එඩ්වඩ් 1701 සිට 1704 දක්වා ඈන් රැජිනගේ යුද්ධයේදී රාජකීය නාවික හමුදාවේ සේවය කරන ලදී. පසුව 1706 දී තම පියාගේ අභාවයෙන් පසුව ඔහු සිය වෘත්තිය වෙනස් කරමින් මුහුදු කොල්ලකරුවෙකු වීමට තීරණය කරන ලදී. කෙසේ වෙතත් ඔහු එලෙස ගනු ලැබූ තීරණය නිසා ලොව එදා මෙදා තුර බිහි වූ භයානකම කොල්ලකරු තමා වේ යැයි කිසිසේත් නොසිතන්නට ඇත.
මුහුදු කොල්ලකරුවන් බොහෝ විට තම ඇත්ත නම වෙනුවට පසුව සාදා ගත් නමක් භාවිතා කළ අතර එයට හේතුව වුයේ ඔවුන්ගේ පවුලේ නම මේ සිද්ධි වලට මිශ්‍ර නොකිරීමට ය. ඒ අනුව එඩ්වඩ් ද තම නම වෙනුවට බ්ලැක්බියර්ඩ් යන නම භාවිතා කිරීමට පෙලඹෙන ලදී.
1713 දී එඩ්වඩ් ටීච් බහමාස් වලට ගොස් මුහුදු කොල්ලකරුවන්ගේ නවාතැනේ සාමාජිකයෙකු බවට පත් විය. මෙම කාලය තුළදී ඔහු මුහුදු කොල්ලකරුවෙකු වීමේ වික්‍රමාන්විත, එහෙත් අභියෝගාත්මක ජීවන රටාව හොදින් අත්විඳින ලදී. 1716 දී ඔහු කපිතාන් බෙන්ජමින් හෝර්නිගෝල්ඩ්ගේ මුහුදු කොල්ලකරුවන්ගේ කාර්ය මණ්ඩලයට ආධුනික සාමාජිකයෙකු ලෙස එක් විය. එහිදී එඩ්වඩ් ඉක්මන් ඉගෙන ගන්නෙකු වූ අතර අණ ලැබේ දීම සඳහා හොඳ කුසලතාවක් ඇති බවට ප්‍රදර්ශනය කරන ලදී.
හෝර්නිගෝල්ඩ් එඩ්වඩ්ගේ මේ හැකියාව හොදින් හඳුනා ගත් අතර ඔහුව එඩ්වඩ්ව තම අණ දෙන නිලධාරියා ලෙස පත් කළේය. 1717 වන විට එඩ්වඩ් හෝර්නිගෝල්ඩ්ගේ මඟ පෙන්වීම යටතේ බොහෝ නැව් සාර්ථකව කෝල්ලකා අල්ලා ගත් අතර ඒ අනුව මුහුදු කොල්ලකරුවෙකු ලෙස ඔහුගේ ස්ථාවරය තවත් ශක්තිමත් විය.
1717 සැප්තැම්බරයේදී එඩ්වඩ්ට ඉඩම් හිමියෙකුව සිට පසුව මුහුදු කොල්ලකරුවෙකු බවට පත් වූ ස්ටෙඩි බොනෙට් නම් පුද්ගලයා හමු විය. සිදු වූ එක් ප්‍රහාරයකින් බොනෙට් ඒ වන විට දැඩි ලෙස තුවාල ලැබ සිටි අතර තාවකාලිකව ඔහුගේ කොල්ලකාර බළඇණිය වූ “The Revenge” හි පාලනය ඔහු එඩ්වඩ්ට ලබා දෙන ලදී. කාලයාගේ ඇවෑමෙන් හෝර්නිගෝල්ඩ්ගේ කාර්ය මණ්ඩලයද එඩ්වඩ් වෙත සමීප වූ අතර ඔවුන් හෝර්නිගෝල්ඩ්ට ඉල්ලා අස්වීමට බල කෙරුනි. ඒ අනුව එඩ්වඩ්, රිවන්ජ් සහ හෝර්නිගෝල්ඩ්ගේ මේරියන් යන කොල්ලකාර බලඇණි දෙකේම එකම අණ දෙන නිලධාරියා බවට පත්විය.
1717 නොවැම්බර් 28 වන දින එඩ්වඩ් ප්‍රංශ වහල් නැවක් (17 සිට 19 වන සියවස දක්වා වහලුන් ප්‍රවාහනය කිරීම සඳහා විශේෂයෙන් සාදන ලද හෝ පරිවර්තනය කරන ලද විශාල භාණ්ඩ ප්‍රවාහන නැවකි) වන 'ලා කොන්කෝඩ්' අල්ලා ගන්නා ලදී. ඔහු ඉන් අනතුරුව ලා කොන්කෝඩ් නෞකාව ඔහුගේ ප්‍රධානතම නෞකාව බවට පත් කරන ලදී. ඔහු එම නෞකාවේ කාලතුවක්කු 40ක් සවි කළ අතර, ඔහු කොල්ලකරුවෙක් වීමට ප්‍රථම සේවය කළ ඈන් රැජිනගේ නෞකාව සිහි වනු පිණිස එම නෞකාව "Queen Anne’s Revenge" ලෙස නම් කරන ලදී.
දෙසැම්බර් 5 වන දින එඩ්වඩ් විසින් කපිතාන් හෙන්රි බොස්ටොක්ගේ මාග්‍රට් නෞකාව අල්ලා ගත්තේය. ඔහු කපිතාන් හෙන්රි ප්‍රමුඛ කාර්ය මණ්ඩලය ටික කලක් වහල්භාවයේ තබා ගත් අතර කෙසේ වෙතත්, ඔහු පසුව ඔවුන් නිදහස් කළේය. හෙන්රි නැවත ශාන්ත කිට්ස් වෙත ගොස් මාග්‍රට් අල්ලා ගැනීම ගැන සවිස්තර වාර්තාවක් ආණ්ඩුකාර වෝල්ටර් හැමිල්ටන් වෙත ඉදිරිපත් කරන ලදී. ඔහු එහිදී එඩ්වඩ්ගේ රුදුරු බව පිළිබඳවද පැහැදිලි කරන ලදී. එහිදී ඔහු සදහන් කළේ ඔහුගේ රුදුරු පෙනුම සහ කෲර ක්‍රියා පිළිබඳවය.
1718 දී එඩ්වඩ් සාර්ථකව තවත් නෞකා රාශියක් අල්ලා ගැනීමට සමත් විය. 1718 මාර්තු මාසයේදී ඔහුගේ කැරිබියානු මුහුදු ගමනේදී තවත් නෞකාවක් වන 'ඇඩ්වෙන්චර්' අල්ලා ගත්තේය. ඔහු තවදුරටත් උතුරට හවානා දෙසටද පසුව ෆ්ලොරිඩා වෙරළ තීරයටද ගමන් කරමින් නෞකා කොල්ලකන ලදී.
1718 මැයි මාසයේදී බ්ලැක්බියර්ඩ් මුහුදු කොල්ලකරුවෙකු ලෙස සිය වෘත්තීය දිවියේ නිර්භීතම ක්‍රියාව සිදු කරන ලදී. ඔහු තම ප්‍රධාන යාත්‍රාව සහ තවත් යාත්‍රා තුනක් සමඟ ගොස් දකුණු කැරොලිනා හි චාල්ස්ටන් වෙත ගොඩ බැස චාල්ස්ටන් වරාය අවහිර කරන ලදී. බ්ලැක්බයර්ඩ් ඔහුගේ අවහිර කිරීමේ පළමු සතිය තුළ නැව් නවයක් කොල්ලකන ලදී. එම නැව් නවයේ කාර්ය මණ්ඩලය ප්‍රාණ ඇපයට තබාගෙන සිටි ඔහු සිය කාර්ය මණ්ඩලයට අවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබා දෙන ලෙස නගරයේ බලධාරීන්ට දැනුම් දෙන ලදී.
බලධාරින්ට එම ඉල්ලීම ඉටු කරනවා හැර කළ හැකි වෙනත් විකල්පයක් නොතිබුණි. ඔවුන් බ්ලැක්බයර්ඩ්ට වෛද්‍ය සැපයුම් ලබා දුන් අතර ඔහු පොරොන්දු වූ පරිදි සිරකරුවන් නිදහස් කළේය. බ්ලැක්බියර්ඩ් චාල්ස්ටන්හි නැවතී සිටි කාලය තුළදී ඔහුට අසන්නට ලැබුණේ එංගලන්තය මුහුදු කොල්ලකරුවන් කැරිබියන් දූපත් වලින් ඉවත් කිරීමට නියෝග ලබා දී ඇති බවය.
