මම මේ ගෘප් එකට ලියන පළවෙනි කතාව. මම හොල්මන් දැකලා නැති නිසා ඒ තරම් විශ්වාස කරන්නේ නෑ. ඒත් මගේ සමීපතමයන් දැකලා තියෙන නිසා අවිශ්වාස කරන්නෙත් නෑ. මේ කතාව මම හොඳින්ම දන්න මාමා කෙනෙක්ට වුන දෙයක්. එයා නිමල්. ඒ මාමා මේ සිද්ධිය වුණ කාලේ වැඩ කළේ කලාප අධ්‍යාපන කාර්යාලයක. මේ මාමා බැඳලා ඉන්න නැන්දාගේ අක්කගෙ පුතා හමුදාවට බැඳෙන්න කලින් ඉඳලා තියෙන්නේ මේ නැන්දලාගේ ගෙදර. හමුදාවට බැඳිලා අවුරුද්දක් යන්නත් කලින් ඒ අයියා නැතිවෙලා තියෙනවා. ඒ එල්. ටී. ටී. ඊ ප්‍රහාරයකට ලක්වුණ ඒ ප්‍රදේශයේ පළවෙනි හමුදා නිලධාරියා විදිහට. ඒ අයියගේ නම චාමර. චාමර අයියා නැතිවෙලා අවුරුද්දේ දානේ දීලා ටික කාලෙකට පස්සෙ නිමල් මාමා රෑ වැඩ ඇරිලා කෙටි පාරකින් ගෙදර යන්න ඇවිත් තියෙනවා. එතකොටත් එයා ඉඳලා තියෙන්නෙ ටිකක් බීලා වෙරි වෙලා. ගෙදර ගේන්න බිත්තර ආප්පත් ඇරගෙන මම කලින් කියපු ෂෝට් කට් එකේ හිමීට ටික දුරක් එනකොට චාමර අයියව හම්බ වෙලා. වෙරි වෙලා හිටපු නිසා චාමර අයියා නැති වුණා කියලා අමතක වුණ මාමා හොඳට කතා කර කර ගේ ළඟට ඇවිත්. මාමලගේ ගෙදරට යන්න පොඩි ඇළක් පහු කරන්න ඕනි. චාමර අයියා මොකක් හරි හේතුවක් කියලා ඇළෙන් එහා නතර වෙලා.
"පුතා යමු ගෙදරට." කියලා මාමා කියද්දි චාමර අයියා කියලා තියන්නේ "බාප්පා යන්නකෝ.. දැන් මම ආයේ යන්න ඕනි" කියලා.
කොහොම හරි මාමා ගෙදරට ගිහින් දොරට තට්ටු කරපුවහම නැන්දා දොර ඇරලා. දොර ඇරපු නැන්දට මාමා,"ආන් මං එක්ක චාමර පුතා ආවා. ඇයි දන්නෑ ඇළෙන් එහා පැත්තේ නැවතුනා. කතා කරන්න මං කතා කළාට ආවේ නෑ." කියලා.
"මොන චාමර පුතාද? " කියලා නැන්දා අහද්දි මාමා ටිකක් සද්දෙට බැනලා "වෙන මොන චාමරයෙක්ද බං. හමුදාවේ එකා" කියලා. වෙලා තියෙන දේ තේරුම් ගත්ත නැන්දා ඉක්මන්ට මාමාගේ අතේ තිබුණ ආප්ප මල්ල විසි කරලා මාමාව ගෙට ඇරගෙන. අදටත් චාමර අයියගේ රූපෙන් ඒ ආවේ කවුද කියන්න කවුරුත්ම දන්නේ නෑ. ඒ චාමර අයියගේ ආත්මේ හොල්මනක් වෙලා කියලනම් කොහොමවත් හිතන්නෑ. හැමෝගෙම නිගමනේට අනුව ඒ ඇවිත් තියන්නේ ආප්ප වල සුවඳට වහ වැටුණු පෙරේත ආත්මයක් චාමර අයියගේ රූපේ ඇරගෙන. ඒකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා මම දන්නේ නෑ. මම මීට අවුරුදු ගාණකට කලින් අහපු ඒ කතාවේ ඇත්ත කියලා හිතුන නිසා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා. (මේ කතාවට යොදාගත්ත නම් මනඃකල්පිත බව සලකන්න)
0 comments:
Post a Comment