සෑම වසරකම ඔක්තෝබර් 09 වනදා ලෝක තැපැල් දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ලොව සෑම රටක්ම පාහේ ලෝක තැපැල් දිනය උත්කර්ෂවත් අයුරින් සමරනු ලබන අතර ශ්‍රී ලංකාවේ ද මෙවර සමරනු ලබන්නේ 147 වැනි සැමරුමයි. මෙරට සන්නිවේදනයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා තැපැල් සේවය සිය මහජන මෙහෙවර වඩවඩාත් පොදු ජනතාව වෙත සමීප කරවමින් නව තාක්ෂණය සමඟින් අත්වැල් බැඳගෙන දිගු ගමනකට මුල පුරා තිබේ.
විශ්ව තැපැල් සංගමය
ලෝකයේ රටවල් 193ක් සාමාජිකත්වය දරන විශ්ව තැපැල් සංගමය තැපැල් කටයුතු පිළිබඳ විශ්ව මෙහෙයුම් මධ්‍යස්ථානය වශයෙන් හැඳින්වේ. ලිපි තැපැල් කිරීමෙන් සමාරම්භ වූ තැපැල් සේවය ක්‍රමයෙන් භාණ්ඩ වෙනත් විවිධාංගීකරණයට ලක් වූ වානිජ්‍ය සේවාවන් සපයමින් ලෝක වාසීන්ට මහඟු මෙහෙවරක් ඉටු කරමින් සිටී. ජාත්‍යන්තර තැපැල් කටයුතු ව්‍යාප්ත වීමත් සමඟින් පොදුවේ පිළිගනු ලබන එකගතාවයන් නීතිරීතිවල අවශ්‍යතාවය මතු වීම නිසා ජාත්‍යන්තරව පිළිගත හැකි සම්මුතින් වලට එළබීමේ අවශ්‍යතාවය මතු වූයේය.
මෙවැනි එකමුතුවක් පිළිබඳ ප්‍රථම වරට අදහස් ඉදිරිපත් කරන ලද්දේ ඇමරිකා එක්සත් ජනපදයේ පෝස්ට් මාස්ටර් ජනරාල් ධූරය හෙබ වූ ටොන්ටිගෝමරි බ්ලෙයාර් මහතාය. වසර 1863 මැයි 11 වැනිදා ඇමරිකාව සහ යුරෝපය රටවල් 15 ක නියෝජිතයන් ප්‍රංශයේ පැරිස් නුවරට රැස් වී ජාත්‍යන්තර තැපැල් කටයුතු පිළිබඳ දිවිපාර්ශ්වීය එකඟතාවයන් සඳහා පොදු නීති මාලාවක් ඇති කරගනු ලැබිණි.
මෙම පසුබිම තුළ වඩාත් ප්‍රායෝගිකව සහ පුළුල්ව තැපැල් කටයුතු ජාත්‍යන්තරකරණය සඳහා වන අදහසක් උතුරු ජර්මානු තැපැල් සේවයේ නිලධාරියෙකුව සිටි හෙන්රිචි වොන් ස්ටීවන් විසින් ඉදිරිපත් කළේය. ස්විස්ටර්ලන්තයේ බර්න් නගරයේ දී රටවල් 22ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් 1874 සැප්තැම්බර් 15 වැනිදා ඇරඹි මෙම සමුළුවේ දී ගනු ලබන තීරණයකට අනූව ඔක්තෝබර් 09 වැනිදා ඓතිහාසික බර්න් ගිවිසුම අතසන් කරමින් ජෙනරල් පෝස්ට් යූනියන් (General Postal Union) නමින් නව සංවිධානයක් ආරම්භ කරන ලදී. වර්ෂ 1878 දී සංවිධානයේ නාමය විශ්ව තැපැල් සංගමය (Universal Postal Union -UPU) බවට පරිවර්තනය විය.
ලෝක සමුළුවක් වශයෙන් 1874 දී තැපැල් සංගමය නිර්මාණය වීමත් සමඟ මෙම සංවිධානයේ සැසිවාර කිහිපයක්ම පවත්වන ලද අතර පැවැත්වෙන ස්ථානය වසරින් වසර රටින් රටට මාරුවෙමින් පැවතුනි. මේ අයුරින් තැපැල් සමුළු සාමාජික රටවල පැවැත්වීමේ දී සංගමයක් වශයෙන් මුදුන් පමුණුවා ගත් ගෞරවයන් සහ ජයග්‍රහණයන් සැමරීමට ඊටම ආවේනික වූ දිනයක් නොමැති අඩුපාඩුව කැපී පෙනෙන්නට විය.
වසර 1969 දී ටෝකියෝ නගරයේ පැවැති ලෝක සමුළුවේ දි බර්න් ගිවිසුම අත්සන් කළ ඔක්තෝබර් 09 වැනිදා විශ්ව තැපැල් දිනය වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. වසර 1984 දී හැම්බර්ග් සමුළුව විශ්ව තැපැල් දිනය ලෝක තැපැල් දිනය (World Post Day) වශයෙන් භෞතිස්ම කරන ලදී.
විශ්ව තැපැල් සංගමයට දෙවරක් සමාජිකත්වය ලබා ගත් රටක් වශයෙන් ශ්‍රී ලංකාව ඉතිහාස ගත වි තිබේ. වර්ෂ 1877 අප්‍රේල් 01 වැනිදා බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වශයෙන් සාමාජිකත්වය හිමි කර ගත් ශ්‍රී ලංකාව (එවකට සිලෝන්) වර්ෂ 1949 ජුලි 13 වැනිදා නිදහස් රාජ්‍යයක් වශයෙන් නැවතත් සමාජිකත්වය හිමි කර ගත්තේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වඩාත්ම පැරණි විශේෂිත නියෝජිතායතනය වශයෙන් ලෝක තැපැල් සංගමය වර්ෂ 1948 ජුලි 01 වැනිදා සිට සංවිධාන ගොනුවට එක් විය.
මුද්දර ඉතිහාසය
වර්ෂ 1840 මැයි මස 06 වැනිදා බ්‍රිතාන්‍යයේදි ලොව ප්‍රථම මුද්දරය එළිදැක්විණි. එවකට පැවති ලිපි ලබන්නා විසින් තැපැල් ගාස්තු ගෙවීමේ ක්‍රමවේදයේ පැවති ගැටලු සහගත තත්වය විසදීම සඳහා ලිපිය තැපැල් කරන්නා කිසියම් නිශ්චිත බරක් වෙනුවෙන් අදාළ තැපැල් ගාස්තුව ගෙවා ඊට සරිලන වටිනාකමින් යුත් මුද්දරයක් ඇලවීමේ ක්‍රමය එදින සිට ආරම්භ විය.
ඉක්බිතව බ්‍රිතාන්‍ය යටත් විජිතයන් හි මෙම මුද්දර නිකුත් කිරීම ජනප්‍රිය වූ අතර ක්‍රමයෙන් ලොව පුරා එය ව්‍යාප්ත වී ගියේ ය. ශ්‍රී ලංකාව වර්ෂ 1857 අප්‍රේල් 01 වැනිදා සිය මංගල තැපැල් මුද්දරය නිකුත් කරමින් මුද්දර සහිත තැපැල් ලෝකයට එක් විය.
ශ්‍රී ලංකාවේ තැපැල් ඉතිහාසය
ශ්‍රී ලංකාවේ තැපැල් සේවයේ සමාරම්භය පිළිබඳ නිශ්චිත දින වකවානු සොයාගත නොහැකි වන අතර අනුමාන වශයෙන් එය 17 වන සියවස අගභාගයේ දී පමණ ලන්දේසී ජාතිකයන්ගේ මූලිකත්වයෙන් ඇරඹි බව පොදුවේ පිළිගනු ලබයි. ලොව ප්‍රථම බහුජාතික සමාගම වන යුනයිටඩ් ඩබ්.ඊස්ට්. ඉන්දියා කොම්පැණිය හෙවත් පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම මඟින් ලන්දේසීහූ තම යටත් විජිත අතර පණිවිඩ හුවමාරු ක්‍රමයක් නිර්මාණය කරගෙන තිබුණි.
ලන්දේසීන් විසින් මෙරට මුහුදුබඩ පළාත්වල බලය නතුකරගැනීමෙන් පසු සිය පණිවිඩ හුවමාරුව සඳහා කොළඹ, ගාලල, ත්‍රිකුණාමලය, මන්නාරම සහ යාපනය යන ස්ථානවල තැපැල් කාර්යාල ස්ථාපනය කළේය. වර්ෂ 1796 දී ඉංග්‍රීසින් විසින් ලන්දේසීන් පළවා හැර මෙරට මුහුදු බඩ ප්‍රදේශ නතු කර ගැනීමෙන් පසු සිදුකරන ලද විමර්ශනවලදී ඉහත නගර වල පිහිටුවා තිබූ තැපැල් කාර්යාල සහ ඊට අනුබද්ධ කාර්යමණ්ඩලය පිළිබඳ වාර්තා හමු විය.
වර්ෂ 1798 ඔක්තෝබර් 12 වැනිදා මෙරට ප්‍රථම සිවිල් ආණ්ඩුකාරවරයා වශයෙන් සර් ෆෙඩ්රික් නොර්ත් සැපැත් වූ අතර එවකට පැවති තැපැල් සේවය පිළිබඳ සවිස්තර වාර්තාවක් සකසා ඔහුට ඉදිරිපත් කරන ලදී. එය සකසනු ලැබුවේ තැපැල් කටයුතු භාර හමුදා නිලධාරියෙකු වූ කැප්ටන් කෙනඩි මහතායි. ඔහු මෙරට ප්‍රථම තැපැල් ස්ථානාධිපතිධූරයට පත් විණි. නෝර්ත් ආණ්ඩුකාරවරයාගේ කාර්යමණ්ඩල සාමාජිකයෙකු වූ ඇන්තනී බර්ත්ලොච්චි මහතා මෙරට තැපැල් සේවය පිළිබඳ පුළුල්ව අධ්‍යයනය සිදු කරන ලද අතර මෙරට පූර්ණ යටත් විජිතයක් බවට පත්වීමට පෙර මෙරට ප්‍රථම පෝස්ට් මාස්ටර් ජෙනරාල් (1799-1805) වශයෙන් කටයුතු කළේය. වර්ෂ 1799 ජනවාරි 15 වැනිදා මෙරට ප්‍රථම වරට තැපැල් නීති රීති හා ගාස්තු හඳුන්වා දී ම සිදු කරන ලද්දේ මෙතුමන්ගේ මූලිකත්වයෙනි.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මූලාශ්‍රයනට අනූව එම දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ වර්ෂ 1815 දීය. ශ්‍රී ලංකාව පුරාණ යටත් විජිතයක් වූ පසුව පිහිටුවනු ලැබූ තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රථම පෝස්ට් මාස්ටර් ජනරාල්වරයා වූයේ ඊ.බ්ලැටර් ම න් මහතායි.
වර්ෂ 1907 දී තැපැල් කාර්යාල අඥා පනතට අනූව අස්ථානගත වන තැපැල් සම්බන්ධතාවන් පෝස්ට් මාස්ටර් ජෙනරාල් වග නොකියනු ලැබේ යන වගන්තිය යටතේ සාමාන්‍ය ජනතාවගෙන් ලිපි බෙදා හැරිම සඳහා බාරගෑනිම ඇරඹිණි.
තාක්ෂණික හෝ මූල්‍යමය සීමාවන් රහිතව වඩාත් සමීපව හා දැරිය හැකි මිලකට සන්නිවේදන සේවාවන් ලබා දෙන තැපැල් සේවය කෙරෙහි තවමත් බහුතර ජනතාවගේ විස්වාසය පවති. තාක්ෂණික දියුණුව හමුවේ සම්ප්‍රදායික තැපැල් සේවය අභියෝගයට ලක් වුවද එය ලොවින් තුරන් කිරීමට නම් නොහැකි වන්නේය. එමෙන්ම සම්ප්‍රදායික තැපැල් සේවය ද නූතනයට ගැලපෙන අයුරින් විවිධාංගීකරණයට ලක් නොවුව හොත් ජනතාවගේ විශ්වාසය අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකිවනු ඇත. නුතනයේ විශ්ව තැපෑල මුහුන දෙන ප්‍රධානතම අභියෝගය වනුයේ එයයි. පවත්නා ගෝලීය ප්‍රවනතාවයන් සහ මානව අවශ්‍යතාවයන් ඉතාමත් තෘප්තිමත් අයුරින් මුදුන් පමුණුවා ගැනිමට දරන උපරිම උත්සහය තුළ තැපෑල නම් ඉපැරණි සන්නිවේදකයාගේ ඉරණම රදා පවතිනු ඇත.
නිරෝෂණ පිරිස්
0 comments:
Post a Comment