ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහල නංවන ඖෂධීය පාන වර්ග (Hela Osu Pan)

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහල නංවන ඖෂධීය පාන වර්ග (Hela Osu Pan) - Your Choice Way
🌿 ආදි මානවයාගේ ජීවිතයේ ආයු කාලය වසර සියයක් තරම් දිගු හා ශක්තිමත් එකක් වුවද වර්තමාන මිනිසාගේ  ජීවිතයේ ආයු කාලය වසර හැත්තෑවක් තරම් කෙටි වී ඇත. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ වර්තමාන මිනිසාගේ ජීවන රටාවේ සිදු වී ඇති පෙරලියයි. දිනෙන් දින කාර්‍යබහුලත්වය ඉහල යන ජන සමාජය තුල වැඩි අවධානය යොමුව තිබෙන්නේ වෙළදපොලෙන් ඉක්මනින් ලබාගන්නා ක්ෂණික පාන වලටය. මෙවැනි බීම වර්ග භාවිතය තුලින් මේ වන විටත් සමාජය තුල බොහෝ රෝග රැසක් නිර්මාණය වී අවසන්‍ය. දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිලිකා වැනි රෝග බොහෝමයකට හේතුව වී තිබෙන්නේ විවිධ රසායනික සයෝග අඩංගු මෙවැනි අහාර, පාන වර්ග භාවිතයයි.

🌿 තවමත් මෙම ඖෂධීය ශාක වර්ග ගම් බිම්වල ජනතාව එදිනෙදා ජීවිතයේදී පිටි කිරි වෙනුවට භාවිත කරයි.

🌿 මෙම ඖෂධීය ශාක සාර කැද වර්ග ආදියට දිලීර, බැක්ටිරියාවන්ට එරෙහිව ක්‍රියා කිරීමේ විශිෂ්ට හැකියාවක් ඇත. ශ්‍රී ලංකාවේ ඇති ඖෂධීය ගුණ පිරි ශාක වල ප්‍රධානම ලක්ෂණය නම් ඒවා නිරන්තරයෙන් අප ජීවත් වන පරිසරයේ දැක ගත හැකි වීමයි. නමුත් කණගාටුවට ඇති කාරණය නම් මේවායේ ඇති ගුණය අප හරිහැටි නොදැන සිටිමයි.  විද්‍යාවේ දියුණුවත් සමග සිදු කරන පර්යේෂණ වලදී මෙම ඖෂධීය ශාක හා ඖෂධීය පාන වල ඇති ගුණාත්මක සංඝටක එකින් එක විශ්ලේෂණයත් සමගම මේ ශාක නැවතත් යම්තාක් දුරකට භාවිතයට ගැනීමට මිනිස්න් පුරුදු වී සිටියි. මෙම ඖෂධීය ශාකවල සියලූම කොටස් ප‍්‍රයෝජනයට ගත හැකිය. කොළ, මුල්, කඳ, මල් මේ සියල්ලම පාහේ ප්‍රතිශක්තීකරණ පානයන් සකසාගැනීමට ප‍්‍රයෝජනයට ගත හැකිය.

