ක්‍රි.ව. හයවන සියවසේදී පමණ ග්වාතමාලාවේ නිවර්තන පහත් බිම් කේන්ද්‍ර කර ගත් මායා වරුන් කෘෂිකර්මාන්තය, මැටි භාණ්ඩ සෑදීම, හයිරොග්ලිෆ් ලිවීම(පින්තූර ස්වරූපයෙන් අක්ෂර භාවිතා කර ලිවීම), දින දර්ශන සෑදීම සහ ගණිතය යන අංශවලින් විශිෂ්ට වූ අතර විශ්මය ජනක ගෘහ නිර්මාණ ශිල්ප සහ සංකේතාත්මක කලා කෘති නිර්මාණ කිරීමටද සමතුන් විය. කෙසේවෙතත්, මායාවරුන් ඔවුන්ගේ මහා ගල් නගර බොහොමයක් ක්‍රි.ව.900දී පමන අතහැර දමන ලද අතර, 19 වන සියවසේ සිට විද්වතුන් මෙම පරිහානියට හේතු විය හැකි කරුනු පිළිබඳව විවාද කර ඇතත් අදටත් එය අභිරහසකි.
මායා ශිෂ්ටාචාරය මෙසෝඇමෙරිකාහි (16 වන සියවසේ ස්පාඤ්ඤය විසින් යටත් කර ගැනීමට පෙර මෙක්සිකෝව සහ මධ්‍යම ඇමරිකාව විස්තර කිරීමට භාවිතා කලේ මෙලෙසයි) ආධිපත්‍යය දැරූ ආදිවාසී සමාජයන්ගෙන් එකකි. මෙසෝඇමෙරිකා හි ජීවත් වූ අනෙකුත් ආදිවාසීන් මෙන් නොව මායාවරුන් එක් භූගෝලීය කොටසකට කේන්ද්‍රගත වී ජීවත් විය. යුකැටන් අර්ධද්වීපය සහ වර්තමාන ග්වාතමාලාව බෙලීස් සහ මෙක්සිකානු ප්‍රාන්ත වන ටබස්කෝ සහ චියාපාස් සහ හොන්ඩුරාස් සහ එල් සැල්වදෝරයේ බටහිර කොටස් වල මොවුන් මෙලෙස ජීවත් විය. මෙලෙස එක්ව ජීවත්වීම මගින් පෙන්නුම් කළේ මායාවරුන් වෙනත් මෙසෝඇමරිකන් ජනයාගේ ආක්‍රමණයන්ගෙන් සාපේක්ෂව සුරක්ෂිතව සිට ඇති බවයි.
එම ව්‍යාප්තිය තුළ මායාවරුන් විශේෂ පාරිසරික හා සංස්කෘතික වෙනස්කම් සහිත වෙනම උප ප්‍රදේශ තුනක ජීවත් විය;
යුකැටන් අර්ධද්වීපයේ උතුරු මායා පහත් බිම්.
උතුරු ග්වාතමාලාවේ පීටන් දිස්ත්‍රික්කයේ දකුණු පහත් බිම් සහ මෙක්සිකෝව, බෙලීස් සහ බටහිර හොන්ඩුරාස් වලට යාබද කොටස්.
දකුණු ග්වාතමාලාවේ කඳුකර ප්‍රදේශයේ දකුණු මායා කඳුකරය.
මේ අතරින් වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ, දකුණු පහත්බිම් කලාපයේ ජීවත් වූ මායා ශිෂ්ඨාචාරයයි. මායාවරුන්ගේ සම්භාව්‍ය කාල පරිච්ඡේදය (ක්‍රි.ව.250 සිට ක්‍රි.ව.900 දක්වා) ලෙස හදුන්වන සමයේදී ඔවුන් එහි උපරිම මට්ටමට ළඟා වූ අතර කලාපයේ ගවේෂකයින් සහ විද්වතුන් ආකර්ෂණය කර ගත් මහා ගල් නගර සහ ස්මාරක එහි ඉදිකොට ඇත.
මුල්ම මායාවරු යනු කෘෂිකාර්මික දිවි පෙවතක් ගෙන ගිය අතර ඉරිඟු, බෝංචි වැනි බෝග වගා කිරීම සිදු කළහ. ක්‍රි.ව.300දී පමණ පැවති මධ්‍ය පූර්ව කාල පරිච්ඡේදය තුළ මායා ගොවීන් උස්බිම් සහ පහත්බිම් ප්‍රදේශවලට ව්‍යාප්ත වීමට පටන් ගත්හ.
