙන්න සෙලෝහාමි කටයුතු කර තිබුණා.

වර්ෂ 1958 ක් වූ පෙබරවාරි 12 වැනි බඳාදා ලංකාදීප පුවත්පත –
“මුදලක් හිලව්වට මව්තුරුලෙන් ළපටියෙක් පැහැරගෙන යයි”
ගනුදෙනුව කතා කරගන්න එන්නැයි පියාට පණිවුඩයක්.
පොලිසියට කීවොත් ළමයා ලැබෙන්නේ නෑ.

ලංකාවේ අපරාධ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් රුපියල් දොළොස් දහසක හිලව්වට තුන් හැවිරිදි ළපටියෙක් මවගේ තුරුලෙන් උදුරා ගෙන හඬව හඬවා පැහැරගෙන යෑමේ ඛේදවාචකයකන් මුළු හොරණ පළාතම කම්පාවී ගොස් තිබේ.

ඇමරිකා මංකොල්ල කාරයින්ගේ උපක්‍රම යොදමින් පැහැර ගෙන ගිය හොරණ මූණගම බී.ඩී. සිරිසේන මහතාගේ තුන් හැවිරිදි පුතා වන ජගත් කුමාර කුලසිරි ළපටියා සඟවා සිටින තැන සොයා පොලිස් කණ්ඩායම් දැන් ප්‍රදේශය දෙවනත් කරමින් සංචාරය කරති. මේ අතර ළමයා පිළිබඳ ගනුදෙනු බේරා ගැනීම සඳහා කොළඹ එක්තරා තැනකට එන ලෙස දරුවාගේ පියාට රහස් පණිවිඩයක් මේ හොර කණ්ඩායම විසින් එවා තිබේ…”

වෘත්තියෙන් විදුහල්පතිවරයකු වූ කුලපාල ගුණතිලක  මහතා ඒ කාලයේ ‘ලංකාදීප’ හොරණ වාර්තාකරු ලෙසත් කටයුතු කළා. තමන්ගේ ජීවිතයට තර්ජන එල්ල වේ ය යන බය නිසාම, ඔහු මේ පුවත ඔහුගේ නමින් පළ කරන්නේ නැහැ. පසු කාලයේ ඔහු මාධ්‍යවේදියෙකු සමඟ මේ පිළිබඳව අත්දැකීම් බෙදාගෙන තිබුණා.

“මං හවස කෝල් එකක් බුක් කළා ටයිම්ස් එකට. ඒ කාලේ මේ වගේ හොරණ ඉඳන් කොළඹට ඩිරෙක්ට් ඩයලින් නෑ. ළමයෙක් කප්පමක් ගන්න පැහැරගෙන ගිහින් කියලා පොඩි ප්‍රවෘත්තියක් අඟල් 2 ක් විතර උස… පළමුවෙනි මුද්‍රණේ හවස මේක ඇතුළු පිටුවක ගියා. ඒ වෙලාවේ ධනපාල මහත්තයා ඉඳලා නෑ. හවස ධනපාල මහත්තයා මේ ප්‍රවෘත්තිය දැකලා හොඳටම කලබල වෙලා හොරණට මොරිස් වෑන් එකක් එව්වා. එදා රෑ ගහපු අගනුවර මුද්‍රණයේ ශීර්ෂපාඨය ගියේ ‘මුදල් හිලව්වකට මවුතුරුලෙන් ළපටියකු පැහැරගෙන යයි’  කියලා. ඒක මමයි ලිව්වේ…”

සිදුවීම පාර්ලිමේන්තුවට
මෙයට පෙර කප්පමක් ගැනීමට දරුවකු පැහැරගෙන යාමක් ශ්‍රී ලංකාවේ වාර්තා වී තිබුණේ නැහැ.

මේ සිදුවීම පාර්ලිමේන්තුවේත් කතාබහට ලක්වෙනවා.

එවකට අග්‍රාමාත්‍යව සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා, පැහැර ගැනීමට ලක් වූ දරුවා සොයා ගැනීමට උපරිම උත්සාහයක් ගන්නා බව  පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර සිටිනවා.
මේ බව හැන්සාඩ් වර්තාවෙත් සඳහන් වනවා.

තොරතුරු ලැබෙයි
මේ වනවිට සිරිසේන මහතාගේ නිවසට පොලිස් ආරක්ෂාව ලබා දෙන්න තීරණය වෙනවා. ඒ කප්පම්කරුවන් විසින් නැවත පැමිණ ඔවුන්ට යම් අනතුරක් කරයි යන බිය නිසා. එමෙන්ම එය ප්‍රමාණවත් නැතැයි තීරණය කෙරෙන නිසා, ඉතාම ඉක්මනින් මේ පවුලේ සියලු දෙනාම වෙනත් ස්ථානයකට ගෙන යනවා.

එවකට මව් කිරි බොන දරුවෙකු වූ වසරක් වයසැති බාලයා හැරුණු කොට අනෙක් දරුවන් ව වෙන් වෙන් වශයෙන් ඥාති නිවෙස්වල සඟවන්නට කටයුතු කෙරෙනවා.

මේ බව එකළ ‘ජනතා’ පුවත්පත වාර්තා කර තිබුණේ මෙලෙසයි.

“ආයුධ සන්නද්ධ පොලිස් හමුද්‍රවත්, රහස් පොලිසියේ විශේෂ පොලිස් හමුදාවත් සිරිසේන මහතාත්, ඒ මහතාගේ පවුලත් රැකීමේ විධි විධාන වහාම සලසන ලදින් සිරිසේන මහතාත් පවුලේ සියලු දෙනාත් වෙනත් යම්කිසි රහස් ස්ථානයක් කරා ඉතා සුළු වේලාවක් තුළදීම ගෙනයනු ලැබ සිටිති.

මේ රහස් ස්ථානයට පිවිසෙන මාර්ගයට පවා යාමේ අවසරයක් කිසිම කෙනකුට නැත. ආයුධ ගත් පොලිස් භටයන් ඇතුළු උසස් නිලධාරින්ගෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් දැන් මේ ස්ථානය ආරක්ෂා කිරීමේ යෙදී සිටී.“

මේ අතර පැහැර ගැනීම සිදුවූ දිනට පසු දින, එනම් පෙබරවාරි 11,  දරුවා ව පැහැරගෙන යාමට නිවස අසලට ගෙන ආ කුලී මෝටර් රථය හා එහි රියදුරා හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නේ ප්‍රදේශවාසීන් දුන් ඔත්තුවක් මතයි.

 ඇම්.බී. සිරිවර්ධන නම් මේ පුද්ගලයා විසින් දුන් තොරතුරුවල එකිනෙකට පරස්පර බවක් ද වූ බව එකල වාර්තා වුණා.

එමෙන්ම, දරුවා රැගත් පිරිස දෙවනුව මාරු වූ මෝටර් රථය කුරුණෑගල පළාතේ එකක් බවටත් මේ වනවිට පොලිසියට තොරතුරු ලැබෙමින් පැවතුණා.

ජනමාධ්‍ය සීරුවෙන්
ලංකාවේ පළමු වරට සිදුවූ, කප්පමක් සඳහා දරුවෙකු පැහැර ගැනීම එකල සමාජය අතිශය කම්පනයට පත් කළ සිදුවීමක් වුණා.  මේ නිසාම එකල පුවත්පත් මේ සිදුවීම ගැන ඉතාමත් උනන්දුවක් දැක්වූවා.

ඒ කාලයේ ටයිම්ස් ලංකාදීප මෙහෙයවන ලද්දේ ඩී. බී. ධනපාල මහත්තයා. ලේක්හවුසිය පාලනය කළේ එස්මන්ඩ් වික්‍රමසිංහ මහත්තයා. මේ පුවත්පත් ආයතන දෙකම මේ සිදුවීම ගැන සුවිශාල උනන්දුවක් දැක්වූවා. විශේෂයෙන් ම ලංකාවේ ප්‍රථම ළමා කොල්ලය මුලින් ම වාර්තා කළ ලංකාදීපය, මේ වෙනුවෙන් ම සිය මාධ්‍යවේදීන් සහ වාර්තාකරුවන් පැය 24 පුරා සීරුවෙන් තබාගෙන සිටියා.

මේ වනවිට දරුවා පැහැරගත් පුද්ගලයන් පිළිබඳව පොලිසියට තොරතුරු ලැබී තිබුණා.  ඔහු සිරිසේන මහත්තයත් අඳුනන ජයසිංහ නැමති පුද්ගලයෙක්.

පොලිසිය ඔහුව සොයන අතරේ 1958 පෙබරවාරි 14 වනිදාට දිනය පහන් වෙමින් තිබුණා.

දරුවා සොයාගැනේ
1958 පෙබරවාරි 14 වැනි සිකුරාදාට දිනය පහන් වෙමින් තිබුණා.  කේ. ඊ. පී. පෙරේරා රස්සාව කළේ  ග්‍රෑන්ඩ්පාස්වල තිබුණු බවර් පෝර කොම්පැනියේ. ඔහු අලුයම  2.30 ට තම වැඩ මුරය අවසන් කරලා  ග්‍රෑන්ඩ්පාස් වීදිය දිගේ පයින් ඇවිදන් යමින් සිටියා. ග්‍රෑන්ඩ්පාස්වල තිබුණු බබාපුල්ලේ ඩිස්පැන්සරියේ ගේට්ටුවෙන් ඇතුළේ පොඩි ළමයෙක් අඬනවා ඔහු දකිනවා.

1958 පෙබරවාරි 14, ජනතා පුවත්පත – සවස මුද්‍රණය
(මෙහිදී පුවත්පතේ අනු ශිර්ෂ ද එලෙසින්ම ඇතුළත් කර තිබේ.)

“කොළඹ ග්‍රෑන්ඞ්පාස් වීදියේ බවර් ෆ්ලැට්ස්හී අංක 07 දරණ ස්ථානයේ නිවැසි කේ. ඊ. පී. පෙරේරා මහතා මේ දරුවා සොයා ගැනීම පොලිසියට උදව් වූ බව ඔහු කියති.

පෙරේරා මහතා ජනතාවට කළ ප්‍රකාශය මෙසේය.

“අද අලුයම 2.10ට ග්‍රෑන්ඞ්පාස් වීදියේ බබාපුල්ලේ දිස්පැන්සරිය පසුකොට මම ගමන් කරමින් සිටියෙමි. දිසපැන්සරියේ ගේට්ටුව ඇතුළත ළමයකු හඬමින් සිටිනු මම දුටුයෙමි. ගේට්ටුව වසා තිබුණෙන් ළමයාට එළියට එන්නට මඟක් නොතිබුණේය.

ගේට්ටු පලු දෙක එකට තුවායකින් බැඳ තිබුණ නිසා ළමයා ඉන් පිටවන්නට බැරිව අඬ අඬා සිටියේය.

ඒ අතර තවත් කෙනෙකු එතැනට පැමිණියහ. මේ අතර ඩිස්පැන්සරිය තුළ වුසු අයද එළියට ආහ. පසුව ළමයා පිළිබඳ විස්තරය පොලිසියට දන්වා සිටියලු. එවිට පොලිසියෙන් අවුත් ළමයා ගෙන ගියේය.

දොස්තර බ්‍රිටෝ බබාපුල්ලේ මහතාගේ දිස්පැන්සරියේ සේවය කරන හෙන්රි ජෝසප් පිල්ලේ මහතා මෙසේ කීවේය.

අළුයම 2.15ට පමණ මෝටර් රථයක් අප බෙහෙත් ශාලාව අසල නවත්වන ශබ්දයක් ඇසුනා. සාමාන්‍යයෙන් දොර අරින්නේ සීනුව නාද කළ පසුයි. මිනිත්තු 15කට පමණ පසු සාත්තු සේවිකාවක් වූ ඊ.ජී. ඩිග්‍රට් නෝනා මහත්මිය වීදුරු ජනේලයකින් පිටත බැලූවිට ළමයෙක් බෙහෙත් ශාලාවේ ඉස්තෝප්පුවේ සිටින බවත් ගේට්ටුව තුවායකින් බැඳ තිබුන බවත් දුටුවාය. කලිසමක් ඇඳ සිටි කෙනෙක් සහ සරමක් ඇඳ සිටි කෙනෙක්ද ගේට්ටුවෙන් පිට සිටිනු ඈ දැක තිබේ.

මේ බව ඈ මා සමඟ කී විට මා එළියට ගොස් ගේට්ටුව ඇර ළමයාට කථා කළ නමුත් ඔහු කථා නොකළේය.

ටැලිපෝනයෙන් දැන්නුවා
ඉන්පසු මම ග්‍රෑන්ඞ්පාස් පොලිසියට ටැලිපෝනයෙන් දැන්නුවෙමි.

පොලිසියෙන් පැමිණ ළමයාත් ගේට්ටුව අසල සිටි දෙදෙනාත් පොලිස් කාර්යාලයට කැඳවාගෙන යනු ලැබූහ.”
මේ පුවත ලංකාදීපයේ පළ වන්නේ ඊට පසු දිනයේ ය. එයට හේතුව එය උදෑසන පුවත්පතක් වීම ය. දරුවා සොයාගැනීම වාර්තා වනවිට එදින පුවත්පත මුද්‍රණය වී අවසන් ව තිබුණි.

නැවතත් මව් තුරුලට
ජගත් කුමාර කුලසිරි දරුවා නිරුපද්‍රිතව සොයාගත් පුවත වාර්තා වීමත් සමඟ, සිරිසේන මහතා සහා සෙලෝහාමි මහත්මිය ප්‍රීතියෙන් පිනා ගියා.

පැහැර ගැනීමට ලක්ව සිව් දිනකට පසු, එනම් පෙබරවාරි 14 වැනිදා උදෑසන 6.30ට පමණ හොරණ පොලිස් කාර්යාලයේදී දරුවා නැවතත් සිය මව් තුරුලේ උණුහුම ලැබුවා.

සතුටු කඳුළින් පිරි දෙනෙතින් දරුවා එන තෙක් බලා සිටි අම්මා, හඬමින් සිය පුතු සිඹගන්නා ආකාරය ඉතා සංවේදී දසුනක් වී තිබුණා.

“කොහේද පුතේ මගෙ පුතා හිටියේ” අම්මා ඇසූ පැනයට දරුවා උත්තර දුන්නේ කිසිදු කලබලයකින් තොරවයි.
“නැන්දලාගේ දිහාවේ ගියා…”

දරුවා නැවත මව්පියන්ට භාර දීමේ රාජකාරිය කටයුතු හමාර වන තෙක්, ජගත් පොලිස් ස්ථානය තුළ ඉතාම කෙළිදෙලෙන් කාලය ගත කළා.

යහපත් අවසානයක්
මේ වනවිට හොරණ සිට මරදානට කුලී මෝටර් රථයකින් දරුවා ගෙන ආ බවට සැක කෙරෙන රියැදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ කුලී මෝටර් රථය, කොළඹ ගරාජයක තිබී හමුවුණා.

දරුවා පැහැරගත් ජයසිංහ ඇතුළු හය දෙනෙකු මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.
ඛේදවාචකයක් වී අවසන් වීමට නියමිත වූ කතාවක්, සුබදායී ලෙස අවසන් වී තිබුණා.

පැහැර ගැනීම වෙනුවෙන් ජයසිංහට වසර දහයක සිර දඬුවමක් හිමි වූ අතර, පසුව ඔහු නිදහස ලබා කොහුවල ප්‍රදේශයේ ජීවත් වෙමින් සිටියදී මියගියා.

පැහැර ගනු ලැබූ අය – පැහැර ගත් අයට අවසන් ගෞරව දක්වයි
එවකට සාමාන්‍ය පෙළ හදාරමින් සිටි ජගත් කුමාර කුලසිරි තමන් ව කුඩා කාලයේදී පැහැරගත් ජයසිංහගේ මෘත දේහයට අවසන් ගෞරව දැක්වීමට ද ගොස් තිබුණා.

ඒ සිදුවීම, ඔහුගේ එවකට පෙම්වතිය ව සිට, පසුව බිරිඳ වූ කාන්ති ජයවර්ධන (පසුව කුලසිරි ලෙස නම වෙනස් වූ) දිනපතා ලංකාදීපයට මෙසේ විස්තරකොට තිබුණා. (මේ සම්මුඛ සාකච්ඡාව සිදුවන්නේ ජගත් මියයාමෙන් පසුවයි.)

“අපි ඕලෙවල්  කරනකොට දවසක් ජගත් මාත් එක්ක හොරණ බස් එකේ ආවා. කොහුවලින් බහින්න ඕනෑ කිව්වා. ජගත්ව පැහැරගෙන ගිහින් තිබ්බේ ජයසිංහ කියලා එක්කෙනෙක්. කොහුවලින් බහින්නේ මොකද කියලා ඇහුවම කිව්වා පොඩි කාලේ මාව පැහැරගෙන ගිය ජයසිංහ මැරිලා, මිනිහගේ මළගේට මම යනවා කියලා”.

ප්‍රකට ව්‍යාපාරිකයෙක් වුණු ජගත් කුලසිරි
අපේ කතානායක ජගත් කුලසිරි,  පසු කාලයේදී  මෙරට දැවැන්ත ව්‍යාපාරිකයෙකු බවට පත්වුණා. අද නම කියූ පමණින් කවුරුත් දන්නා හොරණ සහ කිරුළපන පිහිටි සිග්මා ආයතනයේ නිර්මාතෘවරයා වන්නේ ඔහු යි. ඔහුගේ පාසල් වියේ මිතුරිය සහ පෙම්වතිය වූ කාන්ති සමඟ 1981 දී විවාහ වූ ජගත්ට, සඳුන්, අනුෂි සහ මධුෂි ලෙස දරුවන් තිදෙනෙකු සිටියා.

අපේ රටේ කප්පම් සඳහා පැහැරගෙන ඝාතනය කළ පළමු දරුවා වූ මතුගම සමන් කුමාර සිදුවීම ගැන ඔහු දැක්වූ ප්‍රතිචාරය, ඔහුගේ බිරිඳ විසින් ලංකාදීප මාධ්‍යවේදියා හා බෙදාගන තිබුණේ මෙලෙසයි.

“මං නම් පත්තරවල ප්‍රවෘත්ති ඔක්කොම දැන ගත්තේ ජගත්ගෙන්. එයා පත්තර ඔක්කොම අරගෙන උදේට බලනවා. සමන් කුමාර පැහැරගෙන ගිය වෙලේ උදේ පාන්දර ගිහින් තියෙන පත්තර ඔක්කොම ගෙනල්ලා කියෙව්වා. ඊට පස්සේ අකුරක් නෑර මට කියවනවා. සමන් කුමාර මැරුවා කියපු වෙලේ එයා හරියට කනගාටු වුණා. මාව නම් තුන්පාරක් පිස්තෝලෙ තියලා මරන්න ගියා. මම පිස්තෝලවලට ආස නිසා ඒක ඉල්ලුවා. මං දැනං හිටියේ නෑ ඒවා ඇත්ත පිස්තෝල කියලා. මම එදා මරණයෙන් බේරුණා. මට සමන් කුමාර මරපු එක ගැන හරි දුකයි” කියලා මහත්තයා ඒ දවස්වල පුදුම කම්පනෙන් හටියේ”

ඉතාම සුවිශේෂී අහම්බයක් ලෙසින්, ජගත් කුමාර කුලසිරිගේ පුත් සඳුන් ද පැහැර ගැනීමක සැලසුමක ගොදුරක් බවට පත් වුණා.

ජගත් කුමාර විසින්, මෝටර් රථයක් සඳහා අත්තිකාරමක් ගෙවා තිබියදී එය බලහත්කාරයෙන් ලබාගැනීමට උත්සාහ කළ හොරණ ප්‍රදේශයේ නම් දැරූ චණ්ඩියෙකුව ඔහු නොතකා හරිනවා.එම පුද්ගලයා විසින්, ජගත් ගේ පුතු සඳුන්ව පැහැරගෙන යාමට සැලසුම් කර ඇති බව දැනගත් ජගත්, හොරණින් නුගේගොඩට සංක්‍රමණය වන්නේ සඳුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්මයි.

ජීවිතයේ අවසාන කාලය, ඉතාමත් දැහැමි ලෙස ගතකළ ජගත් කුමාර කුලසිරි මහතා 2017 වසරේ පෙබරවාරි 26 වැනිදා සිය දිවියට සමු දුන්නා.

මුලාශ්‍ර :
ජනතා පුවත්පත
ලංකාදීප පුවත්පත
දිනමිණ පුවත්පත
විශේෂ ස්තුතිය, හොරණ ගිහාන් අමරසිංහ...

දැනුම සොයන්න මේ පාරෙන් එන්න.............අන්තර්ජාලය ඇසුරෙනි...................

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment