බුද්ධි, ගුණය, නවය, පොඩ්ඩ, පූල, සුරා මද්ද මම මේ රාත්‍රියේ එක්ව පාඩම් කරන කල්ලියේ සාමාජිකයන්ය. හැමදාම එකතුවෙන අපි අතර ඉඳහිට එන කීප දෙනෙකුත් නොසිටියා නොවේ. මධ්‍යම රාත්‍රිය වනතුරු පාඩම් කරන අපි පසුදින පාන්දරම අවධි වී පාසල් යාමට නිවෙස් බලා යාම පුරුදු කාරණයකි.
දිනක් සවස සිට ඇද හැලුණු ධාරාණිපාත වරුසාව හේතුවෙන් වේලාසන පාඩම් කිරීමට ගුරු ගෙදරට ආ මම පමණක් වූ අතර අන් අය රාත්‍රි 10 වෙනතුරුද නොපැමිණීම මාගෙ හිතට මහත් හිරිහැරයක් විය.
අපරාදෙ අද ආවෙ. උන් හොඳට නිදි ඇති. මාත් ගෙදර හිටියනම් හොඳට පොරවගෙන නිදාගන්නවනෙ ශිට්. පොතට නෙත යොමුකළත් සිත තිබුණේ ආපසු යා යුතුමයි යන සිතුවිල්ලේය.
වැස්ස තුරල් වුවද වතුර බසින හඬට මුසුවු ගෙම්බන්ගේ කෑ මොර හඬ මූසළ වටපිටාවක් නිර්මාණය කළේ තනි මා තව තව අසරණ කරමිනි.
විදුලි පහනෙ ආලෝකය බිත්තියට එපිටින් අඳුර කපන්නේ හුලං කවුලුවෙන් විහිද ගිය රැසින් බව මා දන්නා නමුත් සුළඟට වැනෙන ගහකොළ මත ඒ ආලෝකය විවිධාකාර භයානක රූ මවන බවද මට සිතේ.
ගෙදර අන් අය අඳුරේම නිදාගෙන සිටි නිසා මට හිතේ චකිතයක් ඇති වීමට පටන් ගත්තේ මොන යම් හෝ දෙයක් පිළිබඳ නුහුරු නුපුරුදු ඉවක් වැටීමෙන් බව අපහැදිලි නැත.
දැන් ඇති. පාඩම් කරන්න තරම් මනස නිරවුල් නොවූ නිසා පොත වහල නිදාගන්නව. හිතමින් පුටුවෙන් නැගිට්ටෙ පුටුව තල්ලුවෙන හඬද නෑසෙන තරමටය. මොහොතකින් විදුලි පහන නිවා දැමූ මා ඇඳ මත වාඩි වූ සැණින් සුපුරුදු කට හඬකින් මා අමතනු ඇසිණි.
මොකො බං මේ රෑ.. මං බලන් උන්න බැරිම තැන තමා නිදාගන්න ලෑස්ති වුණේ. උඹල කොහෙද ගියෙ? අසමින් මම නැවත විදුලි පහන දැල්වූයේ දැන් නම් තනියක් නෑ එකෙකෙ හරි ඉන්නවනෙ යන උදම් වූ සිතුවිල්ලෙනි.
නිමේෂයකින් වසා තිබූ දොර හැරීමට මා උත්සාහ කළද දොරගුල විවෘත වන්නට යතුර කැරකිය යුත්තේ කුමන දිශාවකටදැයි මට අදහාගත නොහැකි විය. වම් පසට මෙන්ම දකුණු පසටද කැරකූ මුත් දොර විවර කිරීම අසීරු විය. වැස්සට දොර ඉදිමිලා වෙන්නැතියි සිතමින් වැරෙන් දොර ඇද්ද විට එක්වරම දොර ඉතා සැහැල්ලුවෙන් විවර විය. සිදු වූයේ මා කිසිම විටක බලාපොරොත්තු නොවූ දෙයකි.
කිසිඳු ශබ්දයක් නොමැති නිහඬ වටපිටාවක දුර සිට බල්ලකු බුරන හඬ පමණක් ඇසෙයි. මට ආමන්ත්‍රණය කළ මගේ මිතුරා දොර විවර වන විට මගෙ දෙසට පිටුපා සිට එක්වරම කාමරය දෙසට හැරෙන දසුන මට සිහිපත් කිරීම පවා අසීරුය. මගෙ නෙත උගෙ නත හෑ ගැටුණු සැණින් මාගෙ උරහිසට ඉහළින් රතු පැහැති යමක් වේගයෙන් ගමන් කරන බව මට දැණුනි. ඒ සමඟම දල්වා තිබු විදුලි ආලෝකයද විසන්ධි විය. මට අදහා ගත නොහැකි ලෙස මා ඉදිරියේ සිටි සගයාගේ මුහුණ නොපෙනුනත් රත් පැහැයෙන් දිලෙන දෑස මෙන්ම මගේ උරහිසට ඉහළින් වේගයෙන ගමන් කළ රත්පැහැ දිව පමණක් අඩ අඳුරේ පැහැදිලිව පෙනෙන්නට විය. මට එක වචනයකට හෝ අකුරු ගලපා ගැනීමට නොහැකි තැන සිදුවූයේ උගුර කට වියලී ගිය බව පමණකි.. කෑ ගසා ගෙදර අන් අයට අවධි කිරීමට සිතුවද මට කැ ගැසීමටද නොහැකි ව මා ගොලු වීදැයි හැඟිණි. අඬ අඳුර කෙමෙන් දෑසට හුරුවෙන මොහොතේ දෑස නීලංකාර වන ලෙස ආලෝකය නැවත දැල්වුණ මුත් මා ඉදිරියේ සිටි රුව මැකී ගොස් ඇති බව අවබෝධ වූයෙන් විදුලි පහන දෙස බලන විට එය තවමත් දෙපසට වැනෙමින් තිබීම මාගේ හෘද ස්පන්දනය වේගවත් කිරීමට සමත් විය. වේගයෙන් දොර වසා අගුලු දැමූ හඬට ගුරුතුමා අවධි වී ඇති බවක් හැඟුණද රැය පහන් වන තුරුම දොර විවර නොකිරීමටත්, නොනිදා අවධියෙන් සිටීමටත් පෙර දසුන් මට මැවි මැවී පෙනෙන මා තීරණය කළෙමි.
ලැජ්ජාවටත් කෝපයටත් භීතියටත් පත් මා කිසිවෙකුට කිසිත් නොකියා වටින් ගොඩින් එළිය වැටෙන මොහොතේ දොර හැර ගුරුතුමාගේ සුපුරුදු අවසරය ගෙන ඉන් පිට වූ අතර උදෑසන පාසල ආරම්භ වීමට මත්තෙන් මාගේ මිතුරා පෙරදින රාත්‍රියේ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් දිවියෙන් සමුගෙන ඇති බව පාසල පුරා පැතිරී ගියේ මා හදවත සොහොන් පිටියක් සේ භීතිය දෙගුණ තෙගුණ කරමිනි.
0 comments:
Post a Comment