මෙවර මානව හිමිකම් දිනයේ තේමාව වන්නේ මානව හිමිකම් වෙනුවෙන් නැගී සිටින තරුණ තරුණියන්ය. මානව හිමිකම් පිළිබඳ තරුණ තරුණියන් විසින් සිදු කරන භූමිකාවන්, අරගලයන්, මැදිහත්වීම් අගය කරන අතරම, ඔවුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කටයුතු කිරීමත් වැදගත් වෙනවා. එසේම තරුණ තරුණියන්ගේ සහභාගීත්වය අගය කිරීම තිරසාර සංවර්ධනයටත් වැදගත් වෙනවා. මානව හිමිකම් සහ සංවර්ධන ගැටළු සම්බන්ධයෙන් තරුණයන්ගේ මැදිහත් වීම එම සටන් අඛණ්ඩව කර ගෙන යාමටත්, අනාගත අවශ්‍යතා සඳහා ගැලපෙන සේ සකස් කිරීමටත් වැදගත් වෙනවා.
අපි මඳක් මානව හිමිකම්වල ඉතිහාසය දෙස බලමු.
මානව හිමිකම් ගැන සඳහන් වෙන පළමු ලේඛනය ලෙස හැඳින්වෙන්නේ ශ්‍රේෂ්ඨ සයිරස් නම් පර්සියානු රජු විසින් ක්‍රිපූ 539-538 යුගයේ දී ඇති කළ සයිරස්ගේ සිලින්ඩරය නම් ලේඛනයයි. මෙහි සඳහන් වෙන්නේ ප්‍රධාන වශයෙන් ඕනෑම කෙනෙකුට කැමති ආගමක් ඇදහීමට ඇති නිදහසත්, වහල්භාවය අහෝසි කිරීමත් සම්බන්ධයෙනුයි. නමුත් මේ ලේඛනය ඔහුගේ දේශපාලන ප්‍රචාරණයේ කොටසක් වූ බවත්, සත්‍ය වශයෙන්ම මෙහි ඇති කරුණු ඉටු නොකළ බවත් ඇතැම් ඉතිහාසඥයන් මත පළ කරනවා. විවිධ රටවල්වලින් ඉතිහාසය පුරා පසු කාලීනව මානව හිමිකම්වලට සම්බන්ධ ලේඛන හමු වෙනවා.
එසේම ලොව පුරා විවිධ සංස්කෘතීන්වල, ආගම්වල මානව හිමිකම් ගැන විවිධ අයුරින් කතා බහ වී තියෙනවා. මානව හිමිකම් කියන්නේ කිසියම් භූගෝලීය හෝ සංස්කෘතික සීමාවකට යටත් වෙන දෙයක් නොවෙයි. බුදු දහමේ දී අපි කතා කරන්නේ සියලු සත්ත්වයන්ට මෛත්‍රී කිරීම ගැනයි. අනික් අතට කුල භේදය, ජාතිභේදය, එය විසින් තදින් හෙළා දකිනවා. ජේසුතුමා විසින් ද දුප්පතුන්ගේ අයිතිවාසිකම් ගැන, මනුෂ්‍යයාගේ සමානාත්මතාවය ගැන, මානව ගරුත්වය ගැන බොහෝ දේ ප්‍රකාශ කර තිබෙනවා. එසේම වර්තමාන මානව හිමිකම් ප්‍රමිතීන් සමග විවේචන පැවැතිය හැකි නමුත්, ඉස්ලාම් ආගමික නායක මුහම්මද්තුමා විසින් ද එවක සමාජයේ පැවැති බොහෝ සෘණාත්මක චර්යාවන්ට එරෙහිව සමානාත්මතාවය සහ සාමය ඇති කිරීම සඳහා දේශනා සිදු කළා. එසේම ඔහුගේ මැදිහත්වීමෙන් සෑදූ මෙදීනාවේ ව්‍යවස්ථාව (charter of medina) තුළ මුස්ලිම් නොවන පුද්ගලයන්ට ඇති සමාන දේශපාලනික සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළි ගත්තා. එහි අනෙකුත් පුද්ගලයන්ට කැමැති ආගමක් ඇදහීමට ඇති අයිතියත් අඩංගු වූවා. අනෙකුත් ආගමික ශාස්තෲන් සම්බන්ධයෙන් ද එවැනි උදාහරණ තිබෙනවා. එසේ වුවත් ආගමික ශාස්තෘන් විසින් දේශනා කළ මෙවැනි දෑ පල්ලි, පන්සල් වැනි ආයතනගත වූ ආගමික ආයතනවල ක්‍රියාත්මක වෙන
අයුරු අපි එතරම් දකින්නේ නැහැ. ඒ වාගේම ලෝක ඉතිහාසයේ යුද්ධ, සහ ලේ හැලීම් ගණනාවක් ආගමික කරුණු පදනම් කර ගෙන ඇති වී තිබෙනවා.
මානව හිමිකම් කියන්නේ ලෝකයේ මිනිසකු ලෙස උපදින සියලු දෙනාට මනුෂ්‍යයන් ලෙස ලැබිය යුතු අයිතිවාසිකම් යැයි සරලව හඳුන්වනවා. මානව හිමිකම් සම්බන්ධයෙන් පවතින පොදු මූලධර්ම වන
✅ ඒවා විශ්වීය බව, සෑම මනුෂ්‍යයකුටම පොදු බව සහ කිසිම මනුෂ්‍යයකුගෙන් උදුරාගත නොහැකි බව,
✅ මානව හිමිකම් කොටසක් පමණක් ලබා දීම කළ නොහැකි බව සහ එකකට වඩා එකක් උසස් නොවන බව
✅ මානව හිමිකම් සියල්ල එකිනෙකට සම්බන්ධ බව සහ එකිනෙක මත රඳා පවතින බව
✅ සමානාත්මතාවය සහ වෙනස් කොට නොසැලකීම - සියල්ලන්ටම සමාන ලෙස අයිතිවාසිකම් ලැබිය යුතු බව
✅ ජනතාවට මානව හිමිකම් ගැන තීරණ සම්බන්ධයෙන් සහභාගිත්වයට ඇති අයිතිය සහ සියලු ජන කොටස් අන්තර්ග්‍රහණය කර ගැනීම
✅ මානව හිමිකම් පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් රජයයන් වගකිව යුතු බව
මීට අයිති වෙනවා.
ලෝකයේ මානව හිමිකම් ගැන කතා කිරීමේ මූලිකවම පදනම් කර ගන්නා මූලික ලේඛන 3ක් සහ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම්ට ගිවිසුමට අදාළ පළවැනි වෛකල්පික සම්මුතිය, සහ මරණ දඩුවම අහෝසි කිරීමේ දෙවැනි වෛකල්පික සම්මුතිය සමග සැලකූ කල ලේඛන 5ක් තිබෙනවා.
මූලික මානව හිමිකම් ලේඛන තුන නම්
1️⃣මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය (UDHR),
2️⃣ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය (ICCPR)
3️⃣ ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICESCR) යි.
මෙම ලේඛන අයිතිවාසිකම් පනත නොහොත් Bill of Rights යැයි හඳුන්වන්නේ මේවායෙන් මූලිකවම මානව හිමිකම් මූලධර්ම විස්තර වෙන නිසයි. එසේ වුවත් මෙයින් අනෙකුත් මානව හිමිකම් ලේඛන මීට වඩා අඩු වැදගත්කමකින් යුතු යැයි කිසිසේත්ම අදහස් වෙන්නේ නැහැ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය 1945 දී පිහිටුවීම සිදු වන්නේ දෙවැනි ලෝක යුද්ධයේ අවසානයත් සමගයි. මානව හිමිකම් නොසලකා හැරීම සහ ජාතීන් අතර සමගියක් නොමැති වීම ලෝක යුද්ධවලට හේතු වූ බවත්, තවත් ලෝක යුද්ධයක් ඇති වීම නැවැත්විය යුතු බවත් ලෝකයේ රටවල් ගණනාවක් එකතු වී සාකච්ඡා කිරීමෙන් පසුව, ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙනවා.
මානව හිමිකම් යන අදහස ගතහොත් බොහෝ අවස්ථාවලදී බලය ඇති අය සහ පාලකයන් එයට විරුද්ධ වී තිබෙනවා. බොහෝ විට මානව හිමිකම් යන අදහස වැදගත් වන්නේ අසාධාරණයෙන් සහ බලය භාවිතා කිරීමෙන් තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගත නොහැකි අයටයි. කෙසේ වුවත් බලවත් අය අත්තනෝමතික ලෙස හැසිරීමෙන් ලෝකයේ සහ අප රටේ පවා විවිධ විනාශයන් සිදු වී තිබෙනවා. මානව හිමිකම් සමාජයක් ලෙස ආරක්ෂා කිරීම අපට වැදගත් වන්නේ ඒ නිසයි. එක් කොටසකගේ, හෝ එක් පුද්ගලයකුගේ මානව හිමිකම් කඩ කිරීම තමන්ට වැදගත් නැතැයි කෙනෙකු හිතන්නට පුළුවන්. එහෙත් ලොව පුරා අපි බොහෝ දැක තිබෙන්නේ එසේ මානව හිමිකම් ගැටළු නොසලකා හැරීම නිසා දීර්ඝ කාලීන අර්බුද බිහිවීම සහ ඒ නිසා පරම්පරා ගණනාවකට දුක් විඳින්නට සිදු වීමයි.
මානව හිමිකම් පිළිබඳ සාකච්ඡා කිරීමත්, ඒවා ආරක්ෂා කිරීමට කටයුතු කිරීමත් අප සෑම දෙනෙකුගේම යුතුකමක් වන්නේ ඒ නිසයි. එතැනදී තරුණ තරුණියන්ගේ දායකත්වය වැදගත් වන්නේ මානව හිමිකම් ඊළග පරම්පරාවට ගෙන යාමටත්, ඒවා නූතන සමාජවල අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සකස් කිරීමටත්ය. ඒ වාගේම අයිතිවාසිකම් නිතර ක්‍රමානුකූල ලෙස කඩවෙන ප්‍රජාවන්ගේ සහ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් හඳුනා ගැනීමත් ඒවා වෙනුවෙන් මැදිහත් වීමත් වැදගත් වෙනවා. අප බොහෝ දෙනෙකුට පෙනෙන්නේ අපිට වාසි වන දේ පමණයි. එසේ දැකීමෙන් පමණක් අපට යහපත්, ඵලදායී සහ තිරසාර සංවර්ධනයෙන් යුතු සමාජයක් ගොඩ නගන්නට බැහැ. අන් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් සංවේදී වන සමාජයක් අප විසින් ගොඩ නැගිය යුතු වන්නේ ඒ නිසයි.
අද දවස ඔබේ අයිතිවාසිකම් සුරැකෙන දවසක් වේවා! ඔබේ සහ අන්අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවා!
දේදුනු සංවාද - Dedunu Sanwada
0 comments:
Post a Comment