අන්තර්ජාතික පොත් දිනය, ලෝක පොත් දිනය ලෙසත්, ලෝක පොත් ප්‍රකාශන හිමිකම් දිනය ලෙසත් හැඳින් වේ. ඒ දිනය යෙදෙන්නේ සෑම වසරකම අප්‍රේල් මස 23 වැනිදාට ය. එවැනි දිනයක් නම් කිරීම සඳහා පියවර ගත්තේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යා සහ සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානයයි. දිනය නම් කර තිබෙන්නේ කියැවීම, පොත් ප්‍රකාශනය සහ ප්‍රකාශන අයිතිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙනි.
අන්තර්ජාතික පොත් දිනය
අන්තර්ජාතික පොත් දිනය පළමුවෙන්ම සැමරුවේ 1995 වසරේ අප්‍රේල් 23 වැනිදා ය. ලොව බොහෝ රටවල් අප්‍රේල් 23 වැනිදා අන්තර්ජාතික පොත් දිනය ලෙස සැලකුවත්, එක්සත් රාජධානිය, අයර්ලන්තය, ස්වීඩනය සහ අමෙරිකාව අන්තර්ජාතික පොත් දිනය සමරන්නේ එදිනට නොවේ. බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තය පොත් දිනය සමරන්නේ සෑම වසරකම මාර්තු මාසයේ පළමු බ්‍රහස්පතින්දා ය. ස්වීඩනයේ පොත් දිනය යෙදී තිබෙන්නේ අප්‍රේල් 13 වැනිදාට ය. සෑම වසරකම අප්‍රේල් 26 වැනිදාට ආසන්නම ඉරිදා දිනය, අමෙරිකානුවෝ පොත් දිනය හැටියට යොදා ගනිති.
අන්තර්ජාතික පොත් දිනය අප්‍රේල් 23 වැනිදාට යොදා ගැනීමට බලපෑ හේතු කිහිපයක්ම තිබේ. පොතක් පළමුවෙන්ම විධිමත්ව සකස් කෙරුණේ 1923 වසරේදී බව සඳහන් වේ. ඊට දායකත්වය සපයා තිබෙන්නේ ස්පාඤ්ඤයේ කැටලෝනියා හි පොත් වෙළෙඳුන් ය. විලියම් ශේක්ස්පියර්ගේ සහ ඉන්කා ගාර්ශිලාසෝ ඩෙ ලා වේගා යන කීර්තිමත් ලේඛකයන් දෙදෙනාගේ අභාව සිදුව තිබෙන්නේ 1616 වසරේ අප්‍රේල් 23 වැනිදා ය.
පොත් කියැවීම සම්බන්ධයෙන් විවිධ මට්ටමේ සමීක්ෂණ මේ වනවිට කෙරී ඇත. මේ සමීක්ෂණවලින් හෙළි වී ඇති තොරතුරුවලට අනුව, පොත් කියැවීම සඳහා සතියකට වැඩිම කාලයක් වැය කරන්නේ ඉන්දියානුවන් ය. ඉන්දියානුවකු සතියකට සාමාන්‍යයෙන් පැය 10කුත් විනාඩි 42ක පමණ කාලයක් පොත් කියැවීමට යොදවන බව අනාවරණය වී ඇත. පොත් කියැවීමට සතියකට වැඩිම කාලයක් මීළඟට යොදවන්නේ තායිලන්ත සහ චීන ජාතිකයන් ය. තායිලන්ත ජාතිකයකු සතියකට පැය 9යි මිනිත්තු 24ක කාලයකුත්, චීන ජාතිකයකු සතියකට පැය 8ක කාලයකුත් පොත් කියැවීමට යොදවන බව සඳහන් වේ.
