කට්ටියම ගැටබරු දේවාලය වන්දනා කරගෙන ඇවිත් වාහනයට ගොඩවුනා. ඊළගට යන්න තියෙන්නේ කිරුවානා ඇල්ලට. මේ තැන විහින්දිගේ තාත්තා හොයාගත්තේ ගූගල් මැප් එකෙන්මයි. එයා යන තැන් ඒ පැතිවල පාරවල් දිගේ බලාගෙන ගිහින් ලග පාත තව තව බලන්න තියන තැන් හොයාගන්නවා. කිරුවානා ඇල්ලත් ඒ වගේ තැනක්. ගොඩක් අය යන්නේ නැති වැඩිය ප්‍රසිද්ධ නැති තැනක්.
කොහොම හරි ඇවිත් ඊළග තැනට සිතියමෙන් පාර බැලුවම තමයි වැඩේ. විනාඩි 45 ක දුරක්. හැබැයි බැලුවම නං විනාඩි 10 ක විතර දුරකින් යන්න පුළුවන් වගේ. ලගින්ම පාරකුත් තියෙනවා. කහපාටින් තිබ්බට යන්න පුලුවන් කියලා පෙන්නන්නේ නැහැ. එතන්ට පාර ඇදලා දාලා හැදුවත් ගන්නෙම නැහැ.
ඕනේ එකක් කියලා තාත්තා වාහනය පනගන්නගෙන ඉදිරියට ගියා. ඌරුබොක්ක හංදියෙන් කෙලින්ම යන්න කිව්වට ‘ඕනේ එකක් වෙද්දෙං ’ කියපු එයා එතනින් දකුණට හැරෙව්වා. කිලෝමීටර හතරක් පහක් යනකන්ම මැප් එක පිස්සුවෙන් වගේ දැගලුවා. අන්තිමට කොහොම හරි පාර පෙන්නන්න ගත්තා. දැං ඕන්න දිය ඇල්ල තියන තැනට කිට්ටුයි. හැබැයි විනාඩි හතලිස් පහක් කිලෝමිටර විස්සක් කිව්වට කිලෝමීටර පහ හයක් විනාඩි දහයක් විතර තමයි ගියේ. අනික ප්‍රධාන පාරෙමයි.
මහ පාරේ ඉදලා දිය ඇල්ලට පාරක් පෙන්නන්නේ නැහැ. පාර අයිනෙන් වාහනය නකර කරපු තාත්තා එතන හිටපු මාමා කෙනෙක්ගෙන් මේ ළග පාත දිය ඇල්ලක් තියෙනවා ද කියලා ඇහුවා.
“දිය ඇල්ලක් නං තියෙනවා. අර පාර දිගේ යන්න ඕනේ. හැබැයි කාර් එකකට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ”
පුංචි කොන්ක්‍රිට් පාරක්. තේ වතු මැද්දෙන් තියෙන්නේ. ‘ඒකත් ඕනේ එකක්’ කියපු තාත්තා ඒ පාර දිගේ කාර් එක අරන් ගියා. පාර ගොඩක් පටුයි. වංගු ගොඩයි. හෙමිහිට හෙමිහිට දැන් ඉස්සරහ යනවා. තේ වතු අතරේ ගෙවල් එහෙම තියෙනවා. මිනිස්සුත් යනවා එනවා. කිලෝමීටර යක් විතර ගිහින් ආයෙම කෙනෙක්ගෙන් පාර ඇහුවා. “ඉස්සරහින් පහලට යන්න. වාහනය මෙතන දාලා යන්න. තව කිලෝමීටර බාගයක් විතර පාර තියෙන්නේ”.
එතන වාහනය දාලා කට්ටියම පයින් ගියා. ඒ වුනාට ඒ පාරෙත් කාර් එක ගේන්න තිබ්බා කියලා තාත්තා කිව්වා. ඉන්දියන් ඇල්ටෝ ජපන් කාර් වලට වැඩිය ගොඩක් උසයිනේ.
ඒ ටික කොහොම කොහොම හරි ගිහින් තවත් මීටර දෙතුන් සීයක් පාරක් නැති වතු මැද්දෙන් යන්න වුනා. එක තැනක පස් කඩා වැටිලා අඩි පාරක් වත් නැහැ. එතන්දි පොඩි ඇඩ්වෙන්චර් ටුවර් ගතියක් පෙන්නගෙන යන්න වුනා. කොහොම හරි තුන්දෙනා ඇල්ලට කිට්ටු කලා. ඒත් ගොඩක්ම ලගට ගියේ විහින්දියි තාත්තයි විතරයි.
