පොළොන්නරු යුගයෙන් පසු නිමවූ ප්‍රථම ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ☸️🙏 (Wathuravila Aranya Senasanaya ☸️🙏)

අද අපි ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ සැබැවින්ම සිත් සුවපත් කරනු ලබන ආරණ්‍ය සෙනසුනක් ගැන.

ඒ නමින් වතුරවිල වනවාසී ආරණ්‍ය සේනාසනයයි.

ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ඇල්පිටිය කහදුව හරහා මාපලගමට වැටී ඇති බස්‌ මාර්ගයේ කිලෝ මීටර් 18 ක්‌ පමණ ගිය විට තිබ්බොටුවාව ග්‍රාමයේ දී වතුරුවිල ආරණ්‍යය අපට හමුවෙනවා.

අක්‌කර 80 ක පමණ භූමි ප්‍රදේශයක පැතිරි ඇති මේ වන සෙනසුන තුරු ලතාවලින් හෙබි සුන්දර වන අරණකි.

1948 තමා මෙහි ආරම්භය,පසුව 1953 වර්ෂයේ වතුරුවිල තිබ්බොටුවාවේ ගුලනකන්දට වැඩම කළ වතුරුවිල ශ්‍රී ඤාණානන්ද මාහිමිපාණන් මෙම ආරණ්‍ය වාසභූමි කරගෙන තිබෙනවා.

උන්වහන්සේ වැඩම කළ අවස්‌ථාවේ වනසතුන්ගේ නිජ බිමක්‌ වූ මේ බිමේ ගල් ගුහාවකට වී බණ භාවනා කරමින් දුෂ්කර ජීවිතයක්‌ ගතකර තිබෙනවා.

නමුත් අද වන විට මෙවැනි විශිෂ්ඨ ඝනයේ ආරණ්‍ය සෙනසුනක් බිහිවුනේ අතීත කැපකිරීම් නිසා බව කිව යුතුයි.

මෙහි යන ඔබට අතීත සෙනසුනේ නිර්මාතෘ ස්‌වාමීන්වහන්සේ වැඩ සිටි කුටිය උන්වහන්සේ පරිහරණය කළ ගල් ඇඳ ඇතුළු බහු භාණ්‌ඩ දැක ගන්න පුලුවන්.

බවුන් කුටි, සක්‌මන් මළු, ත්‍රිවිඩ චෛත්‍ය , පිණ්‌ඩපාත ශාලාව ඇතුළු විහාර අංග වලින් මෙම භූමිය සමන් විත වනවා.

කුල දරුවන් පැවිදි කිරීමද උපසම්පදා කිරීමද මෙහි සිදු කෙරෙනවා.

අක්කර‍ 80ක පමණ භූමි භාගයකින් යුත් මෙම සෙනසුනෙහි භික්ෂූන් වහන්සේලා 50කට අධික සංඛ්‍යාවක් වැඩ වාසය කරනු ලබනවා.

ඉන් බහුතරය සෙනසුනේ පිරිවෙන්ගතව ධර්ම ශාස්ත්‍රය හදාරනු ලබන සාමණේර භික්ෂූන් වහන්සේලා වෙති. 

මෙවැනි පාරිසරික පසුබිමක ඉදිවන ශෛලමය බුද්ධ ප්‍රතිමාව පිළිබඳව කතාබහට ලක් කළ යුතුම එකක්.

සුන්දර හාත්පස පරිසරය ඒකාලෝක කරමින් නැගී සිටින "කායොත්සර්ග අභය මුද්‍රාවෙන්" යුත් ශෛලමය බුද්ධ ප්‍රතිමාව සැදැහැවතුන් දැහැන්ගත කරලීමට සමත් සංකේතයක් බව කිව යුතුමය.

අඩි 42ක් උස වූ මෙම ශෛලමය හිටි පිළිමය සාදා නිම කරන්න වසර 08ක් ගතවෙලා තියෙනවා.

පොලොන්නරු යුගයෙන් පසු ලාංකික නිර්මාණකරුවන් අතින් නිමැවෙන පළමු ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙය වෙනවා.

අති විශාල ශාසනික මෙහෙවරක කේන්ද්‍රස්‌ථාන වූ වතුරුවිල සේනාසනයේ වර්තමාන දියුණුව දෙස බැලීමේදී දැනෙන සතුට කියලා නිම කරන්න බෑ.

බොදු බැතියන්ගේ ගෞරවාදරයට වන්දනා මාන කටයුතු සඳහාත් භික්‌ෂු අධ්‍යාපනයටත් යොමුවූ වතුරුවිල ආරණ්‍යය අපි රැකගත යුතු උරුමයක් කිව්වොත් නිවැරදී.

මෙවැනි අපේ දායාද රැකගන්න අපි එක්වෙමූ.ඉතින් ඔයාලත් ගාල්ලේ ගිය වෙලාවක මේ සුන්දර පූජා භූමිය වැදපුදාගන්න අමතක කරන්න එපා.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏










උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment