ගාල්ල දිස්ත්‍රික්කයත් මාතර දිස්ත්‍රික්කයත් එකිනෙකින් වෙන් කැරෙන මුහුදුබඩ සීමාව අහංගම ගොවියාපාන ගඟයි. එගං මෝයෙහි දැනට මුහුදේ තරමෙක ගල් කුළක් ද ඉන් බටහිරට බර වන්නට වෙරළින් මීටර් තුන්සීයක් පමණ ඈත මුහුදේ අලංකාර දූපතක් ද වෙයි. ඒ දූපත අද හැඳින්වෙන්නේ “යක්ෂණීගේ දූව” නමිනි. ගොවියාපාන ගමට ඒ නම ලැබුණේ ගං මෝයෙහි පිහිටි ගල්කුළ නිසාය. පහණ යනු ගලයි.
සඳකඩපහණ ඈ නිදසුනකි. “පහණ හින්දවා” (ගල් සිටුවා) යනුවෙන් පැරණි සෙල්ලිපිවල ද එයි. ගොවියාගේ පහණ (ගොවියාගේ ගල) ගොවියාපහණයි. උච්චාරණයේ පහසුව තකා එය (පහණ පාණ) පාන වෙයි. ඒ අනුව අද එගම ගොවියාපාන නමින් හැඳින්වේ.ඉහත සඳහන් ගල්කුළ එකල ද වූයේ කුඹුරෙහියැ. නැතහොත් ගොවියාගේ නිවස අසලයැ. එහෙයින් විය යුතුයැ එය ගොවියාපහණ වූයේ.
මේ සියල්ල වඩා වැදගත් වන්නේ මුහුද මැද වූ යස්සණීගේ දූවයි. එය මැටි කන්දකි. තැනින් තැන කුදු නොකුදු ගල් කුළින් ද ගැවසුණේයි. පෙර විශාලවැ පැවති ඒ බිම්කඩ මුහුදු කෑමත් මිනිස් කටයුතුත් නිසා අද වට පමණින් මෙන්ම උසින් ද කුඩාවැ සිටී. එහි යෑම සඳහා ඉංගිරිසි පාලන සමයෙහි ගොඩ බිමේ සිට තනන ලද මාවතක් වීයැ. ඒ ගල්වැටියෙන් කොටසක් දැනුදු මුහුදින් මතු වී පෙනේ.
දෙවැනි ලෝක යුද සමයෙහි මේ දූපත නොයෙක් අතින් ප්‍රයෝජනවත් වියැ. වරෙකැ වෙඩි තැබීම සඳහා සෙබළුන් පුහුණු කිරීමේ දී මේ දූපතේ නොයෙකුත් තැන් ඉලක්ක සේ යොදා ගැනිණි. වරෙක කොග්ගල යුද කලාපයෙහි යුදවම් (Military) ඉදිකිරීම් සඳහා මේ දූපතේ ගල් හා මැටි විශාල ප්‍රමාණයක් ගෙන යන ලදී. තවත් වරෙකැ එය සෙබළුන් රැඳී සිටි මුර පොළක් විය. ඒ මුහුදින් ද අහසින් ද සතුරු යානා රට දෙසට ඇදී එද්දැයි සෝදිසි කරනු සඳහාය. දූපතේ පිහිටීමේ හැටියට එහි සිට බලන්නෙකුට දකුණු මුහුදේ හා දළ මුහුදු තීරයේ ඉතා දිගු දුරක් එක එල්ලේ ඇසැ ගැසේ.
යක්ෂණීගේ දූවෙහි ඈත ඉතිහාසය අප්‍රකටයැ. එය පළමු වරට සඳහන් වන්නේ කෝට්ටේ යුගයෙන් මෙපිටැ ලියවුණු ඇතැම් කඩයිම් පොතකය. එහි එය දැක්වෙන්නේ “යකිනිගේ දූව” නමිනි. ඒ යකිනිය කුවේණිය වැන්නවුන් විසූ සමයට අයත් වූවක් ද නැතහොත් ඉන් මෑත මිනිසුන් බිය ගන්වනු සඳහා ගොතන ලද ජනප්‍රවාදවලින් බිහි වූවක්දැයි ඉඳුරා කිව නොහැකියැ.ඇතැම් දිනෙක මැදියම් රැයේ ගිනි කබලක් ගත් ගැහැනියක් දූපතේ සිට ගොඩබිම වෙත එනු තමන් දුටු බව පැරැන්නෝ කියති.
දූපතට නිතර යන්නෝ පවා ඇඳිරි වැටෙන්නට පෙර ඉන් ඉවත් වන්නට අමතක නොකරති. ඒ එහි නොයෙක් අඩිකෝඩ අවතාර ඇති හෙයිනි.කෝට්ටේ යුගයෙහි සන්දේශ රැගෙන මේ අසලින් ගිය කුරුල්ලන්ට පවා මේ රමණීය බිම්කඩ නොපෙනුණු සේ පුදුමයැ. ඉන් කිලෝ මීටර් දෙකක් පමණ නැගෙනහිරින් වූ මානැවියා පොකුණ (අද මුහුදට යට වී) ද ඉන් එතරම්මැ දුරින් බටහිරින් වූ පෝකරපිටිය (අද පියදිගම) ද ඔවුන් සිත් මහත් සේ ඔකඳ කරවන්නට සමත් වියැ.යක්ෂණීගේ දූවෙහි බටහිර කෙළවරේ ගල් කුළක් මතැ තවත් කුඩා ගල් පතුරක් දක්නා ලැබේ. වෙරළේ සිට බලන්නෙකුට එය දිස් වන්නේ රේන්ද කොට්ටයක හැඩයෙනි. එහෙයින් ගම්වැසියෝ එය “යක්ෂණීගේ රේන්ද කොට්ටය” නමින් හඳුන්වති. මේ රේන්ද කොට්ට කතාව එතරම් පැරණි එකක් විය නොහැකියැ.
සිංහලයන් රේන්ද හඳුනා ගන්නේ පුරුතුගීසින්ගෙනි (රේන්ද යනු පුරුතුගීසි වදනකි). රේන්දත් රේන්ද කොට්ටත් රේන්ද කර්මාන්තයත් දිවයිනේ මුහුදු තීරයේ බහුල ප්‍රචාරයට පත්වූයේ ලන්දේසි යුගයේ දීය. එහෙයින් මේ කතාව ඒ යුග දෙකෙන් එකකට අයිති වූවකි.සයුරු තරග වැල සිවු දිගින් ඇදී අවුත් එය සිප ගනී. රිටි පන්න ධීවරයෝ එය අසල මුහුදේ කනුවල නැගී සිය මලු පුරවා ගනිති. ධීවර ඔරු ද එය වටා නිතර දක්නා ලැබේ. සැඳෑ සමයෙහි හිරු බැස යද්දී මුහුද පසුබිම් කොට යක්ෂණීගේ දූවෙන් නැගෙන දර්ශනයේ චමත්කාරය නම් වැණුම් ඉම ඉක්මා සිටී. අද ඉන් අපට වඩා රස විඳින්නෝ විදේශීය සංචාරකයෝයි.
උපුටා ගැනීමකි....
0 comments:
Post a Comment