උපරිම ආරක්ෂාවක් සහිත බන්ධනාගාරයක් බවට පත් වීමට පෙර අල්කට්රාස් යනු කාන්තාර දූපතකි. එම කලාපයේ ජීවත් වූ ස්වදේශික ඇමරිකානුවන් අතීතයේදී එම දූපතේ දුෂ්ඨ ආත්මයන් වාසය කරන බවට විශ්වාස කළ නිසා හැකි තරම් එම දූපතෙන් ඈත්ව වාසය කරන ලදී. එමෙන්ම එම ප්‍රදේශයේ ජීවත් වූ ඕහ්ලෝන් නමින් හැඳින්වූ ජනයා තම ගෝත්‍රයේ නීති උල්ලංඝනය කළ පුද්ගලයින්ට ලබා දෙන දඩුවමක් ලෙස ඔවුන්ව මෙම දූපතට ගෙන ගොස් දමනු ලැබීය.
මෙම දූපතට පැමිණි ප්‍රථම යුරෝපීය ජාතිකයන් වූයේ ස්පාඤ්ඤ ජාතිකයන්ය. 1775 දී සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක තරණය කළ ප්‍රථමයා වූ ගවේෂක ජුවාන් මැනුවෙල් ද අයාලා මෙම දූපත "ඉස්ලා ද ලොස් ඇල්කැට්‍රසීස්" හෝ "පෙලිකන් දූපත" ලෙස නම් කරන ලදී. පසුව එම නම වර්තමානයේදී අප දන්නා 'අල්කට්රාස්' බවට පත් විය. එමෙන්ම ස්පාඤ්ඤ ජාතිකයන් දකුණු කැලිෆෝනියාවේ සිය ගවේෂණ ආරම්භ කළ විට, ඕහ්ලෝන් ගෝත්‍රයේ බොහෝ සාමාජිකයින් යුරෝපය විසින් බලපැවැත්වූ ක්‍රිස්තියානිකරණය වැළැක්වීම සඳහා මෙම දිවයින සැඟැවී සිටීමේ ස්ථානයක් ලෙසද භාවිතා කළහ.
මෙම දිවයිනේ ප්‍රථම ලියාපදිංචි අයිතිකරු වූයේ ජූලියන් වර්ක්මන් නම් පුද්ගලයෙකි. ඔහුව 1846 ජූනි මාසයේදී මෙක්සිකානු ආණ්ඩුකාරවරයා වන පියෝ පිකෝ විසින් එම දූපතේ ප්‍රදීපාගාරයක් තැනීම සඳහා පත් කරන ලදී. එහෙත් 1848 දී ඇමරිකානු-මෙක්සිකානු යුද්ධය අවසන් වීමත් සමග කැලිෆෝනියාව සහ මෙම දූපත ද එක්සත් ජනපදයේ දේපලක් බවට පත් විය. එමෙන්ම 1860 ගණන් වල මුල් භාගයේදී ඇමරිකානු සිවිල් යුද්ධය ආරම්භ වූ විට අල්කැට්රාස් දූපත ආයුධ ගබඩා කිරීමේ ස්ථානයක් ලෙසද යොදා ගන්නා ලදී.
මෙම දූපතේ මූලෝපායික පිහිටීම හේතුවෙන් පසුව එහි බලකොටුවක් තැනූ අතර එහි මුදුනේ කාලතුවක්කු 11 ක් පමණ ස්ථානගත කරන ලදී. එහෙත් පසුව යුද්ධය පැවති සමයේදී මෙය සිරකරුවන් රදවා තැබීමේ ස්ථානයක් ලෙස භාවිතා කළ අතර 1868 දී ගඩොල් බන්ධනාගාරයක් ඉදිකිරීමෙන් පසු එය නිල වශයෙන් නම් කෙරුණේ හමුදා සිරකරුවන් සඳහා දිගු කාලීන රැඳවුම් ස්ථානයක් ලෙසය.
ඉන්පසු 1909 සිට 1911 දක්වා අතර කාලයේදී මෙම ගොඩනැගිල්ල නවීන සහ වැඩි දියුණු කළ බන්ධනාගාරයක් ලෙස නවීකරණය කරන ලදී. මෙම නව ගොඩනැගිල්ල (පසුව එය හදුන්වනු ලැබුවේ "The Rock" ලෙසය) ඉදිකරනු ලැබූවේ එම කාලයේ එහි රදවා සිටි සිරකරුවන්ම විසිනි. මෙම දූපත 1850 සිට 1933 දක්වා එක්සත් ජනපද හමුදාව යටතේ පැවති අතර එහෙත් 1933 සිට එහි අයිතිය අධිකරණ දෙපාර්තමේන්තුව වෙතට මාරු කරන ලැබීය. ඉන්පසුව ඔවුන් තීරණය කරනු ලැබුවේ ඇමරිකානු භූමියේ සිටින ඉතාමත් භයානක අපරාධකරුවන් සිරගත කිරීමට මෙම දූපතේ පිහිටි බන්ධනාගාරය උපරිම ආරක්ෂාවක් සහිත ෆෙඩරල් බන්ධනාගාරයක් බවට පත් කිරීමටය.
