වර්තමානයේ දේශපාලකයින්ට මහජනතාවගෙන් බොහෝ විවේචන එල්ල වනු දක්නට ලැබේ. බොහෝ විට අප ඡන්දය ලබා දෙන්නේද අනෙකාට සාපේක්ෂව වැරදි අඩුවෙන්ම සිදු කර ඇති පුද්ගලයාට මිස හොදම පුද්ගලයාට නොවේ. මෙතෙක් ලොව බිහි වූ ප්‍රකට හා බලගතු දාර්ශනිකයෙකු වන ප්ලේටෝ මීට වසර දෙදහසකට පමණ පෙර දේශපාලකයින්ගේ මේ අඩුපාඩු පිළිබද සාකච්ඡා කරන ලදී. පුදුමය වන්නේ ඔහුගේ අදහස් කොතරම් පැරණි වුවත්, ඒවා තවමත් අපේ කාලයේ දේශපාලන කාරණා පිළිබඳව ගැළපීමය.
ප්ලේටෝ තර්ක කර සිටියේ දාර්ශනිකයන් හොඳම පාලකයන් බවට පත්වනු ඇති බවයි. ඔවුන් ඉගෙනීමට ප්‍රිය කරන අතර විශිෂ්ට දැනුමක්ද ඇත. උඩඟුකම හා ආශාව ගැන ඔවුන් තැකීමක් නොකරයි. ඒ වෙනුවට ඔවුන් සතුව ඇත්තේ බුද්ධිය, සත්‍යයවාදී බව සහ ගුණවත්කමයි. එමෙන්ම ඔවුන් තමුන්ට දැනෙන ඕනෑම සතුටක් සහ දුකක් සාවධානව විඳ දරා ගනී. එමෙන්ම ඔවුන් තම හැඟීම් වලට වහලෙකුද නොවේ. එහෙත් අවාසනාවකට මෙන් ප්ලේටෝගේ මෙම විස්තරයට ගැළපෙන කෙනෙකුට බලය ලබා ගැනීමට ඇති අවස්ථාව ඉතාමත්ම අඩුය.
දේශපාලනඥයන්ගේ දුර්වල ප්‍රමිතීන් පැහැදිලි කිරීමේදී ප්ලේටෝ උදාහරණයක් ලෙස නෞකාවක ක්‍රියාවලිය ගෙනහැර දක්වමින් අදහස් ඉදිරිපත් කරන ලදී. එනම් නෞකාවේ කාර්ය මණ්ඩලය දේශපාලනඥයන් නියෝජනය කරන අතර නැවෙහි කපිතාන් දාර්ශනිකයා නියෝජනය කරයි.
නැව පාලනය කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර නිතර රණ්ඩු ඇති වෙති. ඔවුන් කිසි විටෙකත් යාත්‍රා කිරීමේ කලාව පිළිබඳ කිසිවක් ඉගෙනගෙන නොතිබුණද තමන් එහි සිටීම අත්‍යවශ්‍ය බව සියලු දෙනාටම ඒත්තු ගන්වනු ලැබේ. වෙනත් වචන වලින් කිවහොත් ඔවුන්ට නායකත්වය සඳහා තරඟ කිරීමට සහ යාත්‍රාව පාලනය කිරීමට අවශ්‍ය වුවද එය රැගෙන යා යුත්තේ කොතැනටද හෝ කෙසේද යන්න පිළිබද ඔවුන්ට දැනුමක් නැත.
නමුත් නැවේ කපිතාන්ට මනා දැනුමක් මේ පිළිබඳව ඇත. ඔහු වසරේ ඍතු, අහස, තරු, සුළං තේරුම් ගෙන නායකත්වයට තරඟ කරන අය ඉක්මවා යන දැනුමකින් යුක්තව සාර්ථකව නෞකාව ගමන් කරවයි.
නැවේ උපමාවේදී ප්ලේටෝ තවදුරටත් විස්තර කර සිටින්නේ තරඟකාරී කාර්ය මණ්ඩල සාමාජිකයින් ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ගේ කුරිරු බව භාවිතා කරන්නේ කෙසේද යන්නයි. ඔවුන් තම ප්‍රතිවාදීන් මුහුදට දැමීමට හෝ වත්මන් කපිතාන්වරයා මත්පැන් හෝ මත්ද්‍රව්‍ය මාර්ගයෙන් මත් කළ හැකියි.
ප්ලේටෝ මෙම සාකච්ඡාව දිගටම කරගෙන යමින් පවසන්නේ දේශපාලකයියන් පැමිණෙන්නේ නුසුදුසු පසෙහි වැඩීමට බල කෙරෙන ශාකයක් මෙන් පරමාදර්ශී පරිසරයකින් නොවන බවයි. එවැනි පරිසරයක් යහපත්කමට හේතු නොවේ. දේශපාලකයින්ට ඇති අනෙක් ගැටලුව දාර්ශනිකයෙකුගේ දැනුමට සාපේක්ෂව ඔවුන්ගේ දැනුම නොමැතිකම පමණක්ම නොවේ. එය ඔවුන් විසින් ඇති කරන ජරා සංස්කෘතිය ද වේ.
එපමණක්ද නොව දේශපාලකයින් මහජන අනුමැතිය ලබා ගැනීම සඳහා බොහෝ විට උත්සාහ කරන බැවින් ඔවුන් ජනතාවගේ ආශාවන් ඉශ්ඨ කිරීම සදහා පමණක් කටයුතු කරයි. එම නිසා ඔවුන්ට තමා කෙරෙහි ඇති පොදු වගකීම් අමතක වී හෝ සිතා මතා පැහැර හරිනු ලබයි.
ප්ලේටෝගේ සිතුවිලි අපගේ නායකයින් ගුණ ගරුක නොවන්නේ මන්ද යන්න පිළිබඳව අවබෝධයක් ලබා දෙන අතර අපි සියලු දේශපාලකයන් දෙසම එකම කෝණයකින් නොබැලිය යුතුය. එම නිසා ප්‍රජාතන්ත්‍රවාදී රටවල ජීවත් වන අපට සෑම විටම අඩු නපුරට ඡන්දය දීමට උත්සාහ කරනවා හැර වෙනත් විකල්පයක් නොමැත.
විශ්මිත ඉතිහාසය
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment