2018 දී චැඩ්වික් බොස්මන් සහ ලුපිටා නියොන්ගෝ රඟපෑ ජනප්‍රිය මාර්වල් චිත්‍රපටයක් වන බ්ලැක් පැන්තර් ඔබ බොහෝ දෙනෙකු නරඹා ඇති බවට නොරහසකි. මෙම චිත්‍රපටයෙදී අපට හමු වන ඩෝරා මිලාජ්(Dora Milaje) නමින් හැඳින්වෙන ප්‍රභූ කාන්තා ආරක්ෂක කණ්ඩායම වෙත බොහෝ ප්‍රේක්ෂකයින් ආකර්ශනය විය. අප්‍රිකාවේ පිහිටා ඇති වකන්ඩා නම් ප්‍රබන්ධ රාජධානියේ රජු ආරක්ෂා කිරීමට දිවුරුම් දුන් ඩෝරා මිලාජ් ලෙස හැඳින්වෙන මොවුන් ඉතා දක්ෂ රණශූරියන් පිරිසකි. එහෙත් මෙවැනි පිරිසක් සැබෑ ලෙසම අතීතයේ ජීවත් වූ බව පැවසූව හොත් ඔබ ඉමහත් පුදුමයට පත් වනු නොවනුමානය. අද අප කතා කරන්නේ ඒ ආකාරයේ සැබෑ රණශූරියන් පිරිසක් ගැනය.
19 වන ශතවර්ෂයේ අගභාගයේදී ප්‍රංශ යටත් විජිතවාදීන් බටහිර අප්‍රිකානු රාජධානියක් වන ඩහෝමි අත්පත් කර ගැනීමට උත්සාහ කළ විට, දහස් ගණනක් වූ නිර්භීත කාන්තා රණශූරියන්ගෙන් යුත් කණ්ඩායමක් වන "ඩහෝමි ඇමසන්ස්"(Dahomey Amazons) වෙතින් ඔවුන්ට දැඩි ප්‍රතිප්‍රහාර එල්ල විය. අනුකම්පා විරහිත ඝාතකයින් ලෙස පුහුණුව ලැබූ මොවුන් 19 වන සියවසේ යටත් විජිතවාදීන්ගේ හදවත් තුළට බිය ජනිත කළේය. නමුත් අවසානයේදී ඔවුන් පරාජයට පත් වුවද, දිවි ගලවා ගත් සමහර අය ඉන් පසුවද ඔවුන්ගේ පළිගැනීම සිදු කරන ලදී.
ඔවුන් සියලු දෙනා තම රජු සමඟ විවාහ වී සිටියද, තම ජීවිතය යුද්ධයට කැප කළ අතර කිසි විටෙකත් දරුවන් බිහි නොකරන බවට ප්‍රතිඥ දුන්හ. ඔවුන් සමහරක් රයිෆල් වලින් සන්නද්ධව සිටි අතර සහ අනෙක් අය “රීපර්ස්” නැමති සතුරෙකු අඩකින් කපා දැමිය හැකි තියුණු තල වලින් සන්නද්ධව සිටියහ. එක් ප්‍රංශ සොල්දාදුවෙකුට අනුව, ඩහෝමි ඇමසන්වරුන් යනු අතිශයින්ම ධෛර්යයෙන් යුතුව සටන් කරන, අනෙක් සෙබළුන්ට වඩා සැමවිටම ඉදිරියෙන් සිටින රණශූරයන් වන අතර, කැපී පෙනෙන නිර්භීත බවින් යුතු සටන් සඳහා මනා පුහුණුවක් ඇති සහ ඉතා විනයගරුක කණ්ඩායමක් විය.
17 වන සියවසේ සිට 1904 දක්වා බටහිර අප්‍රිකානු ඩහෝමි රාජධානිය, බෙනින් ජනරජය ලෙස හැඳින්වෙන පුළුල් ප්‍රදේශයක් පාලනය කළේය. යුද ජයග්‍රහණ, වහල්සේවය සහ යුරෝපීයයන් සමඟ ජාත්‍යන්තර වෙළඳාම මත ගොඩනැඟුණු පොහොසත් ආර්ථිකයක් මේ රාජධානියේ දක්නට ලැබුණි. එමෙන්ම එය මධ්‍යගත රාජාණ්ඩුවක් වටා සංවිධානය වූ සංකීර්ණ බදු ක්‍රමයක් ක්‍රියාත්මක වූ සහ දැවැන්ත හමුදාවක් ද තිබූ රාජධානියක් විය.
මිනෝ නොහොත් “මව්වරුන්” ලෙස හෝ “රජුගේ භාර්යාවන්” ලෙස ඔවුන්ගේම ජනතාව අතර හැඳින්වෙන මෙම කාන්තා සොල්දාදුවන් 3,000 කගේ හමුදාව සියවස් ගණනාවක් පුරා ඩහෝමි රාජධානිය ආරක්ෂා කළේය. ඇතැම් විශාරදයන් පවසන්නේ මේ ප්‍රභූ රණශූරයන් ඩහෝමි රාජධානියේ මුල් කාලයේ සිටම පැවති බවයි. රජතුමා තම “තුන්වන පන්තියේ” භාර්යාවන්ගෙන් හෝ ඔහු එතරම් ආකර්ශනය නොවූ කාන්තාවන් මෙම ආරක්ෂකයින් ලෙස බඳවා ගත්තේය.
මෙම කාන්තා ආරක්ෂකයින් පිරිමි සොල්දාදුවන්ට වඩා වාසියක් රජුට ලබා දුන්නේය. එනම් ඔවුන් රජු සමඟ විවාහ වී සිටි බැවින් ඔවුන්ගේ පක්ෂපාතිත්වය සහතික විය. සාම්ප්‍රදායිකව මිනිසුන්ට රාත්‍රී කාලයේ ඇතුළුවීමට තහනම් මාලිගාවේ ප්‍රදේශ වල පවා ඔවුන්ට මුර සංචාරයේ යෙදීමට ද හැකි විය.
19 වන ශතවර්ෂයේ මැද භාගය වන විට, ඩහෝමි ඇමසන්වරු රාජධානියේ හමුදාවෙන් සියයට 40 ක් පමණ සිටි බව වාර්තා වේ. බළකා කිහිපයකට බෙදී සිටි ඇමසන්වරුන් අතර දඩයම්කරුවන්, රයිෆල් කාන්තාවන්,කඩු වලින් සන්නද්ධ කාන්තාවන්, දුනුවායන් සහ තුවක්කුකරුවන්ද ඇතුළත් වූ බව කියැවේ. එමසෑම බළකායකටම තමන්ගේම කාන්තා අණ දෙන නිලධාරීන්, නිල ඇඳුම්, ආයුධ සහ සම්ප්‍රදායන් තිබුණි.
රජු හා විවාහ වීමෙන් පමණක් ඩහෝමි හි කාන්තාවන් මේ රණශූර ඒකකයට ඉබේම සුදුසුකම් ලැබුවේ නැත. මලල ක්‍රීඩා දක්ෂතා හා ඉතා කටුක පුහුණුවක් දක්වා වූ පරීක්ෂණ මාලාවක් ද ඔවුන්ට සමත් වීමට සිදු විය. මෙහි සිදු වූ පරීක්ෂණ වලට උදාහරණයක් ලෙස ඔවුන්ට බේරී සිටිය හැකිදැයි බැලීමට කිසිදු ආයුදයක් හෝ කෑමක් නොමැතිව බඳවා ගත් අය වනාන්තරය මැදට යවන ලදි. නමුත් වඩාත්ම ම්ලේච්ඡ පරීක්ෂණ සිදු වූයේ ඔවුන්ගේ “සංවේදීතා පුහුණුව” තුළ ය. බොහෝ බඳවා ගත් අය හමුදාවට බැඳීමට පෙර කිසි දිනෙක ඝාතනයක් සිදු කර නොතිබූ බැවින් ගෙසෝ රජුට අවශ්‍ය වූයේ තම රණශූරයින්ට කියා යුද සිරකරුවන් ඝාතනය කරවීම මගින් ඔවුන්ගේ හැකියාවන් මැන බැලීමටය. එක් පරීක්ෂණයකදී, සිරකරුවන්ව උස වේදිකාවකින් පහළට විසි කරන ලෙස කාන්තාවන්ට නියම කරන ලදී. තවත් බඳවා ගත් අයට ඔවුන්ගේ තියුණු කඩුතල භාවිතා කරමින් මරා දැමීමට නියම විය. කාන්තාවන් පරීක්ෂණයෙන් සමත් වූ පසු, ඔවුන් රජුගේ මාළිගාවේ සුඛෝපභෝගී ජීවිතයක් භුක්ති විදීමට ලැබුණු අතර, එහිදී ඔවුන්ට රජුගේ මත්පැන් සහ දුම්කොළ භාවිතයට ලැබුනි.
1862 දී ආතර් එර්ඩ්ලි විල්මොට් සඳහන් කළේ ඩහෝමි හි කාන්තාවන් සංඛ්‍යාව පිරිමින්ට වඩා විශාල වූ බවයි. අඛණ්ඩ යුද්ධ නිසා හෝ වහල් වෙළඳාම නිසා මිනිසුන් හිඟ විය. එම කාලය තුළම ඩහෝමි ඇමසන් වරුන්ගේ සංඛ්‍යාව 10 ගුණයකින් වර්ධනය විය. 1890 දී, පළමු ප්‍රංශ-ඩහෝමියානු යුද්ධයේදී ප්‍රංශ ජාතිකයින් ඔවුන්ගේ වඩා බලවත් රයිෆල් වලට ස්තූතිවන්ත ජය ගන්නා ලදී. ප්‍රංශ ජාතිකයන් සමඟ පැවති එක් දරුණු සටනකදී ඩහෝමි ඇමසන් 400 කට අධික සංඛ්‍යාවක් තම රට ආරක්ෂා කිරීමට සටන් කල නමුත් දිවි ගලවා ගත්තේ 17 ක් පමණි.
ඩහෝමි ප්‍රංශයට යටත් වීමෙන් පසුව පවා ඩහෝමි රණශූරයන් දිගටම සටන් කළහ. ඔවුන් සැඟවී සිට රාත්‍රියේ ප්‍රංශ නිලධාරීන්ගේ උගුර කපා දැමූහ. ප්‍රංශ ජාතිකයන් ඇමසන් වරුන් ගැන කොතරම් භීතියට පත් වූවාද කිවහොත් ඔවුන් එම ඒකක විසුරුවා හැර ඩහෝමියානු කාන්තාවන්ට කිසි විටෙකත් හමුදාවේ සේවය කිරීමට හෝ ආයුධ රැගෙන යා නොහැකි බවට නියෝග කළහ.
එහෙත් එසේ වුවද ඩහෝමි ඇමසන්ස්වරියන් සම්පූර්ණයෙන්ම නැති වූයේ නැත. අවසන් වරට දන්නා ඩහෝමි ඇමේසන්වරිය 1979 වන තෙක් ජීවත් විය.
1890 ගණන්වල ඩහෝමි ඇමසන්වරුන්ගේ ඡායාරූපයක් |
1892 දී ඩොග්බා සටනේදී ප්‍රංශ ජාතිකයෝ ඩහෝමි ඇමසන්වරුන්ට පහර දුන් අයුරු |
19 වන ශතවර්ෂයේ මැද භාගයේදී, ඩහෝමි ඇමසන් වලට නායකත්වය දුන් සෙහ්-ඩොං-හොං-බෙහ් |
0 comments:
Post a Comment