පැරණි පන්නයට අනුව තැනූ පළ හතරේ වහලයකින් යුතු මධ්‍යම ප්‍රමාණයේ නිවසකි. ජීවිකාව ගතකළේ මව් පිය දෙපළත් දරුවන් සිව් දෙනාත් ය. දියණියන් දෙදෙනක් හා පුතුන් දෙදෙනකි. සරළ දිවි පෙවෙතක් ගත කරමින් සිටි මොවුන්ට අනපේක්ෂිත අයුරින් මහත් අභාග්‍ය සම්පන්න කාලයක් උදාවිය. හොඳින් වැඩපළ කරමින් සිටි මව හදිසියේ රෝගාතුර වූවාය.ඇයගේ වම් පස අත හා පාදය අප්‍රාණික වූයෙන් ඔත්පළ වූවාය.පවුලේ සතුට සොරුන් රැගෙන ගියා සේ විය.නොකෙරූ වෙදකමක් නැත.රැගෙන නොගිය තැනක් නැත.කිසිදු ප්‍රතිකාරයකින් ඇය යථා තත්වයට පත්කරලීමට නොහැකි විය.
එක්තරා මූසල රාත්‍රියක නිවස පිටුපසින් බස්සෙකු හඬන්නට විය. නිවැසියන්ගේ සිත් තුළ ඇතිවූයේ මහත් බියජනක හැඟීමකි. පසුදාට පහන් වන විට දයාබර මෑණියන් ජීවිතයෙන් සමුගෙන තිබුණි. නිවැසියන් මෙන්ම ගම් වැසියන්ද දැඩි සේ දුක් විය. හිමි නමක් වැඩම කරවා බණක් කියවා හත් දින දානමය කටයුතුද නිමා කර තිබුණි. මරණය සිදුවූ දා පටන් නිවසේ රැඳී සිටි පිරිස නිවසින් නික්ම ගොසිනි.නිවස පුරා පැවතියේ මහා පාළුවකි. නිවස හාත් පසින් අඳුර වැටෙමින් තිබුණි. දින ගණනක් පුරා වෙහෙස වූයෙන් නිවැසියන් තුළ වූයේ විඩාවකි. පාළුව ඊට දෙවෙනි නැත.සියල්ල පරදා සිත් තුළ නැඟෙන ශෝකයද විය. තම තමන්ට සුපුරුදු තැන්හි නිවැසියන් වැතිර ගත්තේ රාත්‍රිය එළඹෙන්නටත් පෙරය. වැඩිමහල් දියණිය එක්වරම දුටුවේ අදහා ගත නොහැකි දර්ශනයකි. පැරණි වහළයේ පහළ බාල්කයේ වවුලෙක් එල්ලී සිටියි. ඇය විදුලියක් මෙන් ඇඳෙන් බැස දිවගියේ පියා සොයාගෙනය. බිය,තැතිගැන්ම නිසාම ඇය පියා ඉදිරියේ කෑගැසුවාය. බාල සොහොයුරිය හා සොහොයුරාද දිව ආවේ ඒ ශබ්දයටය.සියල්ලෝ එක්ව මඳ වේලාවක් වවුලා දෙස බලා සිටියහ. ඌ නිසොල්මනේ එල්ලී සිටියි.
වවුලා එලවා දැමීමට කොතෙක් උත්සාහ කළද කිසිම පිළියමක් සාර්ථක වූයේ නැත. පසුදා උදැසන බලන විට වවුලා නැත. සියල්ලෝ සැනසුම් සුසුම් හෙලූහ. ඒ සැනසුම තාවකාලික සැනසුමක් වූයේ පසුදා ඇඳිරි වැටීගෙන එන විට නැවත වවුලා එල්ලී සිටින අයුරු දැකීම නිසාය. මෙය නිවසේ සුපුරුදු සිද්ධියක් බවට පත් විය. දිනපතා අඳුර වැටීගෙන එන විට පැමිණ බාල්කයේ එල්ලෙන වවුලා නිවසෙන් පිට වන්නේ පසුදා හිමිදිරියේයි.
දිනක් රාත්‍රී දොළහට පමණ බාල දියණිය නිදා සිටින කාමරයේ ජනේලයට කවුරුන් හෝ තට්ටු කරන හඬ ඇසීමෙන් ඇය තිගැස්සුණාය. නින්දෙන් ඇසුණු ශබ්දයක් දැයි දෙගිඩියාවෙන් ඇඳ මතට වී කල්පනා කරන්නට විය. නැවතත් ජනේලයට තට්ටු කරන හඬත් සමඟම ඇය කෑ ගැසුවාය. ඇයගේ කෑගැසීම අසා දිව ආ පියා,වැඩිමහල් සහෝදරිය හා සොහොයුරා දොර හැර නිවස වටා හෝදිසි කර බැලුවේ කවුරුන් හෝ සිටිනවාදැයි කියාය. කිසිවෙක් නැත. බාල සොහොයුරිය එදින පටන් වැඩිමල් සහෝදරිය හා නිදන්නට වූවාය.කාලය ගතවෙමින් තිබුණි.
දිනක් රාත්‍රියේ පියා සිහිනෙන් කෑගසන්නට විය. එය කෑගැසීමකටත් වඩා මහා විලපයකි.දරුවන් අවදිවී සැනෙකින් පියා අසලට දිව ආහ. පියා අවසිහියෙන් මෙන් කෑගසයි. වැඩිමහල් දියණිය වතුර ස්වල්පයක් ගෙනවිත් පියාගේ මුහුණට ඉස්සාය. නින්දෙන් අවදි වූ පියා මඳ වේලාවක් යනතුරු නිසොල්මනේ බලා සිටින්නට විය. මඳ වෙලාවකින් තමන් දුටු දේ දරුවන්ට පවසා සිටියේය. " දුවේ...අම්මා ඔත්පළ වෙන්න දවස් දෙක තුනකට කලින් කිව්වා මතකද මිදුල මැද්දේ කලුපාට තරබාරු කෙනෙක් ඉන්නවා දැක්කා කියලා...අපි ඒක ඒ තරම් ගණනකට ගත්තේ නෑ.. අම්මා ඔත්පළ වෙලා ඉන්නකොට වුණත් බේත් හේත් පස්සෙම පැන්නුවා මිසක් හරියකට,පිළිවෙලකට සෙත් ශාන්තියක් කරගන්න හම්බවුනේ නෑ...මට මහා අමුත්තක් දැනෙනවා..මේ සිද්ද වෙන දේවල් එක්ක අපි මේ විදියට බලාගෙන ඉඳලා හරියන්නේ නෑ.."
පවුලට හිතවත් සන්සුන් වැදගත් පුද්ගලයෙක් ගමේ ජීවත් විය. ඔහු ගුරුවරයෙකි. නිවැසියන් තමන් මුහුණ දෙමින් සිටින සියලු දේ ඔහු සමග පවසා සිටියේ යම් අදහසක් හෝ ඔහු වෙතින් ලබා ගැනීමේ අදහසිනි. ඔහුගේ මඟ පෙන්වීමෙන් නිවැසියන් යොමු වූයේ දක්ෂ ඇදුරෙක් වෙතටය. ඔහු යම්තම් දැලි රැවුල වැවුණු ගැටයෙකි.මන්ත්‍ර සාස්තරය පරම්පරාවෙන් උරුම කරගත් තරුණයෙකි. නිවැසියන්ගේ සියලු ප්‍රකාශයන්ට සාවදානව ඇහුම්කන් දුන් ඔහු නිවැසියන්ගේ ගැටළු නිවා දැමීමට පොරොන්දු විය. සොයාගන්නට අමාරු දෙයකට වූයේ ගෙරි ඔළුවක් පමණි. එයද, සෙසු දේවල්ද සොයා ගත් පසුව ඇදුරා නිවැසියන්ගේ ගැටළු දුරු කිරීමේ කටයුත්තට අත ගැසුවේය. එය රැය පහන් වන තුරු කළ ශාන්ති කර්මයකි. එළිවෙන යාමයේ ගෙරි ඔළුව පොරවකින් ගසා දෙපළු කරන ලද්දේ පාරේ සිට ගෙවත්තට ඇතුළු වන ස්ථානයේදීය. ගත වූයේ දින තුනකි. නිවස ඉදිරියේ පිහිටි දෙමහල් නිවසේ හිමිකරු අංශභාගය හැදී ඔත්පළ විය. ඔත්පළ වී දින කීපයකින් ඔහු මිය ගියේය. "කාට වුණත් මොනවා හරි නිස්කාරණේ කළොත් ඉතින් ආපහු එනවාම තමයි...." ගම් වැසියන් අතර ඔය වැනි කතා බහ ඇති විය. නිවසේ සිටි වවුලා යන්නට ගොස් ය. නිවැසියන් මුහුණ පෑ කරදර දුරුවී ගියේය. එදා දැලි රැවුල වැවුණු ගැටවර ඇදුරා අද බොහෝ දෙනෙක් දන්නා හඳුනන නම ගිය අයෙකි.
0 comments:
Post a Comment