කිරිවානා ඇල්ල ලගට ගිහින් ඇල්ලේ ලස්සන බල බලා හිටියේ විහින්දියි තාත්තයි දෙන්නා. අම්මා ඒ ළගටම ආවේ නැහැ. මොකද ටිකක් දුෂ්කර ක්‍රියාවක් කරලා යි එතනටම යන්න තිබුනේ.
වතුරට බහිනවා නම් තවත් ටිකක් අමාරුයි. කාත් කවුරුවක් නැති පැත්තක එහෙම අනතුරුදායක තැන්වලට දරුවත් එක්ක යන්න බැහැ කියලා හිතපු හින්දා එයාලා ආපහු එන්න ගත්තා.
ඔන්න දැං අම්මා ඉස්සරලම විහින්දි මැදින් තාත්තා පිටිපස්සෙන්ම එනවා. එකපාරටම තාත්තා නතර වෙලා එයාගේ කකුලේ ඇගිලිකරු අතරින් දෙයක් ගත්තා.
“මෙන්න යාලුවෙක්”
“අම්මේ......... කූඩැල්ලෙක්........”
“ඈ..........”
එතනින් පස්සේ මොනා උනාද දන්නේ නැහැ. එනකොට තිබ්බ අමාරුව කොහෙන් නැති වුනාද? කොහෙන් හයියක් ආවද කියලා නං තේරුනේ නෑ. අම්මගෙයි දුවගෙයි මැරතන් එක ඉවර වුනේ කොන්ක්‍රීට් පාරටම එනකං දුවගෙන ඇවිල්ලා.
ඔන්න ඉතිං දෙන්න හති අරිනකං ඉදලා වාහනයට ගොඩ වුනේ ඊළඟ තැනට යන්න. ඒ තමයි මඩුවන්වල වලව්ව. එතනට යන්න ඌරුබොක්ක, කෑල්ල හංදිය හරහා විනාඩි 55 ක ගමනක්. ඒ වෙනකොට වෙලාව එකොළහයි. වාහනය ප්‍රධාන පාරට දාලා ඉස්සරට ඇදුනා. ෆෝන් එක ඉස්සරහ වීදුරුව ගාව සවි කරලයි තිබුනේ මැප් එකත් ක්‍රියාත්මක කරලා.
එක පාරටම pop-up මැසේජ් එකක්. Maduwanwala walawwa close at 12.00. කෙලියයි. මඩුවන්වල වලව්ව 12 ට වහනවලු. වෙන්නත් බැරි නෑ. සෙනසුරාදානේ. පුරාවිද්‍යාවටද දන්නැ අයිති. කතා කරලා අහන්න නොම්බරය හොය හොය ඉන්නත් වෙලාවක් නැහැ. බැරි වෙලාවත් ඒක ඇත්ත කිව්වොත්? එතන්ට යනවා කියලා පෙන්නන්නේ 11.56 ට. හිත හිත ඉන්න වෙලාවක් නෑ. ඇත්ත උනත් බොරු වුනත් දැන් කරන්න තියෙන්නේ එකයි.
“අම්මයි දුවයි පටි තද කර ගත්නවද පොඩ්ඩකට”
“අපි සීට් බෙල්ට් දාගෙන තමයි ඉන්නේ... ඇයි මොකෝ?”
“පොඩ්ඩක් එහාට මෙහාට පැද්දෙයි... ගනන් ගන්න එපා...”
පාර වංගු වැඩියි. එහෙම කියලා බෑ. වාහනය ඉගිලෙන්න ගත්තා. වංගු හරවන කොට පිටිපස්සේ සීට් එකේ හිටපු විහින්දි ඒ කොනටයි මේ කොනටයි විසි වෙනවා. මුලු දුරෙන් බාගෙකට වැඩිය තියෙන්නේ කාපට් කරලා නැති ගල්-තාර දාපු පාර. හිතාගන්න පුළුවන්නේ වෙන දේ ඒ වගේ වෙලාවට. හැබැයි තාත්තා වේගෙන් ගියාට එයාට පාලනය කරන්න පුළුවන් තරම් වේගෙන් තමයි වාහනය අරන් ගියේ.
