ඔබ 'schindler's list' නම් අග්‍රගණ්‍ය සිනමා පටය නරඹා ඇත්නම් එහි ප්‍රධාන චරිතය වන ඔස්කාර් ෂින්ඩ්ලර් සහ ඔහු යුදෙව්වන් 1,200 ක් පමණ මරණයෙන් බේරාගත් ආකාරය පිළිබඳ හොදින් දන්නවා ඇත. නමුත් ජපානයේ ව්‍යාපාරිකයෙකු වූ 'චියූන් සුගිහාරා' ගැන බොහෝ දෙනෙක් දන්නේ නැත. ඔහුද ෂින්ඩ්ලර් මෙන්ම යුදෙව්වන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත බේරා ගැනීම සඳහා තම බලය හා තත්වය භාවිතා කරන ලදී.
ටයිම්ස් ඔෆ් ඊස්රායල් පුවත්පතට අනුව 1940 දී චියූන් සුගිහාරා එවකට ලිතුවේනියාවේ අගනුවර වූ කෞනාස් හි උප කොන්සල්වරයා (vice-consul) විය. එම නගරයේ 30,000ක පමණ විශාල හා සමෘද්ධිමත් යුදෙව් ප්‍රජාවක් වාසය කරන ලදී. ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමග එහි සිටි යුදෙව්වන්ද දහස් ගණනක්ද 1939 සිට 1940 දක්වා කාලය තුළ එම නගරයට පලා එන ලදී.
එහෙත් 1940 දී සෝවියට් සංගමය ලිතුවේනියාව ඈඳා ගැනීමෙන් පසුව කෞනාස් හි ජනතාව එහි සිරවූ අතර කිසිවෙකුට රටින් පිට වීමට නොහැකි විය. ඔවුන්ට ලිතුවේනියාවෙන් පිටව යාමට නොහැකි වූ හේතුව වූයේ වීසා නොමැතිව සෝවියට් භූමිය හරහා නැගෙනහිර දෙසට ගමන් කිරීමට ඉඩ ලබා නොදීමයි. මෙම යුදෙව් සරණාගතයින් බොහෝ දෙනෙකුට අවශ්‍ය වූයේ කැරිබියන්, කුරකාඕ සහ ගයනා වෙත යාමට වුවත් ආරක්ෂිතව එහි යාමට නැගෙනහිර ආසියානු රටකට වීසා බලපත්‍රයක් අවශ්‍ය විය.
මෙම පිරිස් වලට උපකාර කළ හැකි මාර්ගයක් පිළිබඳව සුගිහාරා සෑම විටම සොයා බලන ලදී. අවසානයේ තම මව්බිම වන ජපානය මාරුවීමේ ස්ථානයක් ලෙස යොදා ගනිමින් ඔවුන්ට උදව් කිරීමට ක්‍රමයක් තිබෙන බව ඔහු සොයා ගන්නා ලදී. මෙසේ සුගිහාරා විසින් නිකුත් කිරීමට බලාපොරොත්තු වූ වීසා බලපත්‍ර මඟින් ඔවුන්ට සෝවියට් සංගමය හරහා ජපාන භූමියටත් පසුව කැරිබියන් දූපතටත් යාමට හැකියාව ලැබුණි.
යුද්ධය කෙමෙන් දරුණු අතට හැරෙනා විට සියලුම විදේශ තානාපතිවරුන්ට නගරයෙන් පිටවන ලෙස නියෝග කරන ලදී. එහෙත් සුගිහාරා තම ඉහළ නිලධාරීන්ට පැවසුවේ තමාට තවත් දින 20ක් එහි රැඳී සිටීමට අවශ්‍ය බවයි. පසුව ඔහු තම සැලැස්ම අනුමත කරන ලෙස ජපාන විදේශ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ට ලිපියක් යවන ලදී. එහෙත් ජපාන බලධාරීන් විසින් මේ යුදෙව් සරණාගතයින් සඳහා වීසා නිකුත් කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන ලදී. ඉන් නොසැලුණු චියූන් සුගිහාරා තම උසස් නිලධාරීන්ට යළි තුන් වතාවක් ලිපි යවමින් තමාට උදව් කරන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටින ලදී. එහෙත් ඒ සෑම වතාවකම ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ අතර අවසානයේ ඔහුට එක් මාර්ගයක් තෝරා ගැනීමට සිදු විය. එනම් ඉහළ නියෝග පිළිපදිනවා ද? නැතහොත් තම හෘදය සාක්ෂියට අනුව කටයුතු කරනවාද? යන්නයි.
අවසානයේ ඔහු තම හෘදය සාක්ෂියට අනුව කටයුතු කිරීමට තීරණය කරන ලදී. ජපන් සංස්කෘතියට අනුව පැහැදිලිවම විනය සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇති අතර එබැවින් සුගිහාරා ඔහුගේ ඉහළ නිලධාරීන්ගේ නියෝග කඩ කිරීම අතිශයින්ම බරපතල කාරණයක් විය. ඔහු තම තනතුර සතු බලය අනිසි ලෙස භාවිතා කර නියෝගවලට පටහැනිව කටයුතු කළහොත් දැඩි දඩුවම් වලට මුහුණ දීමට සිදු වන බවත් ඔහු හොදින් දැන සිටින ලදී.
සෑම දිනකම සිය ගණනක් වූ යුදෙව් පවුල් කෞනාස් හි ජපන් කොන්සල් කාර්යාලය ඉදිරිපිටට පැමිණෙමින් ඔවුන්ට උදව් කරන ලෙස සුගිහාරාගෙන් අයැද සිටින ලදී. අවසානයේ ඉහළ නිලධාරීන්ගේ අණට පිටුපා ඔහු තම බිරිඳගේ ද සහාය ඇතිව සුගිහාරා වීසා නිකුත් කිරීමට පටන් ගත්තේය. අගෝස්තු මාසයේදී සුගිහාරා සහ ඔහුගේ බිරිඳ මෙම පවුල් සඳහා සංක්‍රමණ වීසා බලපත්‍ර නිර්මාණය කර බෙදා හරින ලදී. සාමාන්‍යයෙන් වීසා බලපත්‍ර සැකසීමට මාස ගණනක් ගත වුවද ඔවුන් දිනකට වීසා 300 ක් පමණ නිකුත් කරන ලදී. තමා වෙත පැමිණි සෑම පුද්ගලයෙකුටම උපකාර කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටි සුගිහාරා නොනවත්වාම එක දිගට වැඩ කරන ලදී.
එහෙත් 1940 සැප්තැම්බර් 1 වන දින සුගිහාරාට දුම්රියෙන් ලිතුවේනියාවේ සිට බර්ලිනයට යාමට ඉහළින් අණ ලැබිණි. දුම්රිය ස්ථානයේදී පවා ඔහු දුම්රිය අසල රැස්ව සිටි පිරිසට ඒ මොහොතේදී වීසා ලියා දෙන ලදී. පිටත්ව යාමට පෙර අවසාන මොහොතේදී ඔහු දුම්රිය ස්ථානයේ රැඳී සිටි යුදෙව්වෙකුට තම මුද්දරය ලබා දුන් අතර, එමඟින් ඉතිරි පවුල් සඳහා වීසා බලපත්‍ර නිකුත් කිරීමට ඔහුට ඉඩ ලැබුණි. පිටත්ව යාමට පෙර ඔහුගේ අවසාන වචන වූයේ: “කරුණාකර මට සමාව දෙන්න, මට තවදුරටත් වීසා ලිවිය නොහැක. මම සියල්ල සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා."
චියූන් සුගිහාරා කොපමණ පිරිසකගේ දිවි බේරා ගත්තාදැයි නිශ්චිතවම කිව නොහැකි නමුත් ඔහු සංක්‍රමණ වීසා 6,000 ක් පමණ නිකුත් කර ඇතැයි ගණන් බලා තිබේ. මේවායින් බොහොමයක් පවුල් සඳහා නිකුත් කරන ලද ඒවා නිසා ඔහු බේරාගත් අයගේ සංඛ්‍යාව ඊටත් වඩා බොහෝ වැඩි විය හැක.
ඔහු පිටත්ව ගොස් වසරකට පසුව ජර්මානුවන් ලිතුවේනියාව යටත් කර ගත්හ. සුගිහාරා වෙතින් වීසා ලබා ගැනීමට අපොහොසත් වූ කෞනාස්හි යුදෙව්වන් වධකාගාර වලට පිටුවහල් කරනු ලැබූ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එහිදී මිය ගියහ.
ජර්මනියෙන් පිටවීමෙන් පසු සුගිහාර 1941 මාර්තු සිට 1942 අවසානය දක්වා ප්‍රාග්හි (චෙකොස්ලොවැකියාවේ) කොන්සල් ජෙනරාල් ලෙස කටයුතු කරන ලදී. 1942 සිට 1944 දක්වා චියූන් සුගිහාරා සිටියේ රුමේනියාවේ බුකාරෙස්ට්හි ය. පසුව සෝවියට් හමුදා රුමේනියාවට ඇතුළු වූ පසු සුගිහාරා සහ ඔහුගේ බිරිඳ සිර කඳවුරකට පිටුවහල් කරනු ලැබීය.
1946 දී ජපාන රජය විසින් ඔවුන් නිදහස් කර ගන්නා ලද අතර එහෙත් සුගිහාරා සිය රැකියාවෙන් පහ කරනු ලැබීය. එම නිසා ඔහු රජයේ නිලධාරියෙකුගේ සිට අස්ථිර මූල්‍ය තත්වයක් ඇති සාමාන්‍ය මිනිසෙකු බවට පත් විය. කෙසේ වෙතත් ලිතුවේනියාවේදී යුදෙව්වන්ට උදව් කිරීමට ඔහු ගත් තීරණය ගැන ඔහු කිසි විටෙකත් පසුතැවුණේ නැත. චියූන් සුගිහාරා 1986 ජූලි 31 වන දින ජපානයේදී මිය ගියේය. ඒ ඊශ්‍රායලය විසින් ඔහුගේ ධෛර්යය වෙනුවෙන් ලබා දුන් “Law between Peoples” නම් තනතුර ලැබීමෙන් වසර දෙකකට පසුවය.
විශ්මිත ඉතිහාසය
1940 සිට සුගිහාරා විසින් අනුමත කරන ලද වීසා බලපත්‍රයක් |
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment