ප්‍රවාහන දුෂ්කරතාවලට විසඳුමක් හැටියට 2013 වසරේදී ඉදිරිපත් කරන ලද හයිපර්ලූප් මාර්ගස්ථ පද්ධති සැලැස්ම යථාර්ථයක් බවට පත්වන ලකුණු පළ වේ. බ්‍රිතාන්‍යයේ පළ වන ඩේලි මේල් පුවත්පත පෙන්වා දෙන අන්දමට මේ වන විට අමෙරිකා එක්සත් ජනපදය හයිපර්ලූප් මාර්ගස්ථ පද්ධතියක ඉඳි කිරීම් ආරම්භ කර ඇත. මේ මාර්ගස්ථ පද්ධතිය ඉදිවන්නේ ලොස් ඇන්ජලිස් පාදක කරගෙනය. එකී හයිපර්ලූප් පද්ධතියට අයත් අඩි 1600ක දුරක් හෙවත් මීටර 500ක දුරක් තනා නිම කර ඇති බව වාර්තාව පෙන්වා දෙයි. එම කොටස ඉඳි කර තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ නෙවාඩා කාන්තාරය හරහා පෙදෙසකය. ඒ අනුව එය ලොව පළමු හයිපර්ලූප් මාර්ගස්ථ පද්ධතියට හැටියටත් ඉතිහාසගත වේ.
හයිපර්ලූප් යනුවෙන් හැඳින්වෙන නව ප්‍රවාහන සේවාව භාවිතයට ගැනීමෙන් මිනිසාට අත් විඳින්නට ලැබෙන්නේ දුම්රියක ගමන් ගන්න ආකාරයේ අත්දැකීමකි. මඟීන්ට අසුන් ගමන් ගැනීමට ඉඩ සැලසෙන දුම්රියක් බඳු ව්‍යුහය හෙවත් මැදිරිය ධාවනය වන්නේ රික්ත නාලයක් තුළ ස්ථාපනය කර ඇති විශේෂ මඟකය. හරියටම කිවහොත් මඟීන් රැගත් ෂටලයක් රික්තයක් තුළ ඇති මඟක ගමන් ගන්නේය යන්නයි. එකී මාර්ගය ඝර්ෂණයෙන් තොර එකක් බව දැක් වේ. මේ කියන ආකාරයේ මාර්ග පොළොව මතුපිට හෝ පොළොවේ යට හෝ ඉඳි කරන්නට පුළුවන. නෙවාඩාහි ඉඳි වන්නේ පොළොව මතුපිටින් දිවෙන මඟකි.
මඟීන් රඳවා ඇති මැදිරිය නළයක් තුළ ගමන් ගන්නා නිසා වෙනත් වාහනවලින් එයට බලපෑමක් එල්ල වන්නට ක්‍රමයක් නැත. එනිසා හයිපර්ලූප් මාර්ගස්ථ පද්ධතියක් තුළ වාහන තදබදවලට මැදිවීමක් සිදු නොවේ. ඒ වගේම මාර්ග අනතුරු ඇතිවීමේ අවදානමක්ද නැත. මේ නිසා මඟීන්ට ඉතා ආරක්ෂිතව තමන්ගේ ගමනාන්තයට ළඟාවන්නට එය කදිම ප්‍රවාහන මාධ්‍යයක් බව කිවහැකිය. මහ මඟ නිතර නිතර දකින්නට ලැබෙන තදබද සහ අනතුරු පිළිබඳ කරදරයක් මේ මැදිරියේ ගමනට බලනොපාන නිසා මැදිරියට නලය තුළ ඒකාකාර වේගයකින් ගමන් කරන්නට ද පුළුවන. නෙවාඩාහි මේ වනවිට ඉඳිවෙමින් පවත්නා හයිපර්ලූප් පද්ධතියේ මැදිරියට පැයට කිලෝමීටර 700ක පමණ වේගයකින් ධාවනය වන්නට හැකියාව ඇති බව එහි ඉඳිකිරීම් භාරව විටින හයිපර්ලූප් වන් සමාගම පවසයි.
දැනට පරික්ෂණාත්මක මට්ටමෙන් ඉඳි කරගෙන යන යට කී හයිපර්ලූප් පද්ධතියට භාවිත කෙරෙන මැදිරිය ගමන් ගන්නේ මීටර 3.3ක විශ්කම්භයකින් යුත් නලයක් තුළය. හයිපර්ලූප් මාර්ගස්ථ පද්ධතියක මැදිරියක් ඉතා සුව පහසු බව පැවසේ. මැදිරියක ආසන අටක් පමණ රඳවා ඇත. ඒවා අප බස් රථයක් හෝ දුම්රියක හෝ දකින ආසනවලට වඩා බෙහෙවින්ම වෙනස්ය. ඒ ආකාරයට පෙළ ගැස්වූ ආසන සහිත මැදිරි රැසක් වුවත් එක් හයිපර්ලූප් පද්ධතියකට තිබෙන්නට පුළුවන.
එවැනි හයිපර්ලූප් මඟී ප්‍රවාහන සේවාවක් පළමුවෙන්ම පටන් ගැනීමට සැලසුම් කෙරුණේ අමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් සිට සැන් ෆ්‍රැන්සිස්කෝ දක්වායි. නගර දෙක අතර දුර ප්‍රමාණය සැතපුම් 350කි. දැනට මේ නගර අතර ඉතා ඉහළ මට්ටමේ පහසුකම් සහිතව ධාවනය වන මඟී ප්‍රවාහන දුම්රිය සේවාවක් ඇත. නමුත් නගර දෙක අතර ගමන් වාරයකට සාමාන්‍යයෙන් පැය හත හමාරක් පමණ ගත වේ. මේ ගමන් මාර්ගයට හයිපර්ලූප් පද්ධතියක් හඳුන්වා දුන් විට ගමනට ගත වන්නේ මිනිත්තු 35ක් වැනි කෙටි කාලයකි. ලොස් ඇන්ජලිස් සහ සැන් ෆ්‍රැන්සිස්කෝ නගර අතර මඟී ප්‍රවාහනයට හයිපර්ලූප් තාක්ෂණය එක් කිරීමට අමෙරිකා ඩොලර් බිලියන 16කට අධික මුදලක් වැය වනු ඇති බවට මුලින් ගණන් බලා තිබිණ. නමුත් නෙවාඩාහි ඉඳිවන පද්ධතියට වැය වන මුදල සැලකිල්ලට ගත් විට ලොස් ඇන්ජලිස් සහ සැන් ෆ්‍රැන්සිස්කෝ අතර හයිපර්ලූප් පද්ධතිය සම්පූර්ණ කිරීමට අමෙරිකා ඩොලර් මිලියන 100කට අධික මුදලක් වැය වනු ඇති බව පැවසේ.
හයිපර්ලූප් තාක්ෂණය මඟී ප්‍රවාහන සේවයට එකතු කිරීමට ඉහළ පිරිවැයක් දරන්නට සිදු වුණත් ලෝකයේ රටවල් රැසක් දැන් ඊට අනුගත වන්නට අර අඳිමිනි සිටී. ඒ අතර බ්‍රිතාන්‍යයද ඇත. මැන්චෙස්ටර් සිට ලන්ඩන් නුවර දක්වා වූ ගමන් මඟට හයිපර්ලූප් තාක්ෂණය හඳුන්වා දෙන්නට බ්‍රිතාන්‍යය බලාපොරොත්තු වේ. ඒ හැරුණු විට තවත් යුරෝපා රාජ්‍ය ගණනාවක් හයිපර්ලූප් තාක්ෂණය භාවිතයට ගන්නට පෙළ ගැසී සිටී. ස්වීඩනය සහ පින්ලන්තය අතරත් හයිපර්ලූප් පද්ධතියක් ඇරඹෙන්නට නියමිතව ඇත. ඒ වගේම ස්ලෝවැකියාවේ බ්‍රටිස්ලාවා නගරයත් ඔස්ට්‍රියාවේ වියානා නුවරත්, හංගේරියාවේ බුඩාපෙස්ට් නගරයත් යා කරමින් තවත් හයිපර්ලූප් පද්ධතියක් ඉඳි කිරීම සම්බන්ධයෙන් සැලසුම් ඉදිරිපත් වී තිබේ.
මේ අතර ඩුබායි සහ අබුඩාබි අතර හයිපර් ලූප් පද්ධතියක් ඉඳි කිරීමට දැන් සියල්ල සූදානම් වෙමින් තිබේ. ඉදිරි වසර පහක කාලය තුළ හයිපර්ලූප් වන් සමාගම එහි වැඩ නිම කරනු ඇති බවත් අනාවරණය වේ. මේ වන විට භාවිතයට ගැනෙන ප්‍රවාහන මාධ්‍යවලින් ඩුබායිහි සිට අබුඩාබිය දක්වා වූ දුර ගමන් කිරීමට ගත වන්නේ පැය දෙකකට මඳක් වැඩි කාලයකි. හයිපර්ලූප් පද්ධතියක් සථාපනය කළ විට එම දුර ගමන් කිරීමට ගත වන්නේ මිනිත්තු 12ක් වැනි කෙටි කාලයකි. මඟී ප්‍රවාහනයට අලුතින් එකතු වන මේ නව තාක්ෂණය පළමුවෙන්ම හඳුන්වා දුන්නේ එලෝන් මස්ක් (Elon Musk) නැමැති නව නිර්මාණකරුවායි.
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment