ඔක්තෝබර් - 13 , ස්වභාවික ආපදාවන් අවම කර ගැනීම සඳහා වන ජාත්‍යන්තර දිනයයි.
ආපදා අවදානම අවම කිරීමේ ගෝලීය සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඔක්තෝබර් 13 වන දින ආපදා අවදානම් අවම කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කර ඇත.
ආපදා අවම කිරීමේ ජාත්‍යන්තර දිනය, 1989 වසරේ පටන් ඔක්තෝබර් 13 වැනි දින ලෙස නම්කර ඇත. වඩාත් ඵලදායී ලෙස ආපදාවලින් වන බලපෑම් කළමනාකරණයට ජාතීන් උනන්දු කරවීම, එහි අරමුණ ය. සුනාමි ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාව ද ආපදා කළමනාකරණය සම්බන්ධ අවධානය යොමු කර ඇත. ශ්‍රී ලංකාවේ මිනිස් ජීවිත, සෞඛ්‍ය, දේපොළ, යටිතල පහසුකම් ආදිය සහිත සමස්ත පරිසරය රැකගනු වස්, 2015 අංක 13 දරන ව්‍යසන කළමනාකරණ පනත හඳුන්වා දී ඇත. ආපදා කළමනාකරණය සඳහා වූ ජාතික සභාව හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පිහිටුවන ලද්දේ, එහි ප්‍රතිඵලයක් ලෙස ය. ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ක්‍රියාවලියට ඇති තවත් අභියෝගයක් වන්නේ, පවත්නා නෛතික රාමුව තුළ ක්‍රියාත්මක වීමේ අපහසුතා ඇතිවීමයි. අවදානම් බිමකින් ජනතාව අකමැත්තෙන් ඉවත් කිරීමේ බලයක් නිලධාරීන්ට නොමැත. බෑවුම් කපා දමමින්, ඉදිකිරීම් කිරීමේදී අනුගමනය කළ යුතු සංරක්ෂණ ක්‍රමෝපාය මඟහැරුණු විට ගත යුතු ස්ථිර විසැඳුම් පිළිබඳ, නෛතික එකඟතාවක් ද නැත.
විවිධ කාලවලදී ශ්‍රී ලංකාවේ ඇති වූ ගංවතුර සහ නායයෑම් පිළිබඳ අත්දැකීම් අපට ඇත. 2003 වසරේ ඇති වූ ගංවතුර සහ නායයෑම් විපත අවසන් වී, 2004 වසරේදී අප භයානකම ව්‍යසනයකට ගොදුරු විණි. ඒ, සුනාමි ඛේදවාචකයයි. ඉන්පසුව 2016 වසරේ මෝසම් වැසි සක්‍රීය වීමත්, රෝනු කුණාටුවත් හේතුවෙන් අධික වර්ෂාපතනයක් ඇති විය. ඉතිහාසයේ නොවූ විරූ පරිදි කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක සහ බුලත්කොහුපිටියේ මහා පරිමාණයේ නායයෑම් රැසක් වාර්තා විය. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථාන ගංවතුරට බිලි විය. අතිවිශාල ජීවිත සහ දේපොළ ප්‍රමාණයක් මේ නිසා අහිමි විය. දිනෙන් දින උග්‍ර වෙමින් පවත්නා ව්‍යසන මඟින් උද්ගත වන ආපදා තත්ත්වවල බලපෑම අවම කිරීමට, ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් දැනුම්වත්භාවය, අවබෝධය, කැපවීම මෙන් ම, මනා සන්නිවේදනයක් පැවැතීමත් අත්‍යවශ්‍ය වේ.
දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාව බරපතල ලෙස බැට කා ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පෙන්වා දෙයි. ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයේ 2020 නවතම දත්ත සැළකිල්ලට ගනිමින් ඒ මහතා පෙන්වා දෙන්නේ කාලගුණය ආශ්‍රිතව සිදුවූ කුණාටු, ගංවතුර, තාප තරංග ආදියෙන් සිදුවූ අලාභානිවලින් වැඩිපුරම බලපෑමට ලක්ව ඇත්තේ පිළිවෙලින් ජපානය, පිලිපීනය, ජර්මනිය, මැඩගස්කරය හා ඉන්දියාව වන අතර ශ්‍රී ලංකාව හයවන ස්ථානයට පත්ව ඇත. කාර්මික රටවලට වඩා ඌන සංවර්ධිත රටවල් ආපදාවලින් බලපෑමට ලක්වීමේ වැඩි ප්‍රවනතාවයක් දක්වන බව ඔහු පවසා සිටී. එබැවින් දේශගුණික විපර්යාස අවම කිරීම වෙනුවෙන් ලොව පුරා සියලුම රටවල ආත්මාර්ථකාමිත්වය පසෙකලා ක්‍රියාත්මක විය යුතුව ඇත.
අනාගත දේශගුණික විපර්යාස සම්බන්ධයෙන්, දේශගුණික අවදානම් දර්ශකය දැනටමත් පවත්නා අවදානම සඳහා රතු ධජයක් පෙන්වා දී ඇති අතර එය දේශගුණික විපර්යාස හේතුවෙන් ආන්තික සිදුවීම් නිතර ඇතිවිය හැකි බව හෝ දරුණු බවට පත්වන ප්‍රදේශවල ඇතිවන සිදුවීම් තවදුරටත් ඉහළ යා හැකි බවට ඒත්තු ගන්වයි.
දේශගුණික විපර්යාසයන්ගෙන් දැඩි ලෙස පීඩාවට පත්වන්නේ එවන් උපද්‍රවයකදී සිදුවන හානිකර බලපෑම්වලට වඩා අවදානමට ලක්වීමේදී ඒවාට මුහුණ දීමේ හැකියාව අඩු බැවිනි. මෙම අවශ්‍යතා සපුරාලීම සඳහා මූල්‍ය සම්පත් උත්පාදනය කිරීම හා ලබා දීම සඳහා දේශගුණික විපර්යාසයන්ට අනුගත වීමේ පියවර ක්‍රියාත්මක කිරීම හා ශක්තිමත් කිරීම වහා කළ යුතුව ඇත.
ලෝක ජනතාව දේශගුණික අනාථයන් බවට පත්වීමේ කටුක ඛේදවාචකයෙන් මුදවා ගන්නට නම් තිරසර සංවර්ධන ඉලක්ක සහ පැරිස් දේශගුණික ප්‍රඥප්තියට අනුකූලව දේශගුණික විපර්යාසයන් අවම කර ගැනීමේ ක්‍රියාවලීන්ට ජාත්‍යන්තර ප්‍රමුඛතාවය මේ අවස්ථාවේ හිමි විය යුතුව ඇත. ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස අවම කරන්නට හා එයට මුහුණදීමට ජනතාවගේ හැකියාවන් වැඩිදියුණු කරන්නට සිදුකරන කටයුතු ප්‍රමාණවත් නැත.
ශ්‍රී ලංකාව වන විනාශය තවමත් අධිකව සිදුකරන අතර විදුලිය නිපදවිමෙදී ගල් අඟුරු හා ප්‍රවාහනයේදී පොසිල ඉන්දන දහනය තව දුරටත් සිමා කිරීමකින් තොරව ප්‍රචලිත කරයි. සත්‍ය ලෙස කාබන් පියසටහන අවමකරනු වෙනුවට ඉන්සුවරන්ස් ඇතුළු වෙළඳපොල උපක්‍රම අපදා පාලනයට සත්‍ය විසදුමක් නොවේ.
මාධ්‍ය අංශය,පරිසර යුක්ති කේන්ද්‍රය
0 comments:
Post a Comment