✅ ඖෂධීය ශාක වලින් සකසන පාන වල ඇති ගුණ මොනවාද?
🌿 ඖෂධීය ශාක වල ඇති පයිටොකෙමිකල් නම් ස්වභාවික රසායන ද්‍රව්‍ය ශාක වල ඇති ක‍්‍රියාකාරී සංඝටක වර්ගයකි. ඇල්කලොයිඩ, ග්ලයිකොසයිඩ, පොලිෆීනෝල්, ටර්පීන්ස් යනු එවන් වූ පයිටොකෙමිකල් කිහිපයකට උදාහරණ වේ. ග්ලයිකොසයිඩ හෘදයේ ක්‍රියාකාරිත්වයට උපකාරී වේ. පයිටොඊස්ට‍්‍රජන් නම් පොලිෆීනෝල් විශේෂය අඩංගු ඖෂධීය ශාක, අතීතයේ සිටම පාහේ මද සරු භාවය සහ මාසික ඔසප් චක‍්‍රයේ දුර්වලතා සඳහා ප‍්‍රතිකාර කිරීමට යොදා ගනී. ඖෂධීය ශාක වල ඇති මනා සිත් ඇද ගන්නා සුවඳ ලබා දෙනුයේ ටර්පීන්ස් වලිනි. මෙම ඖෂධීය ශාකයන්ගේ කොටස් වල අභ්‍යන්තරයේ ඇති ක‍්‍රියාකාරී සංඝටකයන් පිටතට ගැනීමේ ඉතා සාර්ථකම ක‍්‍රමයක් ලෙස මේවා යොදාගෙන සාදනු ලබන විවිධාකාර පාන විශේෂයන් හදුන්වා දිය හැකිය. මේ සංයෝග අඩංගු පානයන් තුලින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය ස්වභාවිකව ඉහල නංවාගැනීම් පහසුවෙන් සිදු කල හැකිය.

✅ කොතල හිඹුටු  පානය
🍁 කොතල හිඹුටු  යනු ඖෂධීය පාන සඳහා නිරතුරුවම ගන්නා ශාකයක් නොහොත් වැලකි.  මුත්‍රා ආසාදන, වකුගඩු ආසාදන, දියවැඩියාව වැනි රෝග වලට සෘෂිවරයෙකු බඳු  ඖෂධයකි. මෙම ඖෂධීය ශාකයේ ගෙඩිය කොතලයක හැඩ ගන්නා නිසා කොතල හිඹුටු ලෙසට නම් කරයි. මෙහි කඳෙහි පොතු මගින් සැකසූ පානය දිනපතා  භාවිතයට ගන්නා තේ වෙනුවට පානයට ගත හැකිය. එමගින් රෝග වලට එරෙහිව ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. තවද මෙම ශාකයේ පොතු මගින් සැකසූ උදෑසන පානය භාවිත කිරීම පුරුද්දක් කරගත් අයෙකුට කිසිදාක වකුගඩු ආසාදන ඇති නොවන බව පැරණි හෙළ වෙදකමේ සඳහන් වේ. කොතල හිඹුටු  ශාකයේ පත‍්‍ර පොඩි කර තම්බා ගත් විට රතු පැහැ වන අතර මෙමගින් ද වටිනා ඖෂධීය පාන සකසාගත හැකිය. විශේයෙන්ම වැව් ආශ‍්‍රතව හා ජලාශ ආශ‍්‍රිතව මෙම ශාකය වර්ධනය වේ. විවිධ ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට මෙමගින් සැකසූ පානයන් ඉතා ගුණදායක වේ.

✅ පාවට්ටා නොහොත් ආඩතෝඩා
🍁 පාවට්ටා නොහොත් ආඩතෝඩා ශරීරයේ තුන් දොස් නැසීමට ගන්නා අගනා  ඖෂධීය ශාකයකි. ආදි ගැමි ජනතාව මෙම ශාකය බොහෝ අවස්ථා වලදී නිවසේ වැටෙහි සාදා ගනී. කාන්තාවකගේ දරු ප‍්‍රසූතියකින් පසුව මෙම පත‍්‍ර තම්බා ගත් ජලයෙන් නැහැවිම සිරිතකි. එමගින්, ඇතිවිය හැකි විවිධ ආසාදන ස්වභාවිකව මගහරවා ගත හැකිය. පාවට්ටා වල පත‍්‍ර දලූ, පොතු, මුල්, පුෂ්ප යන මේ සියල්ලම යොදා ගෙන කසාය, අරිෂ්ඨ, චූර්ණ හා කල්ක සෑදීම සිදු කරයි. සෙම් රෝග වලදී ප‍්‍රතිශක්තිකරණය ඉහල නංවා ගැනීම සඳහා වඩාත් ප‍්‍රයෝජනවත් ශාකයකි. කුඩා ළමුන්ගේ සෙම් රෝග සඳහා පාවට්ටා දලු භාවිත කොට ස්වාභාවික ඖෂධ සාදනු ලැබේ. පාවට්ටා දලූ වෙනත් ඖෂධීය ශාක කොටස් සමග තම්බා සාදන ලද පානය භාවිතය මගින් ලේ කැටි පවා දිය කිරිමේ හැකියාවක් ඇත. පාවට්ටා පත‍්‍ර හුමාලය ඇල්ලීමෙන් පෙනහලූ වල ඇති ගර්ථිකා ශක්තිමක් කිරීමත්, පෙනහලූ වල ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමත් ස්වාභාවිකවම සිදුවේ. පාවට්ටා මුල් තම්බා පානය තුලින් ඇගපත වේදනාවන් මගහරවා ගත හැකි බව පුරාණ පොත පතෙහි සදහන් වේ.

✅ විෂබීජ නසන කොහොඹ
🍁 කොහොඹ සංස්කෘත භාෂාවෙන් නිම්භ ලෙස හදුන්වයි. කොහොඹ ශාකයේ මල්, මුලෙහි පොතු, කදෙහි පොතු, නොමේරු ගෙඩි, ඇට, කොළ, කොහොඹ නැටි යන සිය්ලලම ඖෂධ ලෙස යොදා ගනී. කොහොඹ කොළ, ලේ පිරිසිදු කරන අතරම විෂබීජ නාශනය කරයි.  කොහොඹ ඇට අර්ශස් හා කෘමි රෝග වලට අගනා ෙඖෂධයකි. කොහොඹ ඇට හා කොල වලින් ගන්නා තෙල් විෂබීජ නාශනය කරයි. විෂබීජ නැසීමට කොහොඹ කොළ දුම් ඇල්ලීමට යොදා ගත හැකිය. නිවාස ආශි‍්‍රත වාතාශ‍්‍රය පිරිසිදු කර ගැනීම සදහා කොහොඹ තෙල් බින්දු කිහිපයක් දමා දුම් ඇල්ලීම සුදුසුය. තවද, කොහොඹ පොතු තම්බා සකසන පානය මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වඩවයි. කොහොඹ දලූ සකසා මුහුණේ ආලේප කිරීමෙන් ලප කැලැල් නැති කර ගත හැකිය. පැපොල, සරම්ප වැනි බෝවන රෝග තිබෙන අවස්ථා වලදී, නිවසේ කොහොඹ කොළ එල්ලීමෙන්ද රෝගියා නිදා ගන්නා ස්ථානයේ තැබීමෙන්ද විෂබීජ නාශනය කර ගත හැකිය.

✅ රසකිඳ පානය
🍁 රසකිද යනු වැල් ආකාරයෙන් වැඩෙන බොහෝ ලෙඩ රෝග සදහා ගන්නා ඉතා වටිනා බෙහෙත් ශාකයකි. ශරීරයේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන බවට පර්යේෂණ මගින් තහවුරු කරන ලද තවත් එක් ඖෂධීය ශාකයකි ‘රසකිඳ’. රසකිඳ තම්බා, වේලා, කුඩු කර විවිධ ඖෂධීය පානයන් සකසාගත හැකිය. මෙවැනි පානයන් භාවිතය මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වඩවාගත හැකිය.

✅ වෙනිවැල්ගැට සාරය
🍁 මෙම ඖෂධය මේ වන විටත් වෙළෙඳපොළ තුළ දැකීමට හැකි අතර තවමත් සෙම්ප්‍රතිශ්‍යාව වැනි අවස්ථාවකදී මේ පානය බීමට ගන්නා අයුරු සුලබව දැක හැකි වේ. වෙනිවැල්ගැට තම්බා පානය කිරීම මගින් වෛරස්,  බැක්ටිරියා ආදිය විනාශ කල හැකි බව විවිධ පර්යේෂණ මගින් සනාථ කර ඇත. වෙනිවැල්ගැට, ඉගුරු, කොත්තමල්ලි, පත්පාඩගම්, කටුවැල්බටු වැනි ඖෂධ එක් කර නිවැරදිව සකසන ලද මිශ්‍රණ, පානය කිරීම මගින් ශරීර ප‍්‍රතිශක්තිය වැඩි කර ගත හැකි බවට පුරාණ පොත පතෙහි සදහන් වේ. 