ලෝකය පුරා පොත් ප්‍රකාශනය වීම පිළිබඳ දත්ත ඒකරාශී කෙරී ඇත. යුනෙස්කෝ සංවිධානය රටවල් 123කින් පමණ ඒ පිළිබඳ දත්ත එකතු කරගෙන තිබේ. එම දත්තවලට අනුව වසරකට ලොව ප්‍රකාශනය කෙරෙන පොත් සංඛ්‍යාව මිලියන 2.2 ඉක්මවයි. වසරකට වැඩි ම පොත් සංඛ්‍යාවක් පළ කෙරෙන්නේ චීනයේ, අමෙරිකාවේ සහ එක්සත් රාජධානියේ ය. චීනයේ වසරකට පළ කෙරෙන පොත් සංඛ්‍යාව 440,000ක් පමණ වේ. මේ සංඛ්‍යාව අමෙරිකාවේ සහ එක්සත් රාජධානියේ පිළිවෙළින් 304,912 සහ 184,000 බැගිනි.
සමස්තයක් හැටියට ගත් කළ අඩු පොත් සංඛ්‍යාවක් පළ කෙරෙන්නේ අප්‍රිකා කලාපයේ රටවල ය. එසේ වුවත් අඩු ම පොත් සංඛ්‍යාවක් පළ කෙරෙන රටවල් අතර පෙරමුණේ සිටින්නේ අරාබි රාජ්‍යයක් වන ඕමානයයි. එහි වසරකට ප්‍රකාශනය කෙරෙන නව පොත් සංඛ්‍යාව 7ක් තරම් අඩු මට්ටමක පවතී. බුකිනෝ ෆාසෝ රාජ්‍යයේ වසරකට ප්‍රකාශනය කෙරෙන නව පොත් සංඛ්‍යාව 12ක් පමණ වේ. මාලි සහ ගැම්බියාව යන රාජ්‍ය දෙක තුළ වසරකට නව පොත් 14 බැගින් ප්‍රකාශනය කෙරේ.
පොත් කියැවීම ගැන සඳහන් කරන විට විද්‍යුත් පොත් හෙවත් “ඊ බුක්” ගැනත් සඳහන් කළයුතු ය. විද්‍යුත් පොත්, සමාජය තුළ ව්‍යාප්ත වන්නට පටන් ගත්තේ මෑත භාගයේදී වුවත් විද්‍යුත් පොත් සංකල්පයේ අක්-මුල් එක්දහස් නවසිය තිස් ගණන් මුල භාගය දක්වා දිවයයි. ඒ මුල් කාලයේදී ජනප්‍රිය නොවූවත්, විද්‍යුත් පොත් අද වනවිට ජනප්‍රිය මට්ටමක පවතී. 2015 වසරේදී අලෙවි කෙරුණු විද්‍යුත් පොත් සංඛ්‍යාව මිලියන 221ක් බැව් වර්තාවල සඳහන් වේ. විද්‍යුත් පොත් අලෙවිය ඉහළ මටටමක තිබුණත්, එහිදී පාඨකයන්ගේ දත්ත සැලකිය යුතු ප්‍රමාණයක් එම පොත් අලෙවිකරන සමාගම් අතට පත් වීමේ අවදානමක් ඇත. විද්‍යුත් පොත් අලෙවිකරන ප්‍රකට සමාගමක් හැටියට ඇමේසන් සමාගම දක්වන්නට පුළුවන. විද්‍යුත් පොත් පාඨකයන්ගේ අනන්‍යතාව, රුචිකත්වය, කියවා අවසන් කළ පොත් ප්‍රමාණය, දැනට කියවන පොත ගැන පමණක් නොව, ඒ පොතේ කුමන පිටුවක කුමක් මතුකර සලකුණු කළේ ද යන්න ගැන පවා එම සමාගමට වාර්තා වන බව සඳහන් වේ.
කියැවීම විද්‍යුත් පොතක් හරහා කළත්, මුද්‍රිත පොතක් හරහා කළත් ඵලදායී ය. එසේ වුවත්, මේ දෙවර්ගයේ පොත් පරිහරණයේ වාසි මෙන් ම අවාසිත් ඇත. අලුත් මුද්‍රිත පොතක් අතට ගත්විට දැනෙන එහි සුවඳ මෙන් ම, එය ස්පර්ශ කිරීමේදී දැනෙන අධ්‍යාත්මික තෘප්තිය විද්‍යුත් පොතක් අතට ගත්විට දැනෙන්නේ නැත. අමෙරිකාව, එක්සත් රාජධානිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවල් විද්‍යුත් පොත් පරිහරණයේ දැවැන්තයන් අතරට එක්ව සිටියත්, ලොව බොහෝ රටවල වැඩිපුර තවමත් භාවිත කෙරෙන්නේ සාම්ප්‍රදායික මුද්‍රිත පොත් ය. සාම්ප්‍රදායික මුද්‍රිත පොත් සංස්කෘතික වටිනාකමක් ඇති අංගයක් බවට මේ නිසා පත්ව තිබේ.
