සීපද නැත්නම් සිව්පද කියන්නේ, ගැයිය හැකි ලෙස පද පේළි හතරකට ගොනු කළ කවියක්. මේ එක එකක් පද පේළියකට පෙරාතුව, එකී පේළියේ කිසියම් වචනයක් හෝ ක්‍රියාවක් හෝ ගුණයක් හෝ අගක්, මුලක්, නැට්ටක් හෝ මොන මළ ඉලව් සම්බන්ධයක් හරි අල්ලාගෙන, ඒ අල්ලාගත්තු එකේ විස්තරයක් අටුවා ටීකා ටිප්පනි හරි, පද පෙරළියක් හරි, මොන ආලවට්ටමක් එක්ක හරි හෑල්ලක් සේ කියවා ගෙන යෑමක් පද පේළි හතරට ඇමිණුවාම අන්න ඒකටයි "ටීකා සීපද" කියන්නෙ.
ගැමියා මේ ගායනා කළේ හුදෙක් විනෝදයට. යෙදුණු වැඩක අතරවාරයේ තෙහෙට්ටුව, විඩාව මඟහරවා ගන්න. බොහෝ විට අර හෑල්ලේ කියැවෙන දේ හ හරි ගැලපීමක් නොතිබෙන්නටත් පුළුවන්. අවශ්‍ය වුණේ හාස්‍යය හෝ යම් රසයක් දනවලා විඩා ගතට නව ජීවයක් දෙන්න.
සමූහ වශයෙන් එකතු වෙලා යම් කර්මාන්තයක නියැලෙද්දි හෝ ගමේ තැනෙක වැඩක නිරතව ඉන්න අතරෙ මේ ටීකා සීපද කියන්න ගැමියා පුරුදු වෙලා හිටියා. ලණු ඇඹරීමේදි, පොල් අතු විවීමේදී, කුරහන් ඇඹරීමේදි ඈ කර්මාන්ත වලදීත්, වහලක් සෙවිලි කිරීමකදි, වරිච්චි බඳද්දි හුනු පිරියම් කරද්දි වගේ අත් ලෙහෙව්වකදී දෙපැත්තකට බෙදී ටීකා සීපද කීම එදා ගැමි ජනයා අතර පැවති විනෝද කෙළියක්.
මේ ප්‍රකට ටීකා සීපදයක්.
කජු වාරයක් ද, කොස් වාරයක් ද, දෙල් වාරයක් ද, අඹ, රඹුටන්, මොර, හිඹටු වාරයක් ද
මොන හත්වලාවක වාරයක් ද කියන්ට මම දන්නෙ නෑ
වාරේ කුරුඳු අරගෙන මම යන කලට
අලින් ගිය පාරක් ද, කොටින් පාරක් ද, මුවන් පාරක් ද, ගෝනුන් පාරක් ද,
නයින්, පොළොඟුන්, පිඹුරන් පාරක් ද,
මොන විදියේ පාරක් ද කියන්ට මම දන්නේ නෑ
පාරේ වැරදිලා ගියෙ කටුගස්තොටට
රත්තරන් මාලයක් ද, රිදී මාලයක් ද, තඹ මාලයක් ද, පිත්තල මාලයක් ද,
මුතු, මැණික්, වෙෙරෝඩි බැඳපු මාලයක් ද
මොන කෙහෙල් මල් මාලයක්ද කියන්ට මම දන්නේ නෑ
මාලේ පළඳාපු අඟනක් එගොඩ සිට
තාත්තාගෙන් ආ නෑකමක් ද, මුත්තාගෙන් ආ නෑකමක් ද, නත්තාගෙන් ආ නෑකමක් ද,
පනත්තාගෙන් ආ නෑකමක් ද, කිත්තාගෙන්, කිරි කිත්තාගෙන්, කිරි කෑ මුත්තාගෙන් ආ නෑකමක් ද, කියන්ට මම දන්නෙ නෑ
හූරේ ඔරුව පැදපන් කීය එගොඩට
වාරේ කුරුඳු අරගෙන මම යන කලට
පාරේ වැරදිලා ගියෙ කටුගස්තොටට
මාලේ පළඳාපු අඟනක් එගොඩ සිට
හූරේ ඔරුව පැදපන් කීය එගොඩට
මේ දැරිවිගෙ ටීකා සීපදය කෝමද හැඩ බලන්ටකො.
මේ ආචාරිනී නන්දා මාලිනී මහත්මිය, ටීකා සීපද ඇසුරු කොට නිමවූ ගීයක් හැඩ කළ හැටි.
ගායනය : ආචාර්ය නන්දා මාලිනී
පද : මහින්ද දිසානායක
සංගීත අදියුරු : ආචාර්ය නන්දා මාලිනී
සාර සිරි සාර රූ සාර ගුණ සාර මහා සාර
මොන සාර ද මම දන්නෑ
සාර සුබාවට විල පිපි නෙළුම් මල
පලා නෙළනවා ඵලුත් නෙළනවා දලුත් නෙළනවා මලුත් නෙළනවා
මොන මළ ඉලව්වක් නෙළනවාද මම දන්නෑ
නෙළා ගෙන ඇවිත් තනලා මල් මාල
නෙත් ලෝල කන් ලෝල කය ෝල මන ලෝල
මොනවා ලොවිනවාද මම දන්නෑ
ලෝල වෙලා කර ලා ගෙන එම මාල
තම්පලා පොල්පලා කූරපලා පලා නොකියන පලා
මොන පලා ද මම දන්නෑ
පලා නොයන් කටු තියලා මලේ මුල
වැව් රැල්ලද ගඟ රැල්ලද අවු රැල්ලද නව රැල්ලද
මොන මළ ඉලව් රැල්ලක්ද මම දන්නෑ
රැලී රැලී ගඟ දිය පිට නැඟෙන රැලී
රූපේ ඇලුනාද ගුණයේ ඇලුනාද බලයේ ඇලුනාද ගිය ගිය තැන ඇලුනාද
ගලවන්ට බැරි වෙන්නම ඇලුනාද මම දන්නෑ
ඇලී ඇලී සිහිලැල් ගඟ දියට ඇලී
සැපේ ගැලුනාද දුකේ ගැලුනාද රසේ ගැලුනාද දියේ ගැලුනාද
මොකේ ගැලුනාද මම දන්නෑ
ගැලී ගැලී දිය නාලා ගඟේ ගැලී
අත් සැලුනා පා සැලුනා හිස් සැලුනා සිත් සැලුනා
තව මොන මොනවා සැලුනාද මම දන්නෑ
සැලී සැලී නොකියන් ගඟ දේය සුලී
සාර සුබාවට විල පිපි නෙළුම් මල
නෙළා ගෙන ඇවිත් තනලා මල් මාල
ලෝල වෙලා කර ලා ගෙන එම මාල
පලා නොයන් කටු කියලා මලේ මුල
පළාතෙන් පළාතට, වහරණ ඌරුවට හරි, කතා දමන ඌරුවට හරි, ඇවතුම් පැවතුම් වල ඌරුවට හරි, වෙල්ලස්සේ, රිදීමාලියද්දේ, ගෝමරන්කඩවල, අටබාගේ, දොළොස්බාගේ, මොන බාගේ හරි, වැදි ගම් පොජ්ජෙ, ගොඩතලාවෙ, තමන්කඩුවෙ, උනිච්චියෙ, මාවරගල් පොජ්ජ, ලුණුකිරිගල, හෙන්නාලිහෙල, කදිරගොඩ, කන්දේ ගල් ලෙන, කුට්ටිරියාගොඩ, මහගල්ගොඩ, එළුවා කන්ද, කළුවා කන්ද, ඔය කොයිබෙ හරි, පැලපදියම් වෙලා තිබාගත්ත හැටි පොජ්ජවල්, අයුරු පොජ්ජවල්, කොයි එකමක් එක්ක හරි මන්දො වෙලා, මේ සීපද වල, ඒ ඒ පොරදේසවල් වලදි පොඩි පොඩි වෙනස්කම් වෙලා තියෙනවා.
මේං අහන්නකො.
ඕං මේකත් අහන්ටකෝ
රැප් සංගීතයත් ඒ වගේ එකක්. සුළු කාලයක් තුළ මහා හෑල්ලක් කියාගෙන කියාගෙන යනවා.
මේ යොහානිගෙ රැප් එක සමග තවත් පැතිකඩක් ගැන ඔබේ සිතිවිලි යොමු කරනවා.
0 comments:
Post a Comment