✅ මොණරකුඩුම්බිය කැඳ
🍁 බොහෝ පළාත්වල කුඩා පැළ ලෙස වැවෙන මෙම ශාකය දම් පැහැති කුඩා මල් වලින් යුක්තය. ඇතැම් පිරිස්, වල් පැළෑටි බව සිතා මෙම පැළෑටිය උදුරා දැමුවද එය ඉතා වටිනා බෙහෙත් පැළෑටියක් වේ. මොණරකුඩුම්බිය ශරීරයේ ප‍්‍රතිශක්තිය සමග නිරන්තරවම ක‍්‍රියා කරන ඖෂධීය ශාකයකි. තම්බා පානය කිරීම මගින්ද කැඳ සාදා ගැනීමෙන්ද භාවිතයට ගත හැකිය. වර්තමානයේ ඇතිවන බොහෝ රෝග රැසක් සමනය කිරීමට මෙම පැළෑටියෙන් සැකසූ පානයන් යොදාගත හැකිය.

✅ නෙල්ලි බීම
🍁 නෙල්ලි යනු ඉතාම රසවත් පානයක් මෙන්ම රසවත් පලතුරකි. මෙහි විටමින් සී වැනි ප‍්‍රතිශක්නතිකරණ පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන පෝෂ පදාර්ථ බොහෝමයක් අඩංගු වේ. තවද, නෙල්ලි කුඩු කර උණු වතුරට දමා සකසාගත් පානය භාවිතය මගින් ශරීරය ලෙඩ රෝග රැසකින් ආරක්ෂා කරගත හැකි වේ. මෙම පානය තේ පානයක් ලෙසද භාවිතා කල හැකිය. නෙල්ලි යනු නව නලු රස අඩංගු ආහාරයක් බව පැරැන්නන් සදහන් කරයි. මේ නිසාම නෙල්ලි පානය ද මේ වන විට බොහෝ දෙනෙකු අතරේ ප්‍රචලිත වී තිබේ. නෙල්ලි බීම මේ වන විටත් විවිධ සුපිරි හෝටල් වල පවා දැකිය හැකි අතර බොහෝ සංචාරකයින්ගෙන් ද මේ සදහා ඉහළ ඉල්ලුමක් පවතියි.

✅ එදිනෙදා භාවිත කරන අමු කහ
🍁 අමුකහ යනු ඉතාම හොද විෂබීජ නාශකයක් ලෙස භාවිත කරන ඖෂධීය ශාකයකි. අමුකහ තම්බා ගත් ජලයෙන් කට සේදීම මගින්ද විෂබීජ නසන අතරම ප‍්‍රතිශක්තියද වැඩි කරන බව පර්යේෂණ මගින් තහවුරු කරගෙන ඇත. එළකිරි සහ අමුකහ මිශ‍්‍ර පානයන් නිවැරදිව භාවිතයෙන් ශරීරය විවිධ වසංගත රෝග වලින් ආරක්ෂා කරගත හැකි වේ.

✅ හීං මදුරුතලා කොළ
🍁 හීං මදුරුතලා කොළ මගින් සකසාගත් පානය භාවිතයෙන් ද ඔබේ ශරීරයේ ප‍්‍රතිශක්තිය වැඩි දියුණු වේ. මෙවැනි පානයන් සකසාගැනීමේදී ආයුර්වේද හෝ හෙළෙ වෛද්‍ය උපදෙස්  නිසි ලෙස පිලිපැදිය යුතුය.

✅ නික ගස 
🍁 නික ශාකය ගංගා, ඇළ මාර්ග වල හොදින් වැවෙන ඖෂධීය ශාකයකි. නික ගසේ පොතු, මුල්, කොළ, දලූ ආදිය ඉතා වටිනා ඖෂධ ලෙස යොදා ගත හැකිය. නික දලූ තම්බා ගත් ජලය සමහරක් බෝ නොවන රෝග සුව කිරීමට යොදා ගනී. තවද නික ශාකයෙන් සාදා ගන්නා පානයන් සෙම් රොග සදහාද වටිනා ඖෂධ වේ. තුවාල ඉදිමුම් වැනි දෑ සුවපත් කර ගැනීමටද සුදුසු වේ. ශරීර ප්‍රතිශක්තීකරණය ඉහලනැංවීමට සුදුසු පානයන් සැකසීමට නික ශාකයෙන් සාදාගන්නා කොටස් ද නිරතුරුවම යොදා ගනියි. 

✅ ඔබත් බොන්න බෙලි මල් පානය
🍁 බෙලි යනු හුදෙක් පලතුරක් පමණක්ම නොවේ. ශරීරයේ සෙම නැසීමට හැකි නිසා බිල්ව ලෙසටද නම් කරයි. බෙලි දලු තම්බා පානය මගින් බඩ දැවිල්ල හා අම්ල පිත්තය වැනි රෝග සදහා සුදුසු වේ. බෙලි මල් තැම්බූ පානයද ඉතාම රසවත් ඖෂධීය පානයකි. බෙලි ශාකයේ පොත්ත තම්බා සකසන පාන මගින් හෘදය වස්තුව ශක්තිමත් කළ හැකිය. හැකි සෑම විටකම බෙලිමල් පානය ඔබේ එදිනෙදා ජීවිතයට එක් කරගැනීම මගින් ශරීරයේ ප්‍රතිශක්තීකරණය වඩවාගත හැකිය.

✅ මරණාසන්න ලෙඩුන්ට පවා ජීවය දෙන දෙලුම්
🍁 දෙලූම් ඉතා ප්‍රණීත පලතුරක් වන අතර ඖෂධීය ශාකයකි. දෙලූම් ගෙඩියෙහි පොත්ත, ඇට, ඉස්ම, කොල, පොතු, මුල් ආදිය ඖෂධ ලෙස භාවිතා කල හැකිය. දෙලූම් ගෙඩියෙහි පොත්ත, අර්ශස් වැනි රෝග වලට අගනා ඖෂධීය පානයකි. තවද මෙම දෙලූම් ශාකයෙන් සාදනු ලබන පානයන් මගින් ප්‍රතිශක්තියද වැඩි දියුණුු කරයි. ශරීරයේ ශක්තිය වඩවන පානයක් ලෙසටද මෙම දෙලූම් පානය සැලකිය හැකිය.

✅ ඕනෑම තැනක වැවෙන පොල්පලා
🍁 පොල්පලා යනු වියලා කල් තබාගත හැකි ඔසුවකි. විවිධ ඖෂධීය පාන සකස් කර ගත හැකි පොල්පලා වල සෞඛ්‍යමය ගුණ බොහෝමයක් තිබේ. වකුගඩු ආසාදන සඳහා ඉතාම අගනා ඖෂධයක් ලෙස මෙය හැදින්විය හැකිය. බහුලවම භාවිතයට ගනු ලබන්නනේ කොළ කැඳ වැනි පාන ලෙසටයි. කැස්ස හා ජීරණ ආබාධ සඳහා ද භාවිතයට ගනියි. ශ‍්‍රී ලංකාවේ කාලගුණික තත්වයන් යටතේ ඉතා හොදින් වැඩේ.

✅ රණවරා
🍁 ආයුර්වේදයේ බහුලව  භාවිතයට ගන්නා රණවරා ඖෂධීය ශාකයේ පුෂ්පය බොහෝ සෙයින් පාන වර්ග සැදීමේදී යොදා ගනී. ඊට අමතරව රණවරා ශාකයේ කොළ, කඳ, මුල් ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ ක‍්‍රියාකාරිත්වයටද, දියවැඩියාව හා මුත‍්‍රාශයේ රෝග සදහා ද දායක වේ. රණවරා වලින් සැකසූ පානයන් ගුණයෙන් මෙන්ම රසයෙන් ද ඉතා ඉහළය.

✅ වසංගත රෝග වලින් බේරීමට ඉගුරු පානය
🍁 ඉගුරු පානයක් ලෙස සක්ස්කර ගැනීම තුලින් ශරීරයේ ප‍්‍රතිශක්තිය වැඩි දියුණුු කර ගත හැකිය. මෙම පානය දිනපතා වුවද භාවිතයට ගත හැකිය. නව කොරෝනා වෛරසය වැනි මාරාන්තික වසංගත රෝග හමුවේ ඔබේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය ශතිමත් කිරීමට මෙම පානයට හැකියාව තිබේ. ඉගුරු තේ ලෙස ද දැන් වෙලදපොලේ අඩංගු වන අතර තවත් සෞඛ්‍ය වාසි රැසක් මේ මගින් ඔබට අත් වේ.

✅ රස පිරි පානය දෙහි
🍁 දෙහි පානයද ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ ශක්තිමත් බව වැඩි දියුණු කරයි. දෙහි වල විටමින් සී අධිකව අඩංගු වන අතර එනිසා ඔබේ ශරීරය විවිධ රෝග වලින් ආරක්ෂා කිරීමට විශාල හැකියාවක් දෙහි වලට තිබේ.  ඉදහිට හෝ දෙහි පානයක් ලෙස භාවිතය තුලින් ඔබටත් ලෙඩ රෝග වලින් ආරක්ෂා විය හැකිය.

✅ දේශීය සහලින් සකසාගත් කැද
🍁 ශ්‍රී ලංකාවට ආවේණික දේශීය සහල් වර්ග බොහෝමයක් මෙරට පැවතෙන අතර එම සහල් වර්ග දැනට වෙළෙඳපලෙන් හෝ මිලදී ගත හැකිය. සුවදැල්, හීනැටි, මඩතවාලු වැනි මේ දේශීය සහල් වලින් සැකසූ කැද වර්ග භාවිතයෙන් ඔබට අනිවාර්යයෙන්ම ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉහළ නංවාගත හැකි වේ. 

✅ කොත්තමල්ලි පානය
🍁 කොත්තමල්ලි පානය යනු බොහෝමයක් ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට ඇති ස්වාභවික සංයෝගයකි. දවසේ තේ පානය වෙනුවට කොත්තමල්ලි ඇට තම්බා හෝ ඇට කුඩු කොට සකසා ගත් පානය පරිබෝජනයෙන් ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරගත හැකිය.

✅ ගොටුකොළ කැද
🍁 ගොටුකොළ යනු ඔබගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවා ඔබව බොහෝ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගත හැකි කොළ වර්ගයකි. මේ මගින් සැකසූ කැද වර්ග පානය මගින් ඔබටත් නීරෝගි දිවියක් ලබාගත හැකි වේ.

✅ ශ්‍රී ලංකාව තුල මෙවැනි ශාක බොහෝමයක් තිබෙන අතර ඒවායෙන් ඔබගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහල නංවාගත හැකිය. මෙවැනි පානයන් දැනට ඔබට වෙලදපලෙන් ද මිලදීගත හැකි අතර කිරි පිටි වර්ග පානය කොට බොහෝ නොදන්නා රෝගයන්ට අත වනනු වෙනුවට මෙවැනි ඖෂධීය පානයන් පරිබෝජනය තුලින් ඔබේත්, ඔබේ දරුවාගේත් නිරෝගි බව රැකගත හැකි වේ.

🙏 සියලු සත්වයෝ සුවපත් වේවා! 🙏 විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහල නංවන ඖෂධීය පාන වර්ග (Hela Osu Pan) ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහල නංවන ඖෂධීය පාන වර්ග (Hela Osu Pan) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 30, 2021 Rating: 5

0 comments:

Post a Comment