මව්බස දන්නෝ රස හඳුනන්නෝ
භාෂාමය හා සංස්කෘතික විවිධත්වය සහ බහු භාෂා භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා පෙබරවාරී මස 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය ලෙස, 2000 වර්ෂයේ සිට සෑම වසරකම සැමරේ.
ලෝවැසියන් විසින් භාවිත සියලු භාෂා සංරක්ෂණය හා ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව සැමරෙන ජාත්‍යන්තර මව් භාෂා දිනය 2016 වර්ෂයේ "ගුණාත්මක අධ්‍යාපනය, භාෂාමය උපදෙස් හා ඉගෙනුම් ප්‍රතිඵල (Quality education, language(s) of instruction and learning outcomes" යන තේමාව මුල් කොට ගනිමින් ක්‍රියාත්මක වේ.
මව් භාෂාව, තමන්ට උපතින් හිමි වන භාෂාව, එසේත් නැතිනම් උපතේ සිට තීරණාත්මක කාලයක් තුළ මුලින්ම ඉගෙනගන්නා භාෂාව වශයෙන් සරලව අර්ථගන්වාගත හැක.
යුනෙස්කෝ සංවිධානය ජාත්‍යන්තර දින සහ වර්ෂ නම් කිරීමේ දී මානව ක්‍රියාකාරීත්වය අහිතකර ලෙස බලපා කිසියම් අර්බුදයකට ලක්ව ඇති ක්‍ෂේත්‍රයන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන බව පෙනී යන බැවින් පෙබරවාරී මස 21, ජාත්‍යන්තර මව් භාෂා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට යම් සහේතුක කරුණු පවතින බව පසක් වේ.
වර්තමාන බංග්ලාදේශය, බෙංගාලය හෙවත් නැගෙනහිර පකිස්ථානය නමින් වර්තමාන පකිස්ථානය යටතේ පාලනය වූ සමයේ තම රටේ ජාතික භාෂාව තම මව් භාෂාව වන බෙංගාලි භාෂාව විය යුතු යයි බෙංගාල ජාතිකයින් සටනක් ඇරඹීය. පකිස්ථානු රජය තම මව් භාෂාව වන උර්දු භාෂාව බෙංගාලයේ ද ජාතික බස විය යුතු බව යෝජනා කිරීමට එරෙහිව බෙංගාල ජාතිකයන් විරෝධතා එල්ල කරන්නට විය. එම විරෝධතා උද්ඝෝෂණයකදී බෙංගාල විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හතර දෙනෙකු වර්තමාන ඩකා අගනුවර ප්‍රදේශයේ දී පොලීසිය විසින් වෙඩි තබා ජීවිතක්ෂයට පත්කරනු ලැබීය. එම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඝාතනය වූ 1952 පෙබරවාරි 21 දිනය සිහිපත් කරමින් සෑම වර්ෂයක් පාසා එම දිනය ජාතන්තර මව් භාෂා දිනය වශයෙන් යුනෙස්කෝ සංවිධානය සැමරීමට සැලැස් වීය.
යුනෙස්කෝ සංවිධානය විසින් 1999 නොවැම්බර් මස 17 වැනිදා නිල වශයෙන් ජාත්‍යන්තර භාෂා දිනය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව 2000 වර්ෂයේ සිට රටවල් 188 ක් ජාත්‍යන්තර මව් භාෂා දිනය සමරති.
වර්තමාන ලෝකයේ ව්‍යවහාරිත භාෂා පිළිබඳ සිදුකරන ලද පර්යේෂණයක දී දැනට ලෝකයේ පිළිගත් භාෂා 6912ක් ව්‍යවහාර වන බව හඳුනාගෙන තිබේ. එයින් භාෂා දහයක් පමණ වචන නොමැතිව සංඥා භාෂාවන් ය.
දැනට ව්‍යවහාර වන භාෂා අතුරින් 50%කට වඩා වැඩි භාෂා ගණනක් ව්‍යවහාරයෙන් ඉවත්ව මළ භාෂා ලැයිස්තුවට එක්වීමේ අවදානමක් පවතී. වඩාත් භයානකම කරුණ වන්නේ මෙම භාෂා අතුරින් එක් භාෂාවක් සෑම සති දෙකක් තුළම ලොවට අහිමි වීමයි.
මරියා ස්මිත් ජෝන්ස් ඇමෙරිකාවේ ජීවත් වූ ආදිවාසි ගෝත්‍රයකට අයත් කාන්තාවකි. වසර 89 ජීවත් වූ ඇය 2008 වර්ෂයේ ජනවාරී 21 මරණයට පතවීමත් සමඟ “එයික්” නැමති භාෂාව මළ භාෂා ලැයිස්තුවට එක් වූයේ එතෙක් ලොව ජීවත් වූ එයික් භාෂාව ව්‍යවහාර කළ අවසාන පුද්ගලයා ඇය නිසාවෙනි. ඇයගේ අවසාන කාලයේ දී ඇය ස්වෝත්සාහයෙන් එයික් භාෂාවෙන් ශබ්ද කෝෂයක් ලියා නිම කළාය. 2008 වර්ෂය ජාත්‍යන්තර භාෂා වර්ෂය ලෙස නම් කිරීම ඇයගේ මහඟු කාර්යයට කරන ලද ගෞරව දැක්වීමක් මෙන් විය.
ලෝකයේ වැඩියෙන්ම කථා කරන භාෂාව "චීන භාෂාව (මැන්ඩරින්)" බව දන්නෝ අතලොස්සකි. දෙවන ස්ථානය ස්පාඤ්ඤ භාෂාවට හිමි වන අතර ඉංග්‍රීසි භාෂාව තුන්වැනි ස්ථානයේ පසුවෙයි. දෙමළ භාෂාව විසිවෙනි ස්ථානයේ පසුවන අතර සිංහල භාෂාවට හිමි වන්නේ 62 ස්ථානය වීම කණගාටුවට කරුණකි.
14 වැනි ශත වර්ෂය තෙක් ප්‍රංශ භාෂාව ලෝකයේ උසස් කොට සලකනු ලැබීය. නමුත් වර්තමාන ලෝකයේ වඩාත් ජනප්‍රිය භාෂාව වන්‍නේ ඉංග්‍රීසි භාෂාවයි. ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර තලයට ඉහළ නැංවීමට ඉංග්‍රීසීයෙන් මුද්‍රණය හා කථනය දියුණු කිරීම මෙන්ම විලියම් ශේක්ෂ්පියර් රචනා කළ නව ආරයේ වදන් ද බෙහෙවින් උපකාරී වී තිබේ.
දේව භාෂාව වශයෙන් සැලකීමට පටන් ගැනීම සංස්කෘත භාෂාවේ විනාශයට හේතු වූ බව ඉන්දියානු භාෂා විශාරදයන් පෙන්වා දෙයි. අනෙකුත් භාෂාවල වචන ආදරයෙන් වැළඳ ගැනීමෙන් ඉංග්‍රීසි භාෂාව වේගයෙන් පෝෂණය විය. ලොව පුරා මිලියන 400ක් පමණ ජනතාවගේ මව් බස වශයෙන් සැලකෙන ඉංග්‍රීසි භාෂාවේ වෙනත් භාෂා 146කින් ලබාගත් වචන මිලියනයකට වඩා පවතී.
භාෂාවක වර්ධනය ලේඛනයට වඩා කථනයේ රැඳී පවතී. කථා නොකරන භාෂාව සීඝ්‍රයෙන් විනාශයට පත්වෙයි. ලොව ව්‍යවහාර වන භාෂා අතරින් 90%ක් තරම් අති බහුතර භාෂා ප්‍රමාණයක් ව්‍යවහාර කරන්නේ සමස්ථ ලෝක ජනගහනයෙන් 4%ක් තරම් වූ ඉතා සුළු ප්‍රතිශතයකි. ජාත්‍යන්තර භාෂා දිනය සැමරෙනුයේ විශ්ව භාෂාවන් අද මුහුණ පා ඇති අභියෝග හදුනාගෙන ඊට විසදුම් සැපයීමේ අරමුණිනි.
භාෂාවන් මිහිපිටින් තුරන් වීමේ අවදානම මූලික වශයෙන් ගෝලීයකරණයේ අනිසි ප්‍රතිඵලයකි. ගෝලීයකරණය තුළ සිංහල භාෂාව ද අභියෝගයට ලක්වීම නොරහසකි. සිංහල භාෂාව වඳ වී යන භාෂාවක් බවට පත් වී ඇති බව මහාචාර්ය මාලනි ඈඳගම මහත්මිය වරක් ප්‍රකාශ කළා ය. අද ශ්‍රී ලංකාවේ කුඩා ළමයාගේ සිට ඉංග්‍රීසි සඳහා සිදුවන සීඝ්‍ර සමාජ පරිවර්තනය විසින් සිංහල භාෂාවේ ඉදිරි වර්ධන වේගය අඩාල කරමින් තිබේ.
මෙරට අධ්‍යාපනය සීඝ්‍රයෙන් ඉංග්‍රීසි මාධ්‍යකරණය වීම විශ්වවිද්‍යාලවල සිට පෙර පාසැලට ද අන්තර්ගහණය වී ඇත්‍තේ ළමයෙකුට මූලික අධ්‍යාපනය තම මව් බසින් ලබා දිය යුතුය යන මනෝවිද්‍යාත්මක සංකල්පය ද බැහැර කරමිනි. මේ ඔස්සේ සිංහල භාෂාව දිනෙන් දින අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙන් බැහැර වෙමින් පවතී.
සිංහල සමාජයේ වාග් කෝෂය වේගයෙන් පටු වන බව පෙනී යයි. සිංහල භාෂාව සතුව විශාල වචන මාලාවක් පැවතිය ද දිනෙන් දින බොහෝ වචන භාවිතයෙන් ඉවත් වෙයි. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාව 10%කි. එම පිරිස මෙරට බුද්ධිමතුන් හා උගතුන් බහුතරයයි. රටේ දැනුම බෙදා හැරීමේ ආධිපත්‍යය දරන, නව දැනුම සමග ගනුදෙනු කරන මේ පිරිස් එකී දැනුමට සිංහල භාෂාව විවෘත නොකිරීම නිසා සිංහල භාෂාවේ උපයෝගීතාව හීන වෙමින් පවතී. අලුත් සංකල්ප ඒ හා ස්පර්ශ නොවන විට නව වදන් බිහි නොවීම තුළ භාෂාවේ වර්ධනය ද පසු බසී.
භාෂා පරිහානියට සමාජීය වශයෙන් බලපෑම් සිදුවන අතරම මධ්‍ය විසින් ද භාෂාව විශාල වශයෙන් අවභාවිතයේ යොදවයි. ඉංග්‍රීසි සිංහල මිශ්‍ර භාෂා භාවිතය, වැරදි ව්‍යවහාර, වියරණ රීති බිඳීම මෙහිලා ප්‍රමුඛය.
භාෂාව, අපගේ ස්පර්ශීය සහ අස්පර්ශීය උරුමය සංරක්ෂණය හා සංවර්ධනය කිරීමේ ඉතා බලගතු උපකරණයයි. ලෝකයම සිය මව් භාෂාව සමරන අද දින හෝ සිංහලයා, සිංහල භාෂාවේ පරිහානියට එරෙහිව ක්‍රියාත්මක වන්නේ නම් අපගේ අනාගත පරපුර ද සිංහල භාෂාවේ ඔද තෙද විඳීමට තරම් භාග්‍යවන්ත වනු ඇත.
සැකසුම- ගංගා වනසිංහ
0 comments:
Post a Comment