හොංකොං වෘත්තික පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙන්නේ, වත්මන් තරුණ තරුණියන්ගෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් පොත් නොකියවන බවකි. නව පරපුර පොත් කියැවීමෙන් ඈත් වන්නේ කුමන කාරණා නිසාද යන්න ගැනත් පර්යේෂණ සිදුව තිබේ. කාලය සහ මුදල් හිඟකම පොත් කියැවීමෙන් ඈත් වන්නට ප්‍රධාන ලෙස බලපාන බව පර්යේෂකයෝ පවසති. පොත් කියැවීමෙන් පුරුද්ද ජීවිතයට එකතු නොවී තිබීම, දැඩි වෙහෙස, බහු මාධ්‍යය සහ පරිගණක, ජංගම දුරකථන ආදී මෙවලම් භාවිතය වැඩිවීම වැනි සාධකත් පොත් කියැවීම අඩුවීමට බලපා ඇත. නව පොත් දුලභ වීම මෙන් ම, පුද්ගල රුචිකත්වයට ඔබින පොත් නොතිබීමත්, පාඨකයාට දුරවබෝධය දන්වන පොත් රචනා වීමත් යටකී තත්ත්වය මතු කරන්නට තව දුරටත් හේතු වේ. කියැවීමේ පුරුද්ද කෙනෙකු තුළ තිබිය යුතුම දෙයක් බව අධ්‍යාපන විශේෂඥයෝ පෙන්වා දෙති. එසේ ම, එය ඊළඟ පරම්පරාවලට හුරු කිරීමත් ඉතා වැදගත් බව ඔවුහු පෙන්වා දෙති.
පොත් කියැවීමේ වාසි
පොත් කියැවීමෙන් වාසි රැසක් මිනිසාට අත්වේ. නව ඥානයක් ලැබීම, බුද්ධි වර්ධනය, ස්මරණ ශක්තිය වර්ධනය වීම, පරිකල්පනය දියුණු තියුණු වීම, විග්‍රහාත්මකව සිතීමේ කෞශල්‍යය වර්ධනය වීම, ශබ්ද කෝෂය පුළුල් වීම , ලිවීමේ සහ සන්නිවේදනයේ හැකියාවන් වර්ධනය වීම, කිසියම් දෙයකට ඒකාත්මික වීම, ප්‍රගුණ වීම යනාදිය ඒ අතර කැපී පෙනෙයි. මානසික ආතතිය අඩුකර ගැනීමටත් පොත් කියැවීම හොඳ බැවින්, එය සෞඛ්‍ය වර්ධනයටත් ඉවහල් වේ. පොත් කියැවීම ඵලදායී විනෝදාංශයක් ද වන්නේය. බොහෝ මිනිස්සු විනෝදාස්වාදය පිණිස විශාල වශයෙන් මුදල් වැය කරති. එසේ වුවත් පොත් කියැවීමෙන් ලබන වින්දනයට වැය වන්නේ සාපේක්ෂව අඩු මුදලකි. පුද්ගල සමාජානුයෝජනයටත්, නිර්මාණශීලීත්වය වර්ධනයටත් පොත් කියැවීම මාහැඟි පුරුද්දකි. වටිනා කියන පොත් කියැවීමේ පුරුද්දෙන් කිසිවකුට හානියක් සිදු වන්නේ නැති බව අවධාරණය කළයුතුම කාරණයකි.
මංජුලා විජයරත්න..අන්තර්ජාලය ඇසුරෙනි
0 comments:
Post a Comment