මොනවද මේ ජාඩි කියන්නෙ ? මේ දකුණු පලාතේ මුහුදුකරේ ගම් වල අති ප්‍රසිද්ධ කෑමක්. ජාඩි කන්නත්, ජාඩි හදන්නත් නම් දරාපු උදවිය ඉන්නේ බලපිටිය, දොඩන්දූව, රත්ගම, ගිංතොට, අහංගම වගෙ ගාල්ල, මාතර පලාත්වල. ජාඩි හදන්නෙ මාලු වලින්. ඇත්තටම කිව්වොත් මේ මාලු කල්තියාගන්න සරල ක්‍රමයක්. වැල්ලකරේ ගම් වල මාලු අතිරික්තයක් තියෙන කාලෙට ලුණුත් ගොරකත් දාලා මාලු කල් තියාගත්තා අවාරෙට එහෙම නැත්නම් අහේනි කලෙට කන්න.
ජාඩි හදනන්න අපිට ඕනෙ වෙනවා,
- අලුත් මාලු: වැල්ලෙන් ගෙනාව ගමන් නම් වැඩිය හොඳයි. හුරුල්ල, කුම්බලා, බලයා, අලගොඩුවා, වගෙ මාලු තමයි ගන්නෙ. මාලු හොඳට ලුණු වතුරෙන් හරි, මුහුදු වතුරෙන් හරි හෝදගන්න ඕනෙ. මාලු වල තියෙන වැලි ඉවත් වෙන්න සෝදා ගැනීම වැදගත්. ඊට පස්සේ මාලුන්ගේ ඔලුවත් බඩත් අයින්කරලා ලොකු මාලුන්ගේ නම් පෙති කපාගන්න.
- ලුණු කැට සහ වියලි ගොරකා යහමින් ඕනෙ වෙනවා.
ජාඩි හදනන්නෙ මෙහෙමයි,
- පිරිසිදු වියලි ලොකු මැටි මුට්ටියක් අරගෙන ලුණු ගොරක තට්ටුවක් අතුරලා, මාලු පෙති හෝ මාලුවන් කීපදෙනෙක් තියන්න.
- දැන් ඊට උඩින් ආයෙත් ලුණු ගොරක අතුරලා ආයෙත් මාලු තට්ටුවක් අතුරන්න.
- මෙහෙම ඔක්කොම මාලු අතුරලා ඉවර වෙලා මුට්ටියෙ කට හොන්දට කඩ වැස්මකින් බන්දින්න.
- ඊට පස්සේ වතුර නොවැටෙන, මැස්සන් නොගැවසෙන තැනක මේ ලුණු ගොරක මාලු මුට්ටිය තියන්න. දුම් මැස්ස තමයි මේකට හොඳම තැන.
- මාසයක් විතර ගියහම මාලු ටික ගාණට පදම් වෙලා තියෙනවා.
- ලුණු වල තියෙන ලවණ ගතියට මාලුවගේ ඇඟේ තියෙන වතුර ලුණු උරාගන්නවා.
- ගොරකත් මේ වැඩේට උදව් වෙනවා. ඒ නිසා මාලු නරක් නොවී තියෙනවා.
- මේ මාලු මාසයක් විතර යනකොට කෑමට ගන්න පුලුවන්.
තව පුංචි දේවල් ටිකක්:
වතුර වැටුනොත් , එහෙම නැත්නම් මාලු පරණ වුණොත් ජාඩි හට්ටියෙ පණුවො එකෙක් දෙන්නෙක් හැදෙන්න පුලුවන් කියලා මතයක් තියෙනවා. ඒත් සමහර පැරණි උදවිය කියන්නෙ ඒක එතරම් හිතන්න ඕනෙ දෙයක් නෙවෙයි , පණුවො රස වැඩි කරනවා කියලා.
ජාඩි නිසා අපිට තව අතුරු පලයක් ලැබෙනවා. ඒවට කියන්නෙ "ලුණිජ්ජ" කියලා. අහල තියෙනවද මේ ගැන. ලුණිජ්ජ කියන්නෙ මාලු, ලුණු, ගොරක එක්ක පදම් වෙනකොට හට්ටියේ එකතුවෙන දියරෙට. ලුණිජ්ජත් සමහර කෑම උයනකොට රස කාරකයක් හැටියට කදිමයි. පොලොස් ගැට, කෙසෙල් මුව උයද්දි ලුණිජ්ජ ටිකක් එක්කලහම වෑංජනේ පංකාදු පහයි. පොල්සම්බල් හදලා, දෙහි දානකොට ලුණිජ්ජ ටිකක් එක්කලහම හරි රසයි.
0 comments:
Post a Comment