කොහොම කොහොම හරි 11.40 වෙද්දි මඩුවන්වෙල වලව්ව ලග වාහනය නතර කලා.
![]() |
වලව්ව වටේ ඇති තාප්පයේ පිවිසුම් ගේට්ටුව |
තුන්දෙනාම අඩිය ඉක්මන් කලේ 12 ට කලින් එතන්ට යන්න ඕනේ හින්දයි. ඒත් එහෙම ලකුණක් වත් නෑ. හැමෝම පාඩුවේ යනවා එනවා. තාත්තා කලේ මුලින්ම එතන හිටපු මාමා කෙනෙක්ගෙන් දොළහට වහනවද කියලා අහපු එක. අනේ නැහැ. අපි වහන්නේ හවස පහට. අගහරුවාදා විතරක් වහලා. අනික් හැමදාම උදේ 8 ඉදලා හවස 5 වෙනකන්ම ඇරලයි තියෙන්නේ.
හොද වෙලාවට විහින්දිටයි එයාගේ අම්මටයි මේ තාක්ෂණික කාරනා ගැන චුට්ටක් විතර තේරෙන්නේ. එහෙම වුනේ නැත්තං ඉතිං තාත්තට දෙයියන්ගෙම පිහිටයි කියලා තමයි කියන්ට වෙන්නේ.
“කවුරු හරි ගූගල්ට වැරදි තොරතුරු දාලා නේද තාත්තේ?.....”
“ඹව් දුවේ, ගෙදර ගිය ගමන් අපි ඒවා හදන්න කියලා Suggestions දෙමු”
“ආ.. අර දිය ඇල්ල ගාව තිබුන ජල විදුලි බලාගාරයත් google map එකේ තිබ්බේ නැහැ. ඒකත් දාන්න ඕනේ. මං එතන බෝඩ් එකේ ෆොටෝ එකක් ගත්තා. ඒකේ විස්තර තියෙනවා.”
ගූගල් තොරතුරු ගන්නේ ඒවා භාවිතා කරන අයගෙන්මයි. ඉතිං ගූගල් පිහිට පතන අපි ඒකට හරි දේවල් දුන්නේ නැත්තං හරි දේවල් අපි ගන්නේ කොහොමද? ඒ හින්දයි ඒ වගේ දේවල් දුටුව තැනදි නිවැරදි කරන්න ඕනේ. එහෙම එක්කෙනෙක් කිව්වට ඒක හැදෙන්නේ නැහැ. කිහිපදෙනෙක් නිවැරදි කලාම ඒක නිවැරදි වෙනවා.
එයාලා යන එන තැන් ගැන ගූගල් දැනුවත් කිරීමේ පුරුද්ද විහින්දිගේ තාත්තට තියෙනවා. එයා යන තැන්වල පින්තූර ගූගල් ට දානවා. ඒ වගේම ඒ තැන් ගැන විස්තර ලියනවා. Ratings දානවා. දුරකතන අංක වගේ දේවල් ඇතුලත් කරනවා. නැත්තං නිවැරදි කරනවා. එහෙම කරන්නේ තවත් කෙනෙකුට ඒකෙන් වැඩක් වෙන හින්ද.
“අපි ගොඩක් දේවල් හොයා ගන්නේ අනික් අය දාලා තියෙන හින්දා. අපි එහෙම ගනනවනං අපිත් අනික් අයට උදව් කරන්න ඕනේ” තාත්තා එහෙමයි හැම වෙලාවෙම කියන්නේ.
එයා තවත් දෙයක් කියනවා.
“තාක්ෂණය කියන්නේ අපිට වැඩ කටයුතු පහසු කර ගන්න උදව් කරගන්න පුළුවන් දෙයක්. ඒක නැතිව අද කාලේ ජීවත් වෙන්න අමාරුයි. ඒත් හැම දේම තාක්ෂණයට බාර දීලා පැත්තකට වෙන්නත් බැහැ. ඒක සමබරව පාවිච්චි කලොත් තමයි දිනන්නේ”
රුසිරු තාරක
ගමන් විස්තර සදහා විමසන්න - 0774069204
Instragram - rusiru_ferndz
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment