අසංක ගමෙන් පිටවූයේ වසර හතරකට පමණ පෙරදී ය. ඒ මැදපෙරදිග රැකියාවකට යෑම සඳහා ය. රුවන්වැල්ලට ආසන්නයේ වාහනයක් හෝ ගමන් කළ නොහැකි දුෂ්කර ගමක ජීවත් වූ අසංක මාස තුනක නිවාඩුවක් උදෙසා යළි ලංකාවට පැමිණියේ ය. ලංකාවට පැමිණි දිනයේ යහළුවකුගේ නිවසේ නතර වූ ඔහු පසුදා පාන්දරම තම නිවස වෙත යෑමට පිටත්විය.
රුවන්වැල්ලේ සිට සැතපුම් කිහිපයක් ගමන් කළ පසු ඔවුන් පැමිණි වාහනයෙන් බැස පා ගමනින් ගමන් කිරීමට ඔවුනට සිදුවූයේ තම ගමට ඒ වන තුරුත් මාර්ගයක් සාදා නොතිබීම හේතුවෙනි. ප‍්‍රධාන මාර්ගයේ සිට ගමට සැතපුම් හතරක පමණ දුෂ්කර ගමන් මාර්ගයක් ගෙවා යා යුතුය. තේ වතු, කඳුගැට මෙන්ම කුඩා දොළ පහරවලින් අතරින් වැටුණු මාර්ගය මනඃකාන්තය. ඒ මනඃකාන්ත බව තුරන් කරමින් ගැමියන්ගේ ජීවිතවල සැඟවුණු අඳුරු සෙවණැලි මෙන් මහා හුදෙකලා බවක් ද තැනින් තැන මතුවෙයි. අසංක පැමිණියේ තම මිතුරකු ද සමඟිනි. ඔවුන් දෙදෙනා සෙමෙන් සෙමෙන් දුෂ්කර ගමන්මෙඟ් ඉදිරියට ගමන් කරමින් සිටියහ. වසර හතරක් ගෙවී ගොස් ඇතත්, වෙනස් වී ඇත්තේ තම ජීවිත පමණකැයි ඔවුන්ට සිතුණි. ප‍්‍රධාන මාර්ගයෙන් සැතපුම් භාගයක් පමණ ගමන් කළ විට නිවස සීමාව පසුවෙයි.
කුඩා වනරොද පසුවත්ම හමුවන කුඩා දොළ පහරෙන් පසු තේ වත්ත ඇරැුඹෙයි. උදෑසන ආලෝකය පරිසරය වෙළාගනිමින් පැවැතියත් උදැසන සීතලත් මිහිදුමත් පරිසරයේ ගුප්ත බව වැඩි කළේය.
නිවාස සීමාව පසු කරමින් ඉදිරියට ඇදෙන යහළුවන් දෙදෙනාට තරමක ඈතින් ගමන් කරනා තරුණියක් දැකගත හැකි විය. තැඹිලි පැහැයට හුරු සුදු මල් සහිත සරල ගවුමකින් සැරසී සිටි ඇයගේ අතේ කුඩා බෑගයක් ඇත. ඇය වැඩි කලබලයකින් තොරව ගමන් කරයි. අසංකගේත් ඔහුගේ යහළුවාගේත් නෙත් රැඳී තිබුණේ ඒ දෙසට ය. ඔවුන් තම ගමන වේගවත් කරන්නට වූයේ තරුණියට කිට්ටුවීමේ පරමාර්ථයෙනි. තරුණියට ළංවෙත්ම අසංකගේ යහළුවා ඇයට විහිළුවක් කිරීමේ අදහසින් මුවෙන් ශබ්දයක් නිකුත් කළේ ය. ඒ හඬට ඇය හැරී පසුපස බැලූවා ය. ඒ සැණින් අසංක ඇයව හඳුනාගත්තේ ය.
”මචං මුකුත් කියන්න එපා. අපේ ගමේ කෙල්ලෙක්.
අපේ ගෙවල් කිට්ටුව”
”නංගී කොහොමද?”
”මේ අසංක අයියා නේද?”
වසර හතර තුළ අසංකගේ පෙනුම බොහෝ සෙයින් වෙනස්ව තිබුණත් ඇය ඔහුව එකවරම හඳුනා ගත්තාය.
”අයියා ඊයේ නේද එන්න හිටියේ?”
”ඔව් නංගි, ඊයේ තමයි මම ආවේ. ඒත් එනකොට ටිකක් පරක්කු වුණා. ඒක නිසා යාළුවකුගේ ගෙදර ඉඳලා අද උදේ ආවා.”
තමා පැමිණෙන දිනය ඇය දන්නේ කෙලෙසද? අසංකගේ සිතට ගැටලූවක් මතුවිය. තමා පැමිණෙන බව අක්කාට කියා තිබුණත්, ඇයට ද ස්ථිර දවසක් කීවාදැයි ඔහුට මතක නැත. තමාගේ පැමිණීම පුදුමයක් කිරීමට ඔහුට අවශ්‍ය විය. එහෙත් තමා එන බව තමාට ම කියැවී ඇති බව ඔහු සිතුවේ ය. ඔවුනට හමු වූ තරුණිය නැතහොත් අනුකා තමාගේ පැමිණීම දන්නේ ද ඒ හරහා යැයි ඔහු උපකල්පනය කළේ ය.