දකුණු කැරොලිනාවේ නෞකා කොල්ලකෑමෙන් පසු බ්ලැක්බියර්ඩ් සිය නෞකා අලුත්වැඩියා කිරීම සඳහා උතුරු කැරොලිනාවේ බියුෆෝර්ට් දෙසට ගමන් කළේය. මෙහිදී නොසිතූ ලෙස ඔහුගේ ප්‍රධාන නෞකාව වන Queen Anne’s Revenge වැලි කණ්ඩියක සිර වෙන ලදී. නෞකාව මුදා ගැනීමට මුළු කාර්ය මණ්ඩලයම මහත් සේ උත්සාහ කරත් සාර්ථක වූයේ නැත. කෙසේ වෙතත්, සමහර ඉතිහසඥයන් පවසන්නේ බ්ලැක්බයර්ඩ් යුධ නෞකාව වැලි කණ්ඩියේ සිර කළේ අරමුණක් ඇතිව බවයි. අනතුර සිදුවන අවස්ථාවේ උදව් ලබා ගැනීම සඳහා බ්ලැක්බයර්ඩ් තම කාර්ය මණ්ඩලයේ තිබූ තවත් නැවක් වන ඇඩ්වෙන්චර් යවා ඇත. අවාසනාවට ඇඩ්වෙන්චර් නැවත පැමිණියේ නැත. එය ඉංග්‍රීසි ජාතිකයින්ට හසු වූවා යැයි විශ්වාස කෙරේ.
1718 සැප්තැම්බර් 5 දිනට පෙර යටත් වූ ඕනෑම මුහුදු කොල්ලකරුවෙකු අපරාධවලින් නිදහස් වන බව එකල ප්‍රසිද්ධ කරන ලදී. ඒ අනුව බ්ලැක්බයර්ඩ්ට බියුෆෝර්ට් හි රැඳී සිටියදී රාජකීය සමාවක් ලැබුණි. චාල්සන් කොල්ලය සම්බන්ධයෙන් තමාට දඬුවම් ලැබෙනු ඇතැයි ඔහු දැන සිටි අතර, එබැවින් ඔහු කිසි විටෙකත් යටත් නොවීය. ඔහු උතුරු කැරොලිනා ආණ්ඩුකාර චාල්ස් ඊඩන් කෙරෙහි විශ්වාසය තැබූ අතර පරීක්ෂණයක් සදහා ඔහු විසින් පෙරදී අල්ලා ගත් බොනෙට් වෙත ඔහු යැවීය.
ඔහු පුදුමයට පත් කරමින්, බොනෙට් ඔහුගේ අපරාධවලට සමාව ලබා දුනි. මෙම තත්වය බ්ලැක්බයර්ඩ්ට නව බලාපොරොත්තුවේ කිරණක් ලබා දුන්නේය. ඔහු තම ධනයෙන් වැඩි ප්‍රමාණයක් රැගෙන, ඔහුගේ කාර්ය මණ්ඩලය අතහැර දැමීමෙන් පසුව 1719 ජුනි මාසයේදී බ්ලැක්බයර්ඩ් තම අපරාධ පිළිගෙන රාජකීය සමාවට යටත් විය.
කෙසේ වෙතත්, මුහුදු කොල්ලකරුවෙකු නොවී බ්ලැක්බයර්ඩ්ගේ ජීවිතය වැඩි කල් පැවතියේ නැත. ඔහු නැවත මුහුදු කොල්ලකෑම්වලට ගියේය. වර්ජිනියා ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් ස්පොට්ස්වුඩ් බ්ලැක්බයර්ඩ්ගේ ක්‍රියාකාරකම් ගැන සැලකිලිමත් වූ අතර ඔහුව අල්ලා ගැනීම සඳහා නැව් පිටත් කර හැරියේය.
අවසානයේ බ්‍රිතාන්‍ය ලුතිනන් රොබට් මේනාර්ඩ්ට බ්ලැක්බයර්ඩ් අල්ලා ගන්නා ලෙස නියෝග කළේය. මේනාර්ඩ් සිය සම්පූර්ණ සන්නද්ධ යාත්‍රා දෙක වන ජේන් සහ රේන්ජර් සමඟ මේ දරුණු මුහුදු කොල්ලකරු සොයා ගමන ආරම්භ කළේය. අවසානයේ මේනාර්ඩ්, ඔක්‍රකෝක් දූපත තුළ බ්ලාක්බියඩ්ගේ ඇඩ්වෙන්චර් නෞකාව තිබී හමු විය. ඔහු එක වර ප්‍රහාර එල්ල කොට බ්ලැක්බයර්ඩ් පුදුමයට පත් කරන ලදී.
දෙපිරිස අතර මහා සටනක් පැවති අතර අවසානයේ පස් වතාවක් වෙඩි තබා විසි වතාවක් පිහියෙන් ඇනීමෙන් පසුව බ්ලැක්බයර්ඩ් මිය ගියේය. ඔහුගේ කාර්යමණ්ඩලය යටත් විය. ඔහුගේ දිරාපත් වූ හිස පසුව අනෙකුත් කොල්ලකරුවන්ට තර්ජනයක් ලෙස වර්ජිනියාවේ හැම්ප්ටන් නගරයේ කණුවක එල්ලා තබන ලදී.
0 comments:
Post a Comment