ළමා අයිතීන් සුරැකීම සඳහා ප්‍රමුඛතාව දීම සියලුම මානව වර්ගයාගේ අතිමහත් යුතුකම ලෙස සලකමින් ලෝකයේ සියලුම රටවල ලෝක ළමා දිනය එසේත් නොමැතිනම් විශ්ව ළමා දිනය සමරනු ලබයි. එක් එක් රටවල වර්ෂයේ විවිධ දිනයන්හිදී මෙම ලෝක ළමා දිනය සැමරීම විශේෂත්වයකි.
1857 ජුනි මස දෙවැනි ඉරිදා දිනයෙහි ඇමරිකාවේ මැසචුසෙට් ජනපදයේ චෙල්සියා නගරයේ universalist church හි පාලක, පූජක ආචාර්ය චාල්ස් ලෙනාර්ඩ් (Charles Leonard) විසින් "ලෙනාඩ් සහ දරුවන්" වෙනුවෙන් කැපවූ විශේෂ සේවයක් පවත්වන ලදී. "රෝස් දිනය" (Rose Day) ලෙස නම් කරන ලද එය පසුව "මල් ඉරිදා" (Flower Sunday) යනුවෙන් නම් කරන ලද අතර පසු කාලයකදී ළමා දිනය ලෙස නම් කරන ලදී.
1925 ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවරට රැස්‌වූ විවිධ රටවල නියෝජිතයන් "දරුවන්ගේ යහපැවැත්ම සඳහා ලෝක සම්මේලනය" ආරම්භ කරන ලදී. එය සම්මත වූ පසු ලොව පුරා සිටින ඇතැම් ආණ්‌ඩු ළමයින්ගේ ළමා ගැටලු ඉස්‌මතු කිරීම සඳහා ළමා දිනය ලෙස දිනයක් නම් කරන ලදි. මෙම ළමා දිනයට නිර්දේශිත දිනයක් අද වන තෙක් නොමැත. එබැවින් කුමන දිනයක් වුවද එක් එක් රටවල සංස්‌කෘතියන් අනුව වඩාත්ම අදාළ දිනය ගත හැකිය. 1949 ජුනි මාසයේදී "කාන්තා ජාත්‍යන්තරයේ" අන්තර් ජාතික සම්මේලනය රුසියාවේ මොස්‌කව් නුවරදී පවත්වන ලදි. එහිදී ළමා සුරැකීමේ ජාත්‍යයන්තර දිනය 1950 ජුනි 01 වන දින පිහිටුවා ගනු ලැබූ අතර පැරණි සෝවියට් දේශයට අයත් රටවල් එම දිනය ළමා දිනය වශයෙන් භාවිත කරන ලද අතර අද වන විටත් එය වෙනස් වී නොමැත.
බොහෝ රටවල ළමා දිනයක් ස්‌ථාපිත කර ඇති මුත් මෙය සාමාන්‍යයෙන් නිවාඩු දිනයක් ලෙස නිරීක්‌ෂණය නොකෙරේ. නිදසුන් වශයෙන් ඇතැම් රටවල් ළමා දිනය සැමරීම නොවැම්බර් 20 දිනට යෙදී ඇති විශ්ව ළමා දිනය තෝරාගෙන ඇත. විශ්ව ළමා දිනය 1954 දී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආරම්භ කරන ලද අතර ලෝකය පුරා සිටින දරුවන්ගේ සුභසාධනය වශයෙන් එම දිනය වැදගත් ලෙස පවත් වන අතර යුනිසෙෆ් (Unicef) ආයතනය විසින් ලෝක ළමා දිනය ලෙස නොවැම්බර් 20 නම් කර ඇත.
එක්‌සත් ජාතීන්ගේ විශ්ව ළමා දිනය වන නොවැම්බර් 20 දා එය සැමරීම සඳහා ලෝකය පුරා ළමයින් අතර අන්තර් ජාතික සබඳතා දැනුවත් භාවය හා ළමා සුභසාධනය කිරීම වැඩිදියුණු කිරීම සඳහා 1989 දී එහි මහා මණ්‌ඩලය විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සම්මත කරන ලදී.
ළමා දිනය නිල වශයෙන් පිළිගත් දින රට රටවල් අනුව වෙනස් වේ. ඔක්‌තෝබර් 1 දා ළමා දිනය සමරන රටවල් වනුයේ ශ්‍රී ලංකාව, එල්සැල්වදොaරය, ගෝතමාලාව, වැනි රටවල්ය. ළමා දිනය සැමරුම් ඒ ඒ දිනවල කරන රටවල් අතරින් කිහිපයක් පමණක් මෙහි සඳහන් කරමු.
බහමාස් ජනවාරි මස 1 වැනි සිකුරාදා ටියුනීසියාව ජනවාරි 11, තායිලන්තය ජනවාරි මස දෙවන සෙනසුරාදා, කුක් දූපත් නිව් ටෝකලු දූපත් පෙබරවාරි මස දෙවැනි ඉරිදා, මියන්මාරය පෙබරවාරි 13, නවසීලන්තය මාර්තු මස පළමුවැනි ඉරිදා, බංගලාදේශය මාර්තු 17, පලස්‌තීනය අප්‍රේල් 5, උතුරු කොරියාව - ජපානය මැයි 5, ඇල්බේනියාව, ටිමෝරය, මොංගෝලියාව ඇතුළු තවත් රටවල් කිහිපයක්‌ම ජුනි 1 දා, උතුරු කොරියාව ජුනි 2, ඇමරිකාව, ජුනි මස දෙවැනි ඉරිදා, කොස්‌ටාරිකා සැප්තැම්බර් 9 දා, දකුණු අප්‍රිකාව නොවැම්බර් මස පළමු ඉරිදා, අරාබි ලීගය, අරාබි ලෝකය, අසර්බයිජානය, හා තවත් බොහෝ රටවල් නොවැම්බර් 20, දකුණු සුඩානය, දෙසැම්බර් 23, කොංගෝව, දෙසැම්බර් 25 දා.
ඉන්දියාවේ ළමා දිනය තවමත් හොඳහැටි මතකයට පත්වන දිනයකි. එය නොවැම්බර් මස 14 වැනිදාට යොදාගෙන ඇත්තේ නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ජවහල්ලාල් නේරු තුමාගේ උපන් දිනය දා සිහිවීම සඳහාය. එදින නිවාඩු දිනයක් ද වේ. Chacha Nehry (නේරු මාමේ) chachaji (මාමා) කළ කී දැවල වැදගත්කම ළමයින් කෙරෙහි ආදරය කිරීම පිණිස සහ දරුවන්ට සෙනෙහස, ආදරය, උපකාර දැක්‌වීමට, ජවහල් ලාල් නේරු තුමාගේ මරණයෙන් පසු 1964 මැයි 27 වැනි දින ඉන්දියාවේ ළමා දිනය ඔහුගේ උපන් දිනය දා ගතයුතු බවට තීරණය කරන ලදී.
කෙසේ වුවද ලොව පුරා ඒ ඒ රටවල ළමා දිනයට වෙන වෙනම දින වෙන් කරගෙන ඇති අතර එසේ නිශ්චිත දිනයක් නොවූවත් ළමයින්ගේ අධ්‍යාපනයත්, ආරක්‌ෂාවත් සුභ සාධනයත් උදෙසා වැඩි හිටියන්ගේ අවධානය වසරේ සියලුම දිනයන් හි යෙදවිය යුතු බවට ලෝක සම්මතයක් වී ඇත. එය අනිවාර්යයෙන් විය යුතුය.
උපුටා ගැනීමකි ~
0 comments:
Post a Comment