මධ්‍යම කාලපරිච්ඡේදය තුළ පළමු ප්‍රධාන මෙසෝඇමරිකන් ශිෂ්ටාචාරය වන 'ඔල්මෙක්ස්' හි නැගී සිටීම සිදු විය. Zapotec, Totonac, Teotihuacán සහ Aztec වැනි අනෙකුත් මෙසඇමරිකන් ජනයා මෙන්, මායාරුවන්ටද ඔවුන්ගේ ආගමික හා සංස්කෘතික ගතිලක්ෂණ ගණනාවක්ම ලැබුණු අතර ඔවුන්ගේ සංඛ්‍යා ක්‍රමය සහ ඔවුන්ගේ සුප්‍රසිද්ධ දින දර්ශනය ලැබුණේද ඔල්මෙක්වරුන් වෙතින් ය.
කෘෂිකර්මාන්තයට අමතරව පිරමිඩ ගොඩනැඟීම, නගර ඉදිකිරීම සහ ගල් ස්මාරක කැටයම් කිරීම වැනි වඩා දියුණු සංස්කෘතික ගති ලක්ෂණ ද මායාවරුන් විසින් ප්‍රදර්ශනය කළේය.
ක්‍රි.ව.250 දී පමණ ආරම්භ වූ ක්ලැසික් කාල පරිච්ඡේදය(The Classic Period) මායා අධිරාජ්‍යයේ ස්වර්ණමය යුගයයි. මෙම කාලයේදී මායා ශිෂටාචාරය ටිකාල්, උක්සැක්ටන්, කෝපන්, බොනම්පක්, ඩොස් පිලාස්, කැලක්මුල්, පලෙන්ක් සහ රියෝ බෙක් ඇතුළු නගර 40 ක් දක්වා වර්ධනය විය. සෑම නගරයකම ජනගහනය 5,000 ත් 50,000 ත් අතර විය. ඔවුන්ගේ උච්චතම අවස්ථාව වන විට මායා ජනගහනය 2,000,000 ක් හෝ 10,000,000 ක් පමණ විය හැකියැයි ගණන් බලා තිබේ.
මායාවරුන්ගේ භූමි වල සිදු කළ කැණීම් වලදී ප්ලාසා, මාළිගා, පන්සල් සහ පිරමිඩ මෙන්ම සුප්‍රසිද්ධ මායාවරුන්ගේ බෝල ක්‍රීඩාවක් වන 'උලමා' ක්‍රීඩා කිරීම සඳහා ඉදිකර ඇති ක්‍රීඩා පිටිද හමුවිය. මේ සියල්ල මායා සංස්කෘතියට චාරිත්‍රානුකූලව හා දේශපාලනික වශයෙන් වැදගත් ය. මායාවරුන් ප්‍රාථමික ආකාරයේ “කප්පාදු කිරීමේ හා පිලිස්සීමේ” කෘෂිකර්මාන්තයේ යෙදුණද, වාරිමාර්ග හා ටෙරස් භාවිත කිරීම වැනි වඩාත් දියුණු ගොවිතැන් ක්‍රම සිදු කර ඇති බවටද සාක්ෂි හමුවී ඇත.
මායාවරුන් ඉතා ආගමික වූ අතර සූර්යයා, සඳ, වැසි සහ ඉරිඟු වැනි දෙවිවරුන් ඇතුළු සොබාදහමට සම්බන්ධ විවිධ දෙවිවරුන්ට නමස්කාර කළහ. මායා සමාජයේ ඉහළින්ම සිටින්නේ දෙවිවරුන් හා සම්බන්ධ යැයි කියාගෙන පාරම්පරික අනුප්‍රාප්තිකයන් අනුගමනය කළ රජවරුන් නොහොත් “කුහුල් අජව්” (ශුද්ධ ස්වාමිවරුන්) ය. ඔවුන් දෙවිවරුන් සහ පෘථිවියේ මිනිසුන් අතර මැදිහත්කරුවන් ලෙස සේවය කරනු ලැබේ යැයි විශ්වාස කළ අතර මායා සංස්කෘතියට වැදගත් වූ ආගමික උත්සව හා චාරිත්‍ර ඉටු කළහ.
මායාවරුන් ඔවුන්ගේ පන්සල් සහ මාළිගා බොහෝමයක් පිරමීඩ හැඩයකින් ඉදිකර ඇති අතර ඒවා සවිස්තරාත්මක සෙල්ලිපි වලින් සරසා ඇත. මෙම ඉදිකිරීම් විසින් මෙසොඇමෙරිකා හි විශිෂ්ටතම කලාකරුවන් ලෙස මායාවරුන්ගේ කීර්තිය වර්ධනය කර ඇත. ඔවුන් ගණිතය හා තාරකා විද්‍යාවෙහිද සැලකිය යුතු දියුණුවක් ලබා ඇති අතර, මුලින්ම බිංදුව(zero) භාවිතා කිරීම සහ දින 365 මත පදනම්ව සංකීර්ණ දින දර්ශන පද්ධති සංවර්ධනය කිරීම සහ පසුව සැලසුම් කරන ලද අවුරුදු 5,000 කට වඩා වැඩි කාලයක් ඇති දිගු ගණන් දින දර්ශනය ඇතුළත් වේ.
අටවන සියවසේ අග භාගයේ සිට නවවන සියවසේ අග දක්වා මායා ශිෂ්ටාචාරයේ අත්තිවාරම් යම් නොදන්නා දෙයක් නිසා සෙලවී යන ලදී. ඔවුන් එකින් එක, දකුණු පහත්බිම්වල නගර අත්හැර දමා ඇති අතර මෙයට හේතුව අදටත් අභිරහසකි. මෙම අද්භූත පරිහානියට හේතුව නිසි පරිදි නොදන්නා නමුත් විද්වතුන් විවිධ න්‍යායන් කිහිපයක් ඉදිරිපත්කොට ඇත.
සමහරු විශ්වාස කරන්නේ නවවන සියවස වන විට මායා වරුන්ගේ අධික ජනගහනය අවට පරිසරයට දරා ගැනීමට නොහැකි වූ බවයි. අනෙකුත් මායා විශාරදයින් තර්ක කරන්නේ තරඟකාරී නගර රාජ්‍යයන් අතර නිරන්තර යුද්ධයන් නිසා මොවුන් පරිහානියට ලක් වූ බවයි. තවත් අයගේ මතයක් වන්නේ වැසි නොලැබී යාමත් නිසා ඇති වූ නියගය හේතුවෙන් මෙම ශිෂ්ටාචාරය බිද වැටී ගිය බවයි.
මෙම සාධක තුනම - භූමිය, අධික ජනගහනයක් විසින් අධික ලෙස භාවිතා කිරීම, ආවේණික යුද්ධ සහ නියඟය - දකුණු පහත් බිම්වල මායාවරුන්ගේ බිඳවැටීමට දායක වන්නට ඇත. යුකැටන් කඳුකරයේ, චිචෙන් ඉට්සා, උක්ස්මාල් සහ මායාපන් වැනි මායා නගර කිහිපයක් පශ්චාත්-සම්භාව්‍ය කාල පරිච්ඡේදයේදී අඛණ්ඩව සමෘධිමත් විය. කෙසේ වෙතත්, ස්පාඤ්ඤය ආක්‍රමණිකයන් පැමිණෙන විට, බොහෝ මායාවරුන් ජීවත් වූයේ කෘෂිකාර්මික ගම්මානවල ය. ඔවුන්ගේ මහා නගර වැසි වනාන්තර හරිත තට්ටුවක් යට වැළලී ගොස් හමාරය.
මායාවරුන්ගෙන් පැවත එන්නන් තවමත් මධ්‍යම ඇමරිකාවේ බෙලීස්, ග්වාතමාලාව, හොන්ඩුරාස්, එල් සැල්වදෝරය සහ මෙක්සිකෝවේ සමහර ප්‍රදේශවල ජීවත් වෙති. ඔවුන්ගෙන් බහුතරයක් ජීවත් වන්නේ පුරාණ ටිකාල් නගරයේ නටබුන් පිහිටි ස්ථානය වන ටිකාල් ජාතික වනෝද්‍යානය පිහිටි ග්වාතමාලාවේ ය. ග්වාතමාලන්වරුන්ගෙන් දළ වශයෙන් සියයට 40 ක් මායා සම්භවයක් ඇති අයයි.
විශ්මිත ඉතිහාසය
0 comments:
Post a Comment