ඒ අනුව 1934 දී ප්‍රථමවරට මෙම දූපතට සිරකරුවන් පිරිසක් රැගෙන එන ලදී. මෙම බන්ධනාගාරයේ ප්‍රධාන අධ්‍යක්ෂවරයා වූයේ ජේම්ස් ඒ. ජොන්ස්ටන් වන අතර ඔහු 1948 වන තුරු එම තනතුර හොබවන ලදී. එමෙන්ම මෙම බන්ධනාගාරයේ කාර්ය මණ්ඩලය 150 දෙනෙකුගෙන් පමණ සමන්විත වූ අතර ඔවුන් සිය පවුලේ පිරිස් සමග මෙම දිවයිනේ ජීවත් විය. සාමාන්‍යයෙන් මෙහි සිරකරුවන් 250 ක් රඳවාගෙන සිටි අතර ඒ සෑම කෙනෙකුටම තමන්ටම වෙන් වූ සිර මැදිරියක් විය. මෙම සිරමැදිරිය බොහෝ දෙනා "යක්ෂයාගේ දූපත" ලෙස හැඳින්වුවද එකල සිටි බොහෝ සිරකරුවන්ට මෙම සිර කඳවුරට පැමිණීමට අවශ්‍ය විය. එයට ප්‍රධානතම හේතුව වූයේ එකල එක්සත් ජනපදයේ තිබූ බොහෝ බන්ධනාගාර වලට වඩා මෙහි ජීවන තත්වය යහපත් නිසාය.
අල්කට්‍රාස් හි සිටි සිරකරුවන්ට අයිතිවාසිකම් හතරක් තිබුණි. ඒවා නම් ආහාර, ඇඳුම් පැළඳුම්, නවාතැන් සහ වෛද්‍ය පහසුකම්ය. ඊට අමතරව හිමිවන වෙනත් ඕනෑම වරප්‍රසාදයක් සිරකරුවන් විසින් උපයා ගත යුතුව තිබුණි. එනම් එළිමහනේ සිටීම, පවුලේ අය සමඟ ලිපි හුවමාරු කර ගැනීම, ඥාතීන්ගේ සංචාර, පුස්තකාලයට ප්‍රවේශ වීම, පින්තාරු කිරීම, ලිවීම හෝ වැඩ කිරීම වැනි දේවල් එම සිරකරුවා තවදුරටත් තර්ජනයක් නොවන බවට බන්ධනාගාර කළමනාකාරිත්වය විශ්වාස කළ විට ඔහුට හිමි වේ. ඊට අමතරව ඔහු බන්ධනාගාරය තුළ හොදින් දිවි ගෙවනු ලැබුවහොත් ඔහුගේ ඉතිරි දඩුවම් කාලය අවසන් කිරීම සඳහා ඔහුව වෙනත් ෆෙඩරල් බන්ධනාගාරයකට යවන ලදි.
1934 සිට 1939 දක්වා කාලයේ ඇල්කොට්රාස්හි වඩාත් කුප්‍රකට අපරාධකරුවෙකු වන අල් කපෝන් සිරගත කරන ලදී. ඔහුට පසුව මෙහි සිරගත කරන ලද ප්‍රසිද්ධ චරිත අතර "මැෂින් ගන් කෙලී" යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ජෝර්ජ් කෙලී සහ ඇල්වින් "ක්‍රිපී" කාර්පිස් යන අය සදහන් කළ හැක.
කෙතරම් ආරක්ෂාවක් තිබුනත් 1963 වන විට මෙයින් පැන යාමේ උත්සාහයන් 14 ක් වාර්තා වූ අතර එයට පුද්ගලයන් 36 දෙනෙකු සම්බන්ධ වී ඇත. එහෙත් එයින් 23 දෙනෙකු අල්ලා ගත් අතර 6 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කරන ලදී. එහෙත් ඉතිරි පුද්ගලයින් පැන යාමේදී දියේ ගිළී මියගොස් ඇති බවට සදහන් වුවත් මේ වන තෙක් ඔවුන්ගේ සිරුරු සොයා ගෙන නොමැති අතර සැබැවින්ම ඔවුන්ට සිදු වූ දෙය අදටද අභිරහසකි.
මේ පැන යාම් අතුරින් සිදු වූ ආකර්ෂණීයම පැන යාම ලෙස ජෝන් ඇන්ග්ලින්, ක්ලැරන්ස් ඇන්ග්ලින් සහ ෆ්‍රෑන්ක් මොරිස්ගේ පැන යාම සැලකිය හැක. මාධ්‍ය විසින් එකල මෙම සිදු වීම වාර්තා කරනු ලැබුවේ ඇමරිකානු ඉතිහාසයේ සිදු වූ විශිෂ්ටතම සිරගෙවල් වලින් පැන යමක් ලෙසය. මෙම සිරකරුවන් තිදෙනා මාස කිහිපයක් තිස්සේ තම පැනයාම සැලසුම් කරමින් සිට ඇති අතර රහසිගතව ඔවුන්ට පැන යාමට අවශ්‍ය මෙවලම්ද සාදා ගැනීමට සමත් විය. අවසානයේ 1962 ජූනි 11 දින ඔවුන් සිය සැලැස්ම ක්‍රියාත්මක කරන ලදී.
එදින රාත්‍රියේ ජෝන්, ක්ලැරන්ස් සහ ෆ්‍රෑන්ක් යන තිදෙනා ඉතා දක්ෂ ලෙස සාදනු ලැබූ ව්‍යාජ හිසක් සිය ඇදන් මත තබා එය බාගෙට වැසෙන ලෙස පොරවනය පෙරවා පොරවනයට යටින් කඩදාසි පුරවන ලදී. එවිට බන්ධනාගාර නිලධාරීන්ට පෙනෙන්නේ ඔවුන් එම ඇදන් මත නිදා සිටින බවයි. ඔවුන් ඉතා දක්ෂ ලෙස එම ව්‍යාජ හිස සෑදූ අතර මිනිස් සමේ වර්ණයේ තීන්ත සහ සැබෑ මිනිස් හිසකෙස්ද එයට යොදා ගන්නා ලදී.
ඉන්පසු ඔවුන් සිදු කළේ සිරකුටියට වාතාශ්‍රය ලැබෙන පයිප්පය දිගේ බන්ධනාගාරයෙන් එළියට බඩගාගෙන යාමයි. ඉන්පසු ඔවුන් වැහිකබා වලින් සාදා ගනු ලැබූ කුඩා යාත්‍රාවක් මගින් සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක හරහා ගමන් කර ඇත. ඔවුන් මෙම යාත්‍රාව සෑදීම සදහා සොරකම් කරන ලද වැහි කබා 50 කට වැඩි ප්‍රමාණයක් යොදා ගෙන ඇත. ඒ ආකාරයට එක් වරක් වත් බන්ධනාගාර ආරක්‍ෂක පද්ධතියට හසු නොවී සාර්ථක ලෙස පැන ගැනීමට ඔවුන් සමත් විය.
මෙම පැනගිය අයට කුමක් සිදු වූවාද යන්න කිසිවෙකු අද වනතුරු දන්නේ නැත. දූපතට ආසන්නයේ තිබී ඔවුන් සෑදූ කුඩා යාත්‍රාවේ කොටස් පසුව හමු වූ අතර ඒ නිසා බොහෝ දෙනා උපකල්පනය කළේ ඔවුන් මියගොස් ඇති බවයි. අල්කැට්‍රෑස් බලධාරීන්ද ප්‍රකාශ කරන්නේ ඔවුන් දියේ ගිලී මිය ගොස් ඇති බවයි.
මෙම දිවයිනට සැපයුම් ප්‍රවාහනය කිරීමේ අධික පිරිවැය හේතුවෙන් ඇල්කට්‍රාස් බන්ධනාගාරය 1963 දී රොබර්ට් එෆ්. කෙනඩි විසින් වසා දමන ලදී. 1969 දී ස්වදේශික ඇමරිකානුවන් කණ්ඩායමක් විසින් මෙම දූපතට හිමිකම් කියූ අතර එහෙත් 1971 දී බලධාරීන් විසින් ඔවුන් එම දුපතෙන් ඉවත් කරන ලදී. වර්තමානයේ මෙම දිවයින සංචාරකයන් සඳහා විවෘතව පවතී.
ඇල්කට්රාස් ප්‍රදීපාගාරය |
පැනගිය සිරකරුවන් සෑදූ ව්‍යාජ සිරුරු |
පැනගිය සිරකරුවන් සෑදූ ව්‍යාජ හිසක් |
0 comments:
Post a Comment