🌿 අද බොහෝදෙනා තම තමන්ගේ ජීවත්වීම නමැති අයිතිය වෙනුවෙන් ස්වභාව දහම විනාශ කරමින් සිටිනවා.අපි කියමු ඔබට නිවසක් තනාගන්න අවශ්‍යයි ඔබ ඔබේ ඉඩම මුලින්ම ඒ සදහා සුදානම් කරන්න ඕනේ, වටිනා කියන ගස් කිසිවක් තිබුණත් ඔබට එය වැදගත් නැත. මොකද ඔබට අවශ්‍ය නිවසක් පමණයි ඒ සදහා ගස් කොළන් ඉවත් කර ඔබ ඔබේ නිවස තනා ගන්නවා නිසැකයි.නමුත් ඔබ කවදාවත් ඔබ විසින් ස්වභාදහමින් ඉවත් කර ගස් කොළන් වෙනුවෙන් ඔබේ ගෙවත්ත අවට වැදගත් ශාකයන් රෝපණය කිරීම ඔබට සිදු කිරීමට නොහැකිද?
🌿 අද කීයෙන් කීදෙනාද තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පරිසරයෙන් ඉවත් කරන ගස් කොළන් වෙනුවට ශාක රෝපණය සිදු කරන්නේ. ඔබත් මොනයම් හෝ අවශ්‍යතාවයක් සදහා පරිසයෙන් ශාකයක් ඉවත් කරනවා නම් ඒ සදහා ගසක් සිටවන්න පුරුදු වෙන්න. ඔබ කවදාවත් ඔබේ දෙමාපියන් ඔබේ අවශ්‍යතා වෙනුවෙන් විනාශ කරන්නේ නෑ නේද? ස්වභාව දහම නැමති දෙමාපියන්ගේ දරුවන් වන්නේ මේ මිනිස් හා සත්ත්ව වර්ගයි. ඔබ ඔබේ දෙමාපියන් රැක බලාගන්නා සේ මේ ස්වභාව දහමත් අරක්ෂා කරන්න රැක බලාගන්න. එය ඔබෙත් මගෙත් වගකීමකි. මිනිසාගේ පැවැත්ම උදෙසා ස්වභාව දහම විසින් ලෝකයට දායාද කළ තවත් වටිනා ශාකයක් වන කුඹුක් ශාකයේ විශේෂත්වය ඖෂධීය වටිනාකම ගැන තොරතුරු මේ ලිපියේ අන්තර්ගතයි.
✅ කුඹුක් ශාකයේ විශේෂත්වය :
🌿 ගතට මෙන්ම සිතටද සිසිලසක් ගෙන දෙන කුඹුක් යන නාමය කෘෂි යුගයේ සිට අද දක්වාම ආයුර්වේදයේ බෙහෙවින් භාවිතා වන වෘක්‍ෂයක් ලෙස හැඳින්වීමට පුළුවන. ටර්මිනලියා අර්ජුනා (Terminalia Arjuna) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කුඹුක් ශාකය ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ සශ්‍රීකව වැඩෙන ඉතාමත් වටිනා ශාකයක් වේ. කුඹුක් ශාකය කොම්බ්‍රෙටාසේ (Combretaceae) කුලයට අයත්ය. මේ ශාකය සම්බන්දව පවතින විද්‍යාත්මක කරුණු දැන හෝ නොදැන, පැරණි මුතුන් මිත්තන් විසින් කුඹුක් ගස පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වා කටයුතු කර තිබෙන බව ඉතා පැහැදිලිය. විශේෂයෙන් සෑම වැවක් හා අනෙකුත් ජල මූලාශ්‍ර ආශ්‍රිතව කුඹුක් ගස් සිටුවීම ඔවුන් විසින් මනාව කරනු ලැබ තිබේ. කුඹුක් ගසේ තිබෙන්නා වූ මිල කළ නොහැකි හැකියාව වන්නේ ජලය පිරිසිදු කිරීමයි. මෙහිදී ජලය මෘදු කිරීම(ජලයේ කිවුල ගතිය අඩු කිරීම) හා පිරිසිදුකරණයද සිදුවන අතර ඒ මඟින් මනුෂ්‍ය වර්ගයාට සිදු කරන සේවය අති මහත්ය. විශේෂයෙන්ම වියලි කලාපයෙ දැන් දකින්නට ලැබෙන වකුගඩු රෝග ඇතිවීමට එක ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, කිවුල් ජලය හෙවත් කඨින ජලය භාවිත කිරීම බව වෛද්‍යවරු පවසති.ජලයේ බහුලව අඩංගු වන කැල්සියම් අඩංගු ලවණ සාන්ද්‍රණයෙහි අධික බව මේ තත්වයට හේතු වී ඇත. ඉහත සඳහන් ගැටළුව විසඳා ගැනීම සඳහා ස්වභාවධර්මයා විසින් ලබා දී තිබෙන එක් දායාදයක් වන්නේ කුඹුක් ශාකය වේ. මේ ශාකය වැව් ආශ්‍රිතව වගා කිරීමෙන් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකිවනු ඇත.
🌿 පරිසරයට හානි කරන අයට පරිසරයෙන්ම දඬුවම් ලැබීම ස්වභාවිකය. එම නිසා ස්වභාව ධර්මයාට විරුද්ධව කටයුතු නොකිරීම මානව වර්ගයාගේ ප්‍රධාන යුතුකම හා වගකීම වන්නේය. සැබෑ පරිසර හිතකාමියෙකු ලෙස විනාශ වෙමින් පවතින පරිසරය අනාගත පරපුර උදෙසා රැක දීම කළ යුතුය. ඒ සදහා එක් පියවරක් ලෙස සෑම වැවක් ආශ්‍රිතව මෙන්ම ළිං හා අනෙකුත් ජල මූලාශ්‍ර ආශ්‍රිතව හැකි තරම් කුඹුක් පැල සිටුවීම, පිරිසිදු පානිය ජලය ලබා ගැනීමටත් එමඟින් නිරෝගී සෞඛ්‍ය සම්පන්න භාවයත් ලබා ගැනීමටත් හේතු වනු ඇත.
🌿 අඩි 40-50 ක් උසට වැවෙන මහත කඳක් සහිත ඉතා විශාල ගසකි. මෙහි අතු හරස් අතට විහිදී යයි. පොත්ත ඉතා ඝනය, සිනිඳුය, ළා රෝස පාටය. මෙම පොත්තේ පහසුවෙන් පතුරු ගැලවී යයි. ළපටි රිකිලිවල සියුම් බූවක් ඇත. පත්‍ර සම්මුඛය, ආනතය, අඟල් 3-6 අතර දිගැතිය. පත්‍රයේ දෙකෙළවරම වටකුරුය. පත්‍ර දාරය කරපත්‍රිකය. පත්‍ර නටුව ඉතා කෙටිය. කක්ෂීය ශුකිවල හෝ කුඩා අග්‍රස්ථ සංයුක්ත ඒකාක්ෂවල පුෂ්ප හට ගනී. සාමාන්‍යයෙන් පුෂ්ප දක්නට ලැබෙන්නේ අප්‍රේල් හා මැයි මාසවලදීය. මේ පුෂ්පවලින් තද පැණි සුවඳක් හමයි. පුෂ්ප කොළ පාටට හුරු සුදු පාටයි. පුෂ්පයක රේණු 8-10 අතර ඇත. ඵලය තුඩක් සහිත නොපැලෙන අෂ්ටිලයකි. එහි මධ්‍යාවරණය මාංසලය. පිටට නෙරා සිටින දුඹුරු පාට පියාපත් 5 ක් ඵලයෙහි ඇත.
🌿 ලංකාවේ පහතරට ගං ඉවුරු අසල කුඹුක් ගස් බහුලව වැවේ. වියළි ප්‍රදේශවලද වැව් ආශ්‍රිතව දක්නට ලැබේ. කුඹුක් පොත්තේ අගනා ඖෂධීය ගුණයක් ඇත. කුඹුක් ලීය තදය, ශක්තිමත්ය. එහි අරටුව රතු පාටට හුරු දුඹුරු පාටය.
✅ කුඹුක් ශාකයේ ඖෂධීය වටිනාකම :
🌿 කුඹුක් කසටය, සිසිල්ය, සෙම් පිත් නසයි, හෘදයට හිතකරයි, වණ ශුද්ධ කරයි. කැඩුණ බිදුණ ඇට සන්ධි කරයි, ශක්තිය වඩයි.හෘදයාබාධ,ලේ මදිකම,විෂ,මේදය වැඩිකම,රුධිර දෝෂ,වණ හා මුත්‍ර අඩස්සිය යනාදිය සුවපත් කරයි.
🌿 පිපාසය සමනය කරයි.එහෙත් වාතය කුපිත කරයි. ආයුර්වේදයේදීත් දේශීය වෙදකමේදීත් කෂාය, පත්තු, මැල්ලුම් හා ආලේප රැසකට කුඹුක් පොතු හා මුල් භාවිතා වෙයි. එමෙන්ම කුඹුක් යනු ඖෂධමය වටිනාකමක් ඇති ශාකයකි.
🌿 කුඹුක් වෘක්ෂයේ අන්තර්ගත රසායනික සංයෝග – පොත්තේ ශර්කරා ටැනින් කැල්සියම්, සෝඩියම් කාබනෙට් ග්ලූකොසයිඞ්, ඇල්කලයින් ක්ලෝරයිඞ්, පොතු යුෂ වල කැල්සියම් සහ ලවණ 23% ක් අඩංගුය. කුඹුක් පොතු භස්මයෙහි කැල්සියම් කාබනෙට් 34% ක් ඇත. ඝෝෂාල් නම් රසායනික විද්‍යාඥයාගේ පර්යේෂණ අනුව වර්ණ කර පදාර්ථ ග්ලූකොසයිඞ් කොටස් කැල්සියම් කාබනෙට් සෝඩියම් කාබනෙට් අන්තර්ගතය.
✅ කුඹුක් ශාකයේ ලබාගන්නා ප්‍රයෝජන :
🌿 ලේ ගලන තුවාල සදහා -කුඹුක් පොතු කුඩු කර ලේ ගලන තුවාල වලට තැබීමෙන් සුව කර තිබෙන අතර, සමේ ඇතිවන රෝග සඳහාද ඖෂධයක් වශයෙන් භාවිතා කරයි.
🌿 දත් දිරා යාම සදහා -කුඹුක් පොතු හීනියට කුඩු කර දත් මැදීමෙන් දත් දිරා යාම වළක්වා දත් ශක්තිමත් කර ගැනීම සිදු කර ඇත.
🌿 මුඛයේ ඇතිවන ආසාදනයන් සඳහා කුඹුක් පොතු තැම්බු වතුරෙන් කට සෝදා ගැනීම කර ඇත.
🌿 කුඹුක් කිරි කෂාය බීම හදවත් රෝගවලට සුව දෙන අත් බෙහෙතකි.
🌿එසේම කුඹුක් පොතු ස්වරසය තල තෙල් මිශ්‍ර කර සතියක් පමණ බීමට දීම මුත්‍ර ගල්වලට සුදුසුයි.
🌿 කුඹුක්, ලෝලු සමඟ තම්බා බීම දිවිමකුළු විසට කරන ප්‍රතිකර්මයකි.
🌿 කුඹුක් පොතු හොඳින් කුඩු කර ලේ ගලන තුවාල මත තැබීම ලේ ගැලීම වළක්වන ක්‍රමයකි. දත් දිරීම වැළැක්වීමට කුඹුක් පොතු සියුම්ව කුඩු කර එයින් දත් මැදීමට ගත හැකිය. කුඹුක් පොතු තැම්බූ වතුරින් කට සේදීම මුඛ රෝගවලට සුදුසුම අත්බෙහෙතකි.
🌿 කුඹුක් පොතුවල අධික කැල්සියම් ප්‍රතිශතයක් අන්තර්ගත වන නිසා එම පොතු දමා ගත් අළු බුලත් විට සඳහා හුණු වෙනුවට භාවිත කිරීමට ගැමියන් පුරුදු වී ඇති බව පෙනේ. එසේම එම පොතු හෘදය දුර්වලතාව නිසා හට ගනු ලබන හෘදයාබාධ වැළැක්වීමට සමත් බව පිළිගැනේ. මෙම පොතුවල හෘද පේශී ශක්තිමත් කරන්නට හැකියාවක් ඇති බව ආයුර්වේද මතයයි.
🌿 කුඹුක් කහට රසැතිය. උෂ්ණ හා සිසිල් ගුණයෙන් යුක්තය. කාන්තිය වඩයි. වණ ශුද්ධ කරයි. කැඩුම් බිඳුම් සුව කරයි.
🌿 තැලීම් සුව කරයි. කුඹුක් පොතු තැම්බූ වතුරින් වණ සේදීමෙන් විෂ නැති වී සම වැඩේ. උදරයේ අජීර්ණ සුව කිරීම සඳහා කුඹුක් දළු මලවා හෝ තම්බා ආහාරයට ගැනීම ගැමියන් අතර ප්‍රචලිත අත්බෙහෙතකි.
🌿 තවද ලේ යන රෝගවලදී කුඹුක් පොතු, මා දම් පොතු යන මේවා කලං හය බැගින් ගෙන හොඳින් චූර්ණ කර තැඹිලි ගෙඩියක ඇස්ස කපා, එය තුළට බහා රාත්‍රියක් තිබෙන්නට හැර උදේ පාන්දර බීමට දීමෙන් සුවපත් වේ. කුඹුක් පොතු, අශෝක පොතු යන මේවා සමව ගෙන කෂාය කර බොන්නට දීමෙන් රක්ත ප්‍රදාරයට ගුණ දේ. දාහයට කුඹුක් පොතු, පුවක් මල් හා තැඹිලි ප්‍රයෝජනයට ගනී.
🌿 කුඹුක් මුල් මගින් පසෙහි අඩංගු අනවශ්‍ය අයන වර්ග උරාගන්නා බැවින් ළිං හා ඇළදොළ ආශි‍්‍රතව වගා කෙරේ. මුල් මගින් ජලය පිරිසිදු කිරීමක් ද අතුපතර විහිදුණු ශාකය නිසා ජලය සිසිල් කිරීමක් සිදුවන බව නොරහසකි.
කුඹුක් ශාකය ගැන නොදන්නා අයට දැන ගැනීමටත් දන්නා ඇත්තන්ගේ දැනුම වැඩිදියුණු වීම සදහාත් මේ පෝස්ටුව හැකි පමණ ශෙයා කරන්න .
විශ්මිත හෙළ ඔසු
0 comments:
Post a Comment