දෙවන ලෝක යුද්ධයත් සමඟ ජාත්‍යන්තර ඔත්තු බැලීමේ නව යුගයක් සහ ගෝලීය බුද්ධි අංශ පද්ධති වල ව්‍යාප්තියක්ද සිදු විය. මෙවැනි තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාම මගින් බොහෝ රටවලට යුද්ධයේදී තරඟකාරී වාසියක් ලබා ගත හැකි බවට උදාහරණ ඉතිහාසයේ ඕනෑවටත් වඩා පවතී.
ප්‍රතිපත්ති සම්පාදකයින් විශ්වාස කළේ මහජනයා නොසැලකිලිමත් ලෙස කථා කිරීම මගින් විරුද්ධවාදී බලවේගයන්ගේ ඔත්තු ජාලයන්ට වැදගත් තොරතුරු සැපයිය හැකි බවයි. මේ හේතුව නිසා බුද්ධි අංශ විසින් නොසැලකිලිමත් ලෙස කතා කිරීමෙන් වළකින ලෙස පුරවැසියන් දැනුවත් කිරීම සඳහා සුප්‍රසිද්ධ "ලූනි ටියුන්ස්" (Looney Tunes) කාටූන් කතා මාලාව වැනි ප්‍රචාරක වැඩසටහන් සදහාද විශාල මුදලක් ආයෝජනය කරන ලදී. යුද මෙහෙයුම් වලට අදාළ ඕනෑම තොරතුරක් සතුරා අතට පත් වීම වැළැක්වීම එම මෙහෙයුමේ ජයග්‍රහණයට බලපෑ ප්‍රධාන කරුණක් විය. විශේෂයෙන් ඩී-ඩේ මෙහෙයුම සාර්‍ථකතාවයට පත් වීමට මෙම කරුණ බෙහෙවින් වැදගත් විය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල් විසින් "ඕවර්ලෝඩ් මෙහෙයුම" යන සංකේත නාමයෙන් හැඳින්වූ ඩී-ඩේ මෙහෙයුම මගින් පෙර නොවූ විරූ සංඛ්‍යාවක මිත්‍ර හමුදා කණ්ඩායමක් මගින් ප්‍රංශයේ නෝර්මන්ඩිවලට ප්‍රහාරයක් එල්ල කිරීමට බලාපොරොත්තු විය.
එහෙත් 1944 වන විට මිත්‍ර හමුදා අනිවාර්යයෙන්ම තමන් සතුව පවතින යුරෝපීය ප්‍රදේශ ආක්‍රමණය කරනු ඇති බවට නාසි යුධ නායකයන් තේරුම් ගත්හ. නමුත් ඉදිරියේදී එල්ල විය හැකි මෙම නාවික ප්‍රහාරය දියත් කරන නිශ්චිත ස්ථානය සහ දිනය පිළිබඳ ජර්මානු බුද්ධි අංශ දැනුවත්ව සිටියේ නැත.
මේ හේතුව නිසා මෙම මෙහෙයුමේ සියලුම අත්‍යවශ්‍ය තොරතුරු ඉතා රහසිගතව තබා ගැනීම සඳහා මිත්‍ර හමුදා පාර්ශවයේ බුද්ධි අංශ කටයුතු කරන ලදී. මේ නිසා ඔවුන් මෙම ගොඩබසින ස්ථානය, වේලාව ආදී සියල්ල හැඳින්වීම සදහා රහසිගත සංකේත නාම පවා භාවිතා කරන ලදී. නමුත් ඔවුන් සියලු දෙනා විමතියට පත් වූයේ බ්‍රිතාන්‍යය තුළ බොහෝ දෙනෙක් කියවන ප්‍රධාන පුවත්පතක් වූ ඩේලි ටෙලිග්‍රාෆ් හි හරස්පද ප්‍රෙහෙලිකා පළවූ කොටසේ මෙම ඩී-ඩේ මෙහෙයුම හා සම්බන්ධ දැඩි ආරක්‍ෂිත සංකේත නාමයන්ගෙන් බොහොමයක් පළවීමත් සමඟය.
"ඩී-ඩේ හරස්පද ප්‍රෙහෙළිකාව" ලෙස හදුන්වනු ලැබූ මෙහි විසදුම් ලෙස ලබා දී තිබුණේ ඊට දින කිහිපයකට පෙර සැලසුම් කළ ඩී-ඩේ මෙහෙයුමේ සංකේත නාම වන නෙප්චූන් සහ ඕවර්ලොර්ඩ් වැනි සංකේත නාමයන්ය. ඊට අමතරව මෙම හරස්පද ප්‍රෙහේලිකාව තුළ මිත්‍ර පාක්ෂිකයින් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරගෙන සිටි ස්ථාන නියෝජනය කරන සංකේත නාම වන ජුනෝ, ගොල්ඩ් සහ ස්වෝර්ඩ් යන නාමද විසදුම් ලෙස යොදා තිබුනි.
මෙම සැකය තවත් තීව්‍ර වූයේ 1944 මැයි 2 වනදා එම පුවත්පතේ පළවූ හරපද ප්‍රෙහෙලිකාවත් සමඟය. එහි සදහන් වී තිබුණේ "එක්සත් ජනපදයට අයත්" යන ඉඟියට විසදුම ලෙස "යූටා" යන්න ලබා දී තිබුණි. යූටා යනු ඩී-ඩේ මෙහෙයුමේදී එක්සත් ජනපද හමුදාවට ගොඩබැසීමට පවරා තිබූ වෙරළකි. ඊට අමතරව එක්සත් ජනපදයට පවරා තිබූ තවත් වෙරළ තීරයක් වන ඔමාහා වෙරළ තීරයද මෙහි ඉන්පසු පළවූ තවත් හරස්පද ප්‍රෙහේලිකාවක විසදුමක් ලෙස පැමිණීමත් සමග මෙය කැපී පෙනෙන අහඹු සිදුවීමකට වඩා යම් කිසි දෙයක් බවට බොහෝ දෙනා විශ්වාස කරන ලදී. බොහෝ දෙනාගේ අනුමනයන්ට අනුව මෙම හරස්පද ප්‍රෙහේලිකාව මගින් ඩී-ඩේ මෙහෙයුමේ සංවේදී දත්ත ජර්මානුවන් අතට පත් කිරීමට උත්සාහ ගත්තා දැයි සැකයක් මතු වේ.
එමෙන්ම මෙම මෙම හරස්පද ප්‍රෙහෙලිකා සිද්ධිය ඩේලි ටෙලිග්රාෆ් පුවත්පතට එල්ල වූ පළමු කුමන්ත්රණ සිදු වීමද නොවීය. ඊට වසර දෙකකට පෙර එනම් 1942 දී එම පුවත්පතේ පළවූ තවත් හරස්පද ප්‍රෙහෙලිකාවක "ප්‍රංශයේ වරායකි" යන ඉඟියට පිළිතුර ලෙස 'ඩයිප්' (Dieppe) යන වචනය සදහන් විය. මෙම වචනය සමීප වූයේ එම කාලයේ ජර්මනිය සතුව පැවති උතුරු ප්‍රංශයේ ඩයිප් වරාය තුළ මිත්‍ර හමුදා විසින් සිදු කරන ලද අසාර්ථක වැටලීමටය. එහෙත් මෙම සිදුවීම පිළිබඳ බ්‍රිතාන්‍ය බුද්ධි සේවාව වන MI5 විසින් සිදු කරන ලද පරීක්ෂණයේ අවසාන නිගමනය වූයේ මෙම හරස්පද ප්‍රෙහේලිකාව තුළ මෙම වචනය සදහන් වූයේ ඇදහිය නොහැකි තරම් අහඹු සිදු වීමක් ලෙස බවයි. ඒ හා සමානවම 1944 දී සිදු වූ හරස්පද ප්‍රෙහේලිකා සිදුවීමද අහඹුවක් බවට අවසානයේ ඔවුන් නිගමනය කරන ලදී.
ඒ කෙසේ වෙතත් මෙම ඉතා රහසිගත සංකේත නම් සමඟ සමපාත වූ විසඳුම් ප්‍රමාණය පිලිබඳව බොහෝ දෙනා අතර විශාල සැකයක් මතු විය. මේවා සම්මත හරස්පද ප්‍රෙහෙලිකා පද වුවද මේ ආකාරයෙන් අදාල දිනයන් ආසන්නයේම මෙම සංකේත නාමයන් රාශියක් මෙහි පැවතියේ කෙසේද යන්න බොහෝ බුද්ධි අංශ නිලධාරීන් සතුව පැවති ගැටළුවකි. මේ හේතුව නිසා මෙය ඩී-ඩේ මෙහෙයුම කඩාකප්පල් කිරීමේ මහා සැලැස්මක කොටසක් නොවන බවත් ඒ වෙනුවට එය අහම්බයක් පමණක් වූ බවත් බොහෝ බුද්ධි අංශ නිලධාරීන් පිළිගැනීමට අකමැති විය.
මෙම සැක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස MI5 විසින් මෙම හරස්පද ප්‍රහේලිකාව සැකසීම භාරව සිටි පුද්ගලයා සොයා ගන්නා ලදී. ඒ අනුව මෙම හරස්පද ප්‍රහේලිකා වල නිර්මාණකරු වූයේ ගුරුවරයෙකු මෙන්ම සරේ හි එෆින්හැම් නම් කුඩා නගරයේ ස්ට්‍රැන්ඩ් පාසලේ විදුහල්පතිවරයාද වූ ලෙනාඩ් ඩාවේ නම් පුද්ගලයාය. ඒ අනුව MI5 හි නියෝජිතයින් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන ලදී.
එහෙත් බුද්ධි අංශ විසින් සිදු කල වැඩිදුර පරීක්‍ෂා කිරීම් වලින් සහ ප්‍රශ්ණ කිරීම් වලින් අනතුරුව ඩී-ඩේ මෙහෙයුමේ කිසිදු තොරතුරක් ඩාවේ සතුව නොතිබූ බව ඔවුන් අනාවරණය කර ගන්නා ලදී. ඩාවේ යනු ජර්මානුවන් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති 54 හැවිරිදි ගුරුවරයෙකු වූ අතර ඔහු මෙම හරස්පද ප්‍රහේලිකාව සඳහා විසදුම් තෝරා ගෙන තිබුණේ අහම්බෙනි.
එමෙන්ම ඩාවේ සේවය කළ පාසලේ ශිෂ්‍යයෙකුද ඔහුගේ ධනාත්මක ස්වභාවය අවධාරණය කළ අතර ඔහු බ්‍රිතාන්‍ය රජයට පක්ෂපාතී පුරවැසියෙකු බවට තහවුරු කළ අතර ඊට අමතරව ඔහුට මේ සිදු වූ දෙය අසා ඔහු කම්පා විය. ඒ හා සමානවම ඩේලි ටෙලිග්රාෆ් පුවත්පතද සහතික වූයේ ඩාවේ කිසි විටෙකත් ද්රෝහියෙකු නොවන බවයි.
ලෙනාඩ් ඩාවේ දේශද්‍රෝහියෙකු නොවිය හැක. නමුත් ඩී-ඩේ මෙහෙයුමේ 40 වන සංවත්සරය සැමරූ වසරේදී මෙම සිදුවීම හා සම්බන්ධ තවත් තොරතුරක් හෙළිදරව් විය. එනම් 1984 දී ඩේලි ටෙලිග්රාෆ් පුවත්පත මෙම ඇදහිය නොහැකි අහඹු සිදුවීම පිළිබඳ නැවත සලකා බැලීමට තීරණය කළ අතර මෙම සිද්ධිය අහම්බෙන් සිදු වූ දෙයක් ලෙස බැහැර නොකොට ඔවුන් ඒ පිළිබඳව තවත් තොරතුරු සෙවීම සඳහා කටයුතු කරන ලදී.
එහිදී හෙළිවන ලද්දේ ඩාවේ මෙම හරස්පද ප්‍රහේලිකා සැකසීමේදී ඔහුගේ සමහර සිසුන්ගෙන් එය නිර්මාණය කිරීම සඳහා සහාය ලබා ගෙන ඇති බවයි. රොනල්ඩ් ෆ්‍රෙන්ච් නම් ඔහුගේ එක් සිසුවෙකු ඩේලි ටෙලිග්‍රාෆ් වෙත මෙම තොරතුරු ලබා දෙන ලදී. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ තමන් ජීවත් වන ගම්මානය අසල තිබෙන හමුදා කදවුරු වල සිටින සොල්දාදුවන් මෙම සංකේත නාම භාවිතා කරමින් කතා කරනවා තමා අසා සිටි බවත් පසුව ඔහු ඒවා මෙම හරස්පද ප්‍රෙහෙලිකා සදහාද යොදා ගත් බවයි.
ඒ අනුව අවසානයේ නිගමනයකට එන ලද්දේ සොල්දාදුවන්ගේ නොසැලකිලිමත් බව නිසා මෙම සිදු වීම සිදු වී ඇති බවයි. එකල මෙම සිසුවා නොසැලකිලිමත් සොල්දාදුවන්ගෙන් මෙහෙයුමේ සංකීර්ණ තොරතුරු දැන ගත් අතර ඊට අමතරව ඔහු සතුව මුළු මෙහෙයුමම අනතුරට පත් කළ හැකි තොරතුරු වලින් පිරුණු සටහන් පොතක් පවා තබා තිබුණි.
ඩී-ඩේ සිද්ධියෙන් පසු ඩාවේ විසින් රොනල්ඩ් ෆ්‍රෙන්ච්ට මේ කිසිදු දෙයක් කිසිවෙකුටත් ප්‍රකාශ නොකරන ලෙස පවසා ඇති අතර මේ සියල්ලේම වගකීම ඔහු බාර ගෙන ඇත. එමෙන්ම කුඩා ෆ්‍රෙන්ච්ට ජර්මානුවන්ට උදව් කිරීමට කිසිදු නපුරු චේතනාවක් නොතිබූ බවත් ඔහු නොසැලකිලිමත් ශිෂ්‍යයෙක් පමණක් බවත්ඔහුගේ ගුරුවරයා වූ ලෙනාඩ් ඩාවේ හොදින් දැන සිටින ලදී. ඩී-ඩේ මෙහෙයුම සාර්‍ථක වීමත් සමඟ ඩාවේ සහ ෆ්‍රෙන්ච් මෙම තොරතුරු සදහටම සඟවා තැබීමට කටයුතු කරන ලදී. එහෙත් ඉන් වසර 40 කට පසු රොනල්ඩ් විසින් සියලු දෙනාම අහම්බයක් ලෙස සැලකූ මෙම සිදු වීමේ ඔහුගේ භූමිකාව පිළිබඳ ඩේලි ටෙලිග්රාෆ් පුවත්පතට දැනුම් දීමට කටයුතු කරන ලදී.
රොනල්ඩ් ෆ්‍රෙන්ච්ගේ සහ ලෙනාඩ් ඩාවේගේ වාසනාවට ඩී-ඩේ මෙහෙයුම සාර්ථක විය. එමෙන්ම ඊට අමතරව දිනපතා පුවත්පතක හරස්පද ප්‍රහේලිකාවක් තුළින් දෙවන ලෝක යුද්ධය සහමුලින්ම වෙනස් කිරීමට සමත් වන ආකාරයේ බුද්ධි තොරතුරක් සොයා ගැනීමට හැකි වනු ඇතැයි ජර්මානු බුද්ධි අංශ කිසි විටෙකත් නොසිතන්නට ඇත.
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment