ජර්මන් චාන්සලර් ඔටෝ වොන් බිස්මාර්ක්ගේ නමින් නම් කරන ලද මෙම යුධ නෞකාව සහ ඇගේ සහෝදර නෞකාව වන ටර්පිට්ස් නෞකාව එකල නාවික මෙහෙයුම් වලදී තීරණාත්මක සාධකයක් බවට පත් විය. එමෙන්ම අත්ලාන්තික් සාගරයේ බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ පැවැත්මට තිබූ විශාලතම තර්ජනයක් වීමටද මෙම නෞකාව සමත් විය. 1939 දී දියත් කරන විට එය ලෝකය එතෙක් දැක තිබූ බලවත්ම යුධ නෞකා වලින් එකක් විය. නිර්භය පාලකයකු ලෙස සැලකෙන වින්ස්ටන් චර්චිල් පවා බියෙන් සලිත කරවීමට සමත් වූ මේ ජර්මානු දැවැන්තයා පිළිබඳව සහ එහි අවසානය පිළිබඳව අද අප අවධානය යොමු කරමු.
වර්ෂ 1939 දී කපිතාන් ඔටෝ අර්න්ස්ට් ලින්ඩර්මන් යටතේ ගමන් ඇරඹූ බිස්මාර්ක් නෞකාව සම්පූර්ණ බර පටවන විට ටොන් 50,000 කට වඩා බරින් යුක්ත වේ. මිනිසුන් දෙදහසකට අධික සංඛ්‍යාවක් රැගෙන යාමට හැකියාවක් ඇයට තිබුණි. එය මිත්‍ර පාක්ෂිකයන් විසින් මුහුදේ දී දැක තිබූ විශාලතම සේනාංකය විය.
ඇය එවකට තිබූ සුවිශේෂී ආයුධ විශාල සංඛ්‍යාවකින් සන්නද්ධ නෞකාවක් වූ අතර එහි සන්නාහය මිලිමීටර් 320 ක වානේ වලින් යුක්ත වූ අතර තට්ටුව මිලිමීටර් 100 සිට 120 දක්වා විය. සැබැවින්ම මෙය 30Knots වේගයෙන් මුහුදේ ගමන් ගන්නා පාවෙන ජර්මානු බංකරයක් විය. එක් කුලුනක සෙන්ටිමීටර් 38 (අඟල් 15) ක තුවක්කු දෙකක් සහිත, කුළුණු හතරක් සතු වූ බිස්මාර්ක් එකල මුහුදේ නතර කළ නොහැකි රාක්ෂයෙක් විය. මීටර 1.7 ක් දිග කිලෝ 800 ක් බරැති ෂෙල් වෙඩි සැතපුම් 21 ක් (කි.මී. 33) දක්වා පියාසර කිරීමේ හැකියාවක් මෙම තුවක්කු සතු වූ අතර ඉන් අදහස් වන්නේ සතුරා තමාව දැකීමටත් පෙර අදාල ඉලක්කයට පහර දීමට ඇයට ඇති හැකියාවයි.
බිස්මාර්ක් දියත් කළ මොහොතේ සිටම එය අත්ලාන්තික් සාගරයේ නතර කළ නොහැකි බලවේගයක් ලෙස මිත්‍ර පාක්ෂිකයන් හඳුනා ගත් අතර එම නිසා මිත්‍ර පාර්ශවයේ ඔත්තුකරුවන් සහ ගුවන් යානා විසින් නිරන්තරයෙන් ඒ පිළිබඳ පරීක්ෂාවෙන් සිටින ලදී. එමෙන්ම ඔවුන් බිස්මාර්ක් සිදු කළ සෑම පියවරක්ම ලේඛනගත කර බවද සදහන් වේ.
එහෙත් බිස්මාර්ක් නෞකාවේ ඉලක්කය වූයේ යුධ නෞකා පමණක්ම නොවේ. බ්‍රිතාන්‍ය ප්‍රමුඛ යුරෝපා ආර්ථිකයට ඒ වන විට කිසිදු සැපයුමක් පිටතින් පැමිණියේ නැත. ඔවුන්ගේ එකම ජීවන මාර්ගය වූයේ අත්ලාන්තික් සාගරය හරහා පැමිණෙන ඇමරිකානු යාත්‍රා වලින් රැගෙන එන සැපයුම් ය. ඔවුන්ගේ සැළැස්ම වූයේ ඩෙන්මාර්කය හරහා එක්සත් රාජධානිය හා අයිස්ලන්තය පසු කර කෙළින්ම යාත්‍රා කිරීමයි. එමගින් ඔවුන්ට යාත්‍රා කරන බ්‍රිතාන්‍ය සැපයුම් මාර්ග බොහොමයක් විනාශ කිරීමට හැකි විය. මෙම නිසා බ්‍රිතාන්‍යයන්ට ලැබෙන සැපයුම් ඉතාමත් සීමා සහිත විය.
මේ හේතුව නිසා බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අත්ලාන්තික් සාගරයේ පාලනය සියතට ගැනීමට අවශ්‍ය විය. මේ සදහා බ්‍රිතාන්‍ය නාවික හමුදාව "ප්‍රින්ස් වේල්ස්" නම් යුධ නෞකාව සහ රාජකීය නාවික හමුදාවේ අභිමානය ලෙස එකල හැඳින්වූ “එච්.එම්.එස්. හුඩ්” යන නෞකා අත්ලාන්තික් සාගරයට පිටත් කර යවන ලදී.
මැයි 24 වන දින ජර්මානු ඔත්තු බලන නෞකාවකට වයිස් අද්මිරාල් ඕලන්ඩ්ගේ අණ යටතේ ගමන් ගන්නා මෙම බ්‍රිතාන්‍ය නෞකා ද්විත්වය දර්ශනය විය. අදාල පරාසයට පැමිණි පසු හුඩ් නෞකාව විසින් ඇගේ අඟල් 15 (මි.මී. 381) තුවක්කු වලින් බිස්මාර්ක් යැයි විශ්වාස කළ නෞකාවට ප්‍රහාරයක් එල්ල කරන ලදී. එහෙත් සැබැවින්ම එම නෞකාව බිස්මාර්ක් නොව බිස්මාර්ක්හි සහෝදර යාත්‍රාක් වූ ප්‍රින්ස් ඉයුජන් විය. නමුත් එම වෙලාවේදීම අනෙක් බ්‍රිතාන්‍ය නෞකාව වූ ප්‍රින්ස් වේල්ස්, බිස්මාර්ක් වෙත නිවැරදිව වෙඩි තැබීමට සමත් විය.
එහිදී ඇති වූ මහා සටනින් අනතුරුව බිස්මාර්ක් විසින් එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරයක් හුඩ්හි පතුරම් ගබඩා කර තිබූ මැදිරියකට වැදුනු අතර එය සමග විශාල පිපිරීමක් සිදු විය. එම පිපිරීමත් සමග හුඩ් නෞකාව දෙකට කැඩී යන ලදී. වසර විස්සකට වඩා වැඩි සේවා කාලයකින් පසු, බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ අභිමානය වූ බලවත් හුඩ් නෞකාව දෙකට කැඩී විනාඩි තුනක් වැනි කෙටි කාලයකින් සිය කාර්ය මණ්ඩලයේ 1,418 දෙනාද සමගම මුහුදු පතුල සිප ගන්නා ලදී. ඉන් දිවි ගලවා ගැනීමට සමත් වූයේ තිදෙනෙක් පමණි.
දිවි ගලවා ගැනීමට සමත් වූ අනෙක් බ්‍රිතාන්‍ය නෞකාව වූ ප්‍රින්ස් වේල්ස් නෞකාව මේ මහා විනාශය පිළිබද බ්‍රිතාන්‍යයට වාර්තා කරන ලදී. ඔවුන්ගේ රාජකීය නාවික හමුදාවේ අභිමානය ගිලී ගොස් ඇත. මුළු මහත් බ්‍රිතාන්‍යයම එම පුවතෙන් කම්පා විය. චර්චිල් විසින් ඒ ඓතිහාසික නියෝගය ලබා දුන්නේ එම අවස්ථාවේදීය. “බිස්මාර්ක් ගිල්වනු" (Sink the Bismarck).
මේ නියෝගයත් සමගම රාජකීය හමුදා වේගයෙන් එක් රැස් වූ අතර බිස්මාර්ක් සොයා ගැනීම සඳහා ගුවන් යානා පිටත් කර යවන ලදී. නමුත් නොසිතූ දෙයක් සිදු විය. ඒ මොහොත වන විට සිදු වූ සටන නිසා බිස්මාර්ක් නෞකාවේ විශාල තෙල් කාන්දුවීමක් සිදු විය. මෙය සැබැවින්ම ඔවුන්ට විශාල අවාසියක් වූ අතර මෙම තෙල් පාරවල් ඔස්සේ ගුවන් යානා වලට පහසුවෙන් නෞකාව සොයා ගැනීමට හැකි විය. ඒ අනුව අලුත්වැඩියා කටයුතු සඳහා බිස්මාර්ක් නැවත ප්‍රංශයේ නාසි කදවුරු වෙත පැමිණීමට තීරණය කළ අතර ප්‍රින්ස් ඉයුජන් නෞකාව අත්ලාන්තික් සාගරයට යෑමට තීරණය කරන ලදී.
කෙසේ වෙතත් අවසානයේ මැයි 26 වන දින මිත්‍ර පාර්ශවයේ නෞකාවකට බිස්මාර්ක්හි තෙල් ගතිය සහ නැව ගිබ්‍රෝල්ටාර්ට උතුරින් ගමන් කරන ආකාරය හඳුනා ගැනීමට සමත් විය. එහෙත් මෙම නෞකාවට ප්‍රංශ වරායට පැමිණීමට පෙර බිස්මාර්ක් අල්ලා ගැනීමට නොහැකි තරම් ඈතින් එම නැව පිහිටා තිබුණි. එබැවින් ඔවුන් මධ්‍යධරණී මුහුදේ සිට “ෆෝර්ස් එච්” නමින් බලකායක් යවන ලදි. මෙම නැව්වලින් එකක් වූයේ එච්එම්එස් ආර්ක් රෝයල් ය. එය පැරණි ප්‍රහාරක ගුවන් යානා කිහිපයකින්ද සමන්විත විය.
බිස්මාර්ක් මදක් විනාශ වී තිබූ නමුත් තවමත් එය 28Knots පමණ වේගයෙන් ගමන් ගත් අතර එයින් අදහස් වන්නේ එය අල්ලා ගැනීම අපහසු වනු ඇති බවයි. මේ නිසා එච්.එම්.එස්. ආර්ක් රෝයල් ගුවන් යානා නෞකාවේ කපිතාන් තීරණය කළේ බිස්මාර්ක් පසුපස තම ගුවන් යානා යැවීමට ය. එමගින් එහි වේගය අඩාල කර ගැනීම ඔහුගේ අරමුණ විය.
බිස්මාර්ක් යනු ජර්මනිය විසින් නිපදවන ලද නවීනතම යුධ නෞකාවයි. එහි අර්ථය වන්නේ වේගයෙන් වෙඩි තැබිය හැකි ගුවන් යානා නාශක අවි ආයුධ රාශියක් එහි නිර්මාණය කර තිබීමයි. එබැවින් එයට ගුවනේ සිට ප්‍රහාර එල්ල කිරීම ඉතා අපහසු විය. එමෙන්ම මෙම ගුවන් යානා ද ඉතා පැරණි මන්දගාමී ඒවා විය.
මේ නිසා බ්‍රිතාන්‍ය නාවික හමුදාවද සිතුවේ බිස්මාර්ක් මෙම ගුවන් යානා විනාශ කොට ආරක්ෂිතව ප්‍රංශ වරායට ලඟා වනු ඇති බවයි. එහෙත් නොසිතූ දෙයක් සිදු විය. මැයි 26 වන දින රාත්‍රියේ බිස්මාර්ක් වෙත ළඟා වූ මෙම යානා පහර දීම අරඹන ලදී.
මෙම ප්‍රහාර වලින් එතරම් හානියක් නෞකාවට සිදු කිරීමට නොහැකි වුවත් අවාසනාව තිබුණේ ජර්මානුවන් පැත්තේය. නොසිතූ විරූ ලෙස එක් ගුවන් ප්‍රහාරයක් නෞකාව පාලනය කරන ස්ථානයට වැදුනු අතර එමගින් නෞකාව පාලනය කර ගැනීමට නොහැකි විය. ඒ අනුව තව දුරටත් නෞකාව ආරක්ෂිතව ධාවනය කිරීමට නොහැකි වූ අතර අද්මිරාල් ලුට්ජන්ස් ළඟම ඇති ජර්මානු කඳවුරට පණිවුඩයක් යොමු කරන ලදී. ඉන් කියැවුණේ "නැව තවදුරටත් පාලනය කළ නොහැක. අප අන්තිම උණ්ඩය දක්වා සටන් කරන්නෙමු. නායකයා දිගු කල් වැජඹේවා" ලෙසය.
අවසානයේදී මැයි 27 වන දින වන විට රාජකීය නාවික හමුදාවට ගමන් කිරීමට නොහැකි වී තිබූ බිස්මාර්ක් නෞකාව අසලට ලඟා වීමට හැකි විය. ඔවුන් නෞකාව වටකොට සෑම පැත්තකින්ම ශෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ අතර පැය කිහිපයක් සටන පැවතුණි. අවසානයේ කිංග් ජෝර්ජ් නෞකාව එල්ල කළ ප්‍රහාරයෙන් බිස්මාර්ක් ගිලී යන ලදී.
එච්. එම්.එස්.හුඩ් |
බිස්මාර්ක් හුඩ් වෙත වෙඩි තබමින් |
හුඩ් නෞකාව පුපුරා යමින් |
එච්එම්එස් ආර්ක් රෝයල් ප්‍රහාරක යානා සමග |
එච්.එම්.එස්. කිංග් ජෝර්ජ් නෞකාව |
0 comments:
Post a Comment