🌿 මෙය කැටකාල, කැටැකෑල යනුවෙන්ද හඳුන්වන මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාකයකි. ඇතැම් ශාකවල කඳෙහි පොළවට ආසන්නව තියුණු නොවන කටු දැකගත හැකිය. ඇතැම් විට ගස කුඩා කාලයේ දී පැවති කටු පරිනතියත් සමඟ අභාවයට යයි.
🌿 වෛද්‍ය ප්‍රදීප් සුරංග මහතාට අනුව කටු සහිත වර්ගය කටු කෑල ලෙසත් කටු රහිත වර්ගය කැටකෑල ලෙසත් ප්‍රභේද හෝ විශේෂ දෙකක් හඳුනාගත හැකිය.
🌿 පොත්ත ළා කහ-අළු පැහැතිය. මලකඩ වැනි බූවක් ළපටි ශාඛා මතුපිට දැකගත හැකිය.
🌿 සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර මතුපිට දීප්තිමත් කොළ පැහැති වන අතර යටි පැත්තෙහි සුදු පැහැති සියුම් බූවක් ඇත පතනශීලී පුෂ්ප ක්‍රමවත්, ඒකලිංගික කොළ පැහැ මිශ්‍ර රතු හා දම් මඬලකි.
🌿 මල් පිපීම ජූනි, ජූලි මාස වලදී සිදුවේ.
🌿 ඵලය අෂ්ටිලයකි.පොකුරු වශයෙන් දක්නට ලැබෙන කහ පැහැති ගෙඩි ඉදුනු පසු රෝස පැහැයක් ගනී. පැණිරස මුසු කසට රසයෙන් යුත් ඉදුණු ගෙඩි කෑමට ගත හැකිය.
🌿 දැවමය වටිනාකමක්ද සහිත කැටකෑල ශාකය Phyllanthaceae කුලයට අයත් ය.
🌿 කැටකෑල පොතු සහ කොළ දේශීය වෙදකමෙහි, විශේෂයෙන් කැඩුම් බිඳුම් හා ගෙඩි වණ වෙදකමේ බහුලව භාවිතා කරනු ලැබේ.
🌿 භග්න චිකිත්සාවෙහි අස්ථි සංධානය සඳහා බෙහෙවින් උපයෝගී කරගන්නේ කැටකෑල පොතුය. ඒ කසට හා ස්ථම්භන ගුණයෙන් යුක්ත බැවිනි.
🌿 කැඩුණු ඇට සන්ධි ගන්වා කැටකෑල පොතු තබා බැඳීමෙන් ඇට පෑහිම හෙවත් අස්ථි සන්ධානය වහා සිදුවේ.කැටකෑල පොතු, මුල්, කොළ සමඟ අමුකහ සහ ලුණු දමා කොටා තලතෙලින් මළවා බැඳීමෙන් බිඳී ගිය අස්ථි ඉක්මනින් පෑහීම සිදුවේ.
🌿 සන්ධි වූ තැන කටු සවිවීමට කැටකෑල පොතු, කහට පොතු, හික් පොතු, මාදං පොතු සහ කඩොල් පොතු යුෂට පොල් පැණි දමා පත්තු සිඳ ආලේප කරයි.
🌿 කැටකෑල පොතු, කෑලිය පොතු, කඩොල් පොතු, දෙමට පොතු, පලු පොතු, තරණ දලු කොටා මිරිකා යුෂ ගෙන පැණි සිඳ ආලේප කිරීම සන්ධි පැනීමෙදී සිදුකරන ප්‍රතිකාරයකි.
🌿 එමෙන්ම කුෂ්ඨ රෝග, රතගාය, ගඩු, අභිඝාත, ආදියට ප්‍රතිකාර කිරීමේදීද කැටකෑල පොතු භාවිතා කරයි. කුෂ්ඨ රෝගවලදීකැටකෑල දලු අඹරා ආලේප කිරීම සිදු කරයි.
🌿 වැටීම් තැලීම් ආදියේදී ඉලයේ ඇතිවන වේදනා වලදී බටහිර පැත්තේ පොත්තක් පහලට ගලවා යුෂ ගෙන කකරා පැණි පදමට ගෙන ශරීර ඌෂ්ණත්වයට පමණ ගෙන ආලේප කිරීම ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක් බව සඳහන් වේ.
🌿 රතගායට කැටකෑල පොතු, කැකුණ පොතු, මදටිය පොතු, රම්මානිස්ස කොළ පැන් සිඳ හීනටි බත් අඹරා ආලේප කිරීම, ගඩුවලට කැටකෑල පොතු, කැබැල්ල පොතු කොටා යුෂ ගෙන පැණි සිඳ ගඩුවල ආලේප කිරීම ආදී ප්‍රතිකාර රාශියක් සඳහා කැටකෑල දේශීය වෙදකමේදී භාවිතයට ගැනේ.
මූලාශ්‍ර ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක, ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති
0 comments:
Post a Comment