”අයියලා හම්බවුණු එක හොඳයි. මම මේ ටික යන්නේ කොහොමද කිය කියා, හිත හිතා හිටියේ”
”නංගි මොනවද කරන්නේ?”
”මොන්ටිසෝරි එකේ උගන්වනවා”
”කොහේ ද?”
”ගමේමයි ...... ආයතනයෙන් දැම්මේ. ඒ ඒකේ ළමයින්ට නොමිලේ උගන්වනවා”
”එතකොට ආදායමක් නැද්ද?”
”නෑ. ඒ අය පඩියක් ගෙවනවා”
”ඇයි මේ, යන්න බයයි කිව්වේ, දැන් මේ පැත්ත වෙනස් වෙලාද?”
”මාස හයකට විතර කලින් තේ වත්තට පස්සේ තියෙන ගල් වැටිය හරියේ ගෑනු ළමයෙක්ව මරලදාලා තිබුණා.
”කාවද?”
”අයියා දන්නේ නෑ. අලූතින් ආපු කට්ටියක්”
”මරපු කෙනාව අහුවුණාද?”
”නෑ”
”ඇයි මරලා තියෙන්නේ?”
”ඒක මහා සහගහන අපරාධයක් අයියේ”
”ඒ ගෑනු ළමයයි, අම්මයි විතරයි ගෙදර හිටියේ. දෙන්නටම දරුණු උණක් හැදුණා. දවස් දෙක තුනක් ම බඩගින්නේ ඉඳලා තියෙනවා. මොකුත් ගෙන්න ගන්න සල්ලි තිබිලත් නෑ. කොහොම හරි අසනීප පිටින් ම මේ ගෑනු ළමයා පාරේ කඬේට ඇවිත් තියෙනවා”
කඩයට පැමිණීමට මේ මාර්ගයේ ම පැමිණ ප‍්‍රධාන පාරට පැමිණිය යුතුයි.
”තනියෙන් ද ඇවිත් තියෙන්නේ?”
”ඔව්. එවන්න කෙනෙක් ඉඳලා නෑ. කඩෙන් පාන් ගෙඩියක් ණයට අරගෙන එනකොට කසිප්පු විකුණන අමරෙයි, උගේ ගෝලයොයි ගල් තලාව උඩදී හම්බවෙලා”
”අමරේ තාම අරක්කු විකුණනවද? තාම ඉස්සර වගේ ද?”
”ඔව්. ඒ ළමයට කරදර කරන්න හදනකොට ඒ ළමයා වැඳ වැටිලා තියෙනවා. ‘මම අසනීපෙන් ඉන්නේ දවස් ගාණකින් කාලා නැතිව ඉන්නේ, මට හිරිහැර කරන්න එපා’ කියලා. ඒ නරුමයෝ දෙන්නා ඒ ළමයව ගල උඩදීම ¥ෂණය කරලා. ඒ ළමයට සිහි නැති වුණාට පස්සේ මැරුණා කියලා හිතලා ඔළුවට ගලක් අත ඇරලා ගල පල්ලටම මිනිය දාලා”
”ඇයි ඉතින් ඒ අයව අල්ලගත්තේ නැත්තේ?”
”ගමම මේ ගැන දන්නවා. ඒත්, කවුරුත් කියන්නෑ”
ඔවුහු කතාවෙන්, කතාවෙන් ගමට පැමිණියහ.
”අයියේ මම යාළුවෙක්ගේ ගෙදරට ගිහින් එන්නම්. අයියලා යන්න”
අසංක නිවසට පැමිණ පසුදා නිවසේ අයගෙන් මේ සිදුවීම පිළිබඳ විමසුවේ ය. මිනීමැරුම සිදු කළේ කවුදැයි ගමේ කිසිවකු දැන සිටියේ නැත. අසංක නිර්නාමිකව පොලීසියට මේ මරණයට වගකිව යුත්තා අමරේ යැයි ඔත්තුවක් දුන්නේ ය. කාලයේ වැලි තලාවෙන් වැසීයන්නට තිබූ මිනීමැරුමක් හෙළිවූයේ එලෙසිනි.
අසංක සමඟ සැතපුම් හතරක් කතා කරමින් පැමිණ තිබුණේ එදා මරා දැමුණු තරුණිය වූ වත්සලා ය, අසංකගේ යහළුවා නොසිටින්නට මෙය කිසිවකුත් විශ්වාස නොකරනු ඇත. අවසානයේ වැරැදිකරුවෝ නීතිය හමුවේ තම වරද පිළිගත්හ.
වෛදික ජ්‍යොතිෂ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර
0 comments:
Post a Comment