ජනාදරී තම වැඩිමහල් දියණිය සමඟ ත‍්‍රිරෝද රථයේ පිටුපස අසුනේ අසුන් ගත්තාය. එය පදවාගෙන යන්නේ ඇයගේ සැමියා වූ නිමල් විසිනි. අනතුරු කිහිපයකටම මුහුණ දී ඇති නිමල් කිසි විටෙක වේගයෙන් රථය පැදවූයේ නැත. පස්දෙනකුගෙන් යුතු ජනාදරීගේ පවුලට තුළ මෑතක සිට බොහෝ ආර්ථික ගැටලූ වර්ධනය වෙමින් පවතින්නට වූයේ එක දිගට වූ අනතුරු හේතුවෙනි. ජනාදරී ඇතුළු පිරිස එදින ගමන් කරමින් සිටියේ රෝහල්ගත වී සිටි තම මාමණ්ඩියගේ සුවදුක් විමසා බැලීම සඳහාය.
සැඳෑ අහස වෙනදාට වඩා අඳුරු පැහැයෙන් දිස්වන්නට විය. පරිසරය තුළ පැවැතියේ ගුප්ත බවකි. බොහෝ සෙමින් ගමන් කළ ත‍්‍රිරෝද රථය ඉදිරියට වේගයෙන් ඇදී එන ලොරියක් නිමල් දුටුවේය. එය එන අයුරු එතරම් සුදුසු නොවන බව වටහාගත් නිමල් මාර්ගයෙන් ඉවතට වාහනය කැපුවේය. එහෙත් සිදුවූයේ නොසිතූ දෙයකි. ලොරිය පැමිණි ලෙසම ඉදිරියට ඇදී ගිය අතර ත‍්‍රිරෝද රිය මාර්ගය අසල වූ පස් ගැට්ටක් මතින් ගමන් කර පෙරළී ගියේය.
ඒත් සමඟම ත‍්‍රිරෝද රථයේ දකුණු පස අයිනේ සිටි ජනාදරී වාහනය පෙරළීමත් සමඟ එළියට විසිවී ගිය අතර පාරේ ඇදවැටුණු ඇයගේ හිස අසල වූ කළු ගලක වැදීම හේතුවෙන් දරුණු ලෙස තුවාල විය. මාස දෙකකට ආසන්න කාලයක් තුළ අවස්ථා කිහිපයකදීම සිදු වූ අනතුරුවලින් වැඩිපුරම තුවාල වූයේ ජනාදරීටය. අන් අයට එතරම් ලොකු තුවාලයක් කිසිදු විටෙක සිදු නොවීම සියල්ලන්ටම මහත් පුදුමයක් විය.
අවසන් වරට සිදු වූ අනතුරින් ඇයගේ හිසේ සිදු වූ තුවාලය නිසා ඇයගේ දිගු කෙස් කළඹ කපා දමන්නට සිදු විය. දිගින් දිගටම සිදු වූ අනතුරු හේතුවන් ඔවුන් පවුලේ වාහනය පසෙකට දැමුවේ වෙනත් විකල්පයක් නොමැති නිසාය. මෙය පවුලේ සියල්ලන්ටම මහත් හිසරදයක් විය. ඉතා ආසන්න දිනකදී ඇය තම කේන්ද්‍රය පරීක්ෂා කරගැනීම සඳහා මාගේ කාර්යාලයට පැමිණියේ ඇයට දිගින් දිගට සිදුවන්නේ කුමක්ද යන්න අවබෝධ කරගැනීමට ජ්‍යොතිෂ්‍යයෙන් හෝ පිහිටක් බලාපොරොත්තුවෙනි.
මුස්ලිම් කාන්තාවක මෙන් සම්පූර්ණයෙන්ම හිස වසා සිටි ඇයගේ කේන්ද්‍රය තුළින් ඇය හා වෛරයෙන් සිටින ප‍්‍රබල මළගිය ආත්මයක් විසින් ඇයව පීඩාවට පත් කරන බව පෙනෙන්නට විය. එම ආත්මය ඇයගෙන් පලිගැනීමේ අදහසින් කටයුතු කරන අතර, ඇයට සිදු වූ අනතුරුවලට ද හේතු වී ඇත්තේ මෙම භූත පිසාච බාධාව බව ඉන් පැහැදිලි විය.
අනතුරු නිසා වාහනයේ ගමන් බිමන් නතර කිරීමත් සමඟ නිවස තුළ ගැටලූ වර්ධනය වන්නට විය. දිනක් ඇය කුස්සියේ උයමින් සිටියාය. වේලාව රාත‍්‍රී අටට පමණ වන්නට ඇත. මුළුතැන්ගෙයට පිටුපසින් අඩි සද්දයක් ඇසෙන්නට විය. නිවසේ පිටුපසට ගොස් බැලූවත් කිසිවකු දක්නට ලැබුණේ නැත. දිනෙන් දින මේ තත්ත්වයේ අඩුවක් ද දක්නට නොලැබිණි. එදින නිවසේ සිටියේ ජනාදරී හා කුඩා ළමුන් දෙදෙනා පමණි. ඇය මුළුතැන්ගෙයි ආහාර පිසිමින් සිටියාය. පෙරදා මෙන්ම සුපුරුදු පරිදි නිවස පිටුපසින් අඩි ශබ්ද ඇසෙන්නට විය. ඇය ජනේලය අසල වූ සින්ක් එකේ භාජන සෝදමින් සිටියාය. එක්වරම වසා තිබූ ජනේලය විවර විය. ඇය ඒ දෙස බලා සිටියේ කුතුහලයෙනි. ජනේලය අසල සිටි කිසියම් පුද්ගලයකුගේ ඡුායාවක් ඇය දුටුවාය. ඒ සමඟ ඇය අධික ලෙස බිය වී මරහඬ දුන්නාය. දිගින් දිගට දින කිහිපයක් මේ සිදුවීමට මුහුණ දීමට ඇයට සිදු වුණි.
නිවසේ පිසින ආහාර ඉතා කෙටිකාලයක් තුළ නරක් වන්නට විය. මෙය අනිවාර්යයෙන්ම මළගිය දෝෂ හරහා සිදුවන්නක් බව නිවැසියන්ට අවබෝධ වෙමින් පැවැතුණි. ශීතකරණයේ තබන පිසූ ආහාර දවසක් ඉක්ම යන්නටත් මත්තෙන් නරක් වෙමින් පැවැතුණි. කළ හැක්කක් නොවූ තැන අවසානයේ මේ සඳහා නිශ්චිත පිළියමක් අවශ්‍ය බව නිවැසියන්ට අවබෝධ වුණි. රට මැද ප‍්‍රදේශයක වූ දක්ෂ කපු මහතකුගේ සේවය ලබා ගැනීමට නිමල් සහ පවුලේ අය තීරණය කළහ.
තීරණය කරගත් දිනයේ දී රාත‍්‍රී කපු මහතා නිවසේ වූ භූත දෝෂය ඉවත් කිරීමට පූජාව ඇරඹුවේ ය. නිවසේ පිරිස හා හිතවත් කිහිපදෙනකු සාලයේ එළන ලද පැදුරුවල වාඩි වී සිටියහ.
”උඹ මේ බුදු පිළිමයක් තියෙන තුංමන් හන්දියකින් හැරිලා යන පාරකද ඉන්නේ?” කපු මහතා ආරූඪයෙන් අසන්නට විය.
”නැහැ”
”නැහැ කියන්නේ කොහොමද? මේ උඹ එනවා පේන්නේ. එක පැත්තක රබර් වත්ත. බුදු පිළිමයට එහායින් බස් හෝල්ට් එක තියෙනවා. හැමදාම උදේ හයට විතර හෝල්ට් එකට උඹ එනවා නේද?”
”ඔය අපේ මහගෙදර. දැන් එහේ කවුරුවත් නෑ. ගේ විකුණලා”
”මේ දෝෂය එහේ ඉඳන් එන දෝෂයක්”
”බස් හෝල්ට් එකට ඉස්සරහා රබර් වත්තේ කනත්තක් තියෙනවා නේද?”
”නෑ එතන තියෙන්නේ පන්සලක්”
”ඒ දැන් බොල. ඉස්සර එතැන තිබිලා තියෙන්නේ කනත්තක්. ඒ කනත්තේ යට කරපු මිනිස්සුන්ගේ ආත්ම තාම ඒවායේ ගැවසෙනවා. අන්න එතැන හිටපු එකෙක් තමයි උඹේ පස්සේ ඇවිත් තියෙන්නේ. මේකට කලින් ආරක්ෂාවක් කළා නේද?”
ජනාදරීට අදින් වසර දහයකට පමණ පෙර සිදු වූ සිදුවීමක් සිතට නැෙඟන්නට විය. එකල වයස විසි දෙකක පමණ වූ ඇය ඉතා රූමත්ය. කොළඹ පෞද්ගලික බැංකුවක රැුකියාව හිමි වීමත් සමඟම දිනපතා පාන්දරින්ම ඇය බස් නැවැතුම වෙත පැමිණියේ කොළඹට තරමක දුරින් ඇයගේ නිවස පිහිටා තිබූ නිසාය. ඇගේ දහවල් ආහාරය දැමූ වීදුරු බඳුන අත ඇති වීදුරු පැහැති ඉටි බෑගයේ දමාගෙන රබර් වත්ත මැද මාර්ගයේ හුදෙකලාව ඇය පැමිණියා ය. එදිනත් ඇය සුපුරුදු ලෙස බසය පැමිණෙන තෙක් බස් නැවැතුමේ රැුඳී සිටියි. රබර් වත්ත දෙස බලා සිටි ඇය ගස් සුළඟට ඇඹරෙනු දුටුවාය. උදෑසනම වර්ෂාවක් විය හැකි යැයි ඇය සිතූ නමුත්, වර්ෂාවක් පතිත වූයේ ද නැත. ගස් ඇඹරෙමින් ආ සුළං පහර තුළින් ඇයට දැනුණේ දැඩි පොළොන් ගඳකි. ඇය වටපිට බැලූවාය. ඒ ගඳ නිමාවන්නේද නැත. සුළං පහරෙන් ඇයව සලිත වූවාය.
රැුකියාවට ගියත් එදින ඇයට ශරීරයට අප‍්‍රාණික බවක් දැනුණි. එදින රාත‍්‍රී අසනීප වූ ඇය දින කිහිපයකින් සුවඅතට හැරුණේ දෙහි කපා සුරයක්ද දැමීමෙන් අනතුරුවය. ඉන් පසු මේ වනතෙක් ඇයට ඒ පිළිබඳ මතකයක් නැත.
”එදා ඒ මළයකා බැල්ම දාලා තියෙන්නේ උඹගේ කෑම එකේ තිබ්ච්ච රතු අලවලට. රතු අල ටිකක් තටුවට තියපං”
”කෑම එකට ළං වුණාම උඹේ ඇඟට ආසාවෙන් උඹේ දිහා බලාගෙන ගොඩ කාලයක් ඉඳලා තියෙනවා. ගෙවල් විකුණලා ආවත් ඒකා උඹේ කාමරයට වෙලා බලා ඉඳලා තියෙනවා. අවුරුද්දකට විතර කලින් උඹලා ඒ ගෙදර උත්සවයකට ගියා නේද? එදා තමයි ආයිත් ඌ උඹගේ ඇඟට ඇතුළු වෙන්නේ. උඹව උගේ ලෝකයට ගෙනියන්නයි වාහනේ පෙරළන්නේ” යනුවෙන් කපු මහතා පැවැසුවේ ය. අවසානයේ එම යක්ෂ ආත්මය අල්ලා සිරකොට මහ මුහුදට ගෙන ගොස් දැමීමත් සමඟ ජනාදරී එතෙක් විඳි ගැටලූ නිමාවට පත් විය.
0 comments:
Post a Comment