ඔහු සමග සම්බන්ධ යුධ ජයග්‍රහණ ගත් කළ ඔහු තම පියා නතර කළ තැනින්ම පටන් ගන්නා ලදී. ඔහුගේ දක්ෂ හමුදා නායක සුබුටයිගේ සහය ඇතිව ඔහු චීනයේ ජින් රාජවංශයට එරෙහිව යුධ ව්‍යාපාරයක් දියත් කරන ලදී. 1233 දී කයිෆෙන් හි ජින් අගනුවර බිඳ වැටුණු අතර 1234 වෙද්දී ජින් අධිරාජ්‍යයේ සම්පූර්ණ හා අවසාන බිඳවැටීම සිදුවිය. මෙම කාලය තුළ ඔහු බොහෝ ලෙස නැවත නැවතත් කොරියාවටද පහර දෙන ලදී.
එමෙන්ම 1235 සිට සුබුටායි මධ්‍යම ආසියාව පුරා යුධ ව්‍යාපාරයක් ගෙන ගිය අතර එමගින් ඔවුන්ට ටිෆ්ලිස් (ටිබිලිසි) වැනි නගර අල්ලා ගැනීමට හැකි විය. 1236 සිට 1242 දක්වා 150,000ක් පමණ සෙබළුන් බළඇණි පහකට වෙන් කොට සංවිධානය වී පසුව කසකස්තානය / උස්බෙකිස්තානය හරහා නැගෙනහිර යුරෝපයට ප්‍රහාර එල්ල කරන ලදී. බල්ගේරියානු, රුසියානු, පෝලන්ත සහ හංගේරියානු ජාතිකයින්ට එරෙහිවද විවිධ යුධ ව්‍යාපාර වලදී ජයග්‍රහණ ලබා ගන්නා ලදි. මොන්ගෝලියානු අශ්වාරෝහකයෝ "යක්ෂයාගේ අශ්වාරෝහකයන්" ලෙස මෙම කාලයේදී ප්‍රසිද්ධියට පත් වී සිටි අතර කියෙව් (1240), ක්‍රකෝව් (1241), බුඩාපෙස්ට් (1241) වැනි මහා නගර සියල්ලම ඔවුන්ගේ කොල්ලකෑමට ලක් විය.
නමුත් 1241 දී ඔගෙඩෙයිගේ මරණය සිදු වීමත් සමග මෙම ආක්‍රමණ නතර විය. බොහෝ දෙනා පවසන්නේ ඔහුගේ මරණය නිසා යුරෝපය ආක්‍රමණයන්ගෙන් බේරුණ බවයි. මේ නිසා මොන්ගෝලියානු නායකයින්ට නව ඛාන්වරයකු (නායකයකු) තෝරා ගැනීම සඳහා කරකෝරම් වෙත ආපසු යාමට සිදුවිය. ඊළග ඛාන් ලෙස ගුයුක් ඛාන් (1246-1248) පත් වූ අතර ඔහුගෙන් පසු මොන්ග්කේ ඛාන් (1251-1259) එම තනතුර සදහා පත් විය. ඔහුගෙන් පසුව ජෙන්ගිස් ඛාන්ගේ මුනුබුරා මෙන්ම මොන්ගෝලියානු ජයග්‍රහණයන් නව මට්ටමකට රැගෙන යාමට සමත් වූ තවත් මොංගෝලියානු ශ්‍රේෂ්ඨ නායකයෙකු වන කුබ්ලායි, මහා ඛාන් එසේත් නැතිනම් 'විශ්ව පාලකයා' බවට පත් විය.
දූරදර්ශී පාලකයකු වූ කුබ්ලායි ඛාන් 1260 සිට 1294 දක්වා රජකම් කිරීමට සමත් විය. මහා ඛාන් තනතුර ලබා ගැනීම සඳහා කුබ්ලායිට ඔහුගේ බාල සහෝදරයා වන අරික් බොක් (1219-1266) සමඟ සටන් කිරීමට සිදුවිය. නමුත් කුබ්ලායි මෙම සටනින් ජයග්‍රහණය කරන ලදී. ඉන් පසු ඔහු මහා ඛාන් තනතුරට පත්වූ අතර කොටස් හතරකට බෙදා පාලනය වෙමින් තිබූ මොංගෝලියාවේ ධනවත්ම පාලකයා බවට ඔහු පත් විය.
එහෙත් කුබ්ලායි ඛාන්ගේ අභිලාෂය වූයේ ඊටත් වඩා තම තනතුර කීර්තිමත් කර ගැනීමටය. එම නිසා ඔහුගේ ඊළග ඉලක්කය වූයේ චීන අධිරාජ්‍යය යටත් කර ගැනීමටය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු චීන සොන්ග් රාජ වංශයට පහර දෙන ලදී. කුබ්ලායි බටහිර ආසියාවෙන් ලබාගත් දැනුම ඔස්සේ උසස් කැටපෝල් භාවිතා කරමින් ප්‍රහාරය දියත් කරන ලදී. ඊළග වසර 11 තුළ එම චීන අධිරාජ්‍යය කෙමෙන් බිද වැටුණු අතර 1276 මාර්තු 28 වන දින ලිනන් අගනුවර බිඳ වැටීමත් සමඟම සොන්ග් රාජවංශයද බිඳ වැටුණි. 1279 මාර්තු 19 වන දින නූතන මැකාවෝ අසල යයිෂාන්හිදී විශාල නාවික සටනකින් කුබ්ලායි ජය ගන්නා ලදි. එයත් සමග සොන්ග් රාජවංශය අවසන් විය. කුබ්ලායි තමාට පෙර සිටි සියලු මොංගෝලියානු නායකයින් සිහින දුටු බලවත් හා අතිමහත් ධනවත් චීන රාජ්‍ය එලෙස දිනා ගන්නා ලදී.
1271 දී කුබ්ලායි තමන් චීනයේ අධිරාජ්‍යයා ලෙස ප්‍රකාශයට පත් කළ අතර ඔහුගේම නව රාජවංශයක් වූ "යුවාන් රාජවංශය" එලෙස ආරම්භ කරන ලදී. එහි අර්ථය වූයේ 'සම්භවය' හෝ 'කේන්ද්‍රය' යන්නයි. ඩයිඩූ (බීජිං) ඔහු තම නව අගනගරය බවට පත්කර ගත් අතර ඊසාන දෙසින් පිහිටි සනාඩු (ෂැංඩු) ඔහුගේ ගිම්හාන නවාතැන ලෙස තෝරා ගන්නා ලදී.
යුද්ධයට මෙන්ම පරිපාලකයෙකු ලෙසද ඔහු සාර්ථක බව ඔප්පු කරමින් කුබ්ලායි සිය විශාල රාජ්‍යය පළාත් 12 කට සංවිධානය කර පාලනය කළ අතර වෙළඳුන්ට වාසිදායක බදු පැනවීම තුළින් වෙළඳාම ප්‍රවර්ධනය කළේය. කඩදාසි මුදල් භාවිතය දිරිගැන්වීම සහ භාණ්ඩ වඩා හොඳින් ප්‍රවාහනය කිරීම සඳහා මාර්ග සහ ඇල මාර්ග වැඩිදියුණු කිරීමද ඔහු සිදු කරන ලදී.
එහෙත් මෙම ජයග්‍රහණ තුලින්ද සෑහීමකට පත් නොවූ කුබ්ලායි 1274 සහ 1281 දී ජපානයට ප්‍රහාර දෙකක් දියත් කළේය. නමුත් මෙම යුධ ව්‍යාපාරයන් දෙකම දැඩි දේශීය ප්‍රතිරෝධය සහ දරුණු කුණාටු හේතුවෙන් අසාර්ථක වන ලදී. එයින් පසු කුබ්ලායි වියට්නාමය, බුරුමය, ජාවා ආක්‍රමණය කරමින් ගිනිකොනදිග ආසියාවට ප්‍රහාර මාලාවක් දියත් කරන ලදී. එයත් සමග මොන්ගෝලියානු අධිරාජ්‍යය එහි උච්චතම ස්ථානයට පැමිණ ඇති බව පෙනෙන්නට තිබූ අතර 13 වන සියවස වන විට එය ක්‍රමයෙන් පරිහානියට ලක් වන බව දක්නට ලැබුණි.
මොන්ගෝලියානු අධිරාජ්‍යයේ බිඳ වැටීම සහ ඔවුන්ගෙන් ආර්ථිකයට සිදු වූ බලපෑම පිළිබඳව අප තෙවැනි ලිපියෙන් අවධානය යොමු කරමු.
කුබ්ලායි ඛාන් |
0 comments:
Post a Comment