හදමු ද ටිපි ටිපි ටිකක් (Let's Make A Little Tipi Tipi)


කැමතිද පොඩ්ඩො ආස කරන ටිපි ටිප් ගෙදරිදීම හදාගන්න?කඩෙන් ගන්නවට වඩා පුංචි දුවලා පුතාලට මෙහෙම හදලා දුන්නම ගුණයි වගේම ගෙදර හදන නිසා පිරිසිදුයි.
අවශ්‍ය දේවල්:
  • තම්බා පොඩි කරගත් අල කප් 2(ලොකු අල ගෙඩියක තරමට)
  • කෝන් පිටි තේ හැදි 4
  • කහ චුට්ටක්
  • ලුණු කුඩු රස අනුව
  • කරපිංචා කොළ හීනියට කපලා(ඔයාලා කැමති නම් කොත්තමල්ලි,සුදුළුණු කොල චුට්ටක් උනත් කමක් නෑ)
  • චීස් ටිකක්(මොසරැල්ලා)
  • බිත්තරයක්
  • ඊස්ට් තේ හැදි 3
  • කිරි කෝප්ප ⁣2(පි⁣ටිකිරි උනත් කමක් නෑ)
සාදන ආකාරය:
  1. අල තම්බාගෙන හොඳින් පොඩි කරගෙන ඒකට කෝන් පිටි ටික එක් කරගන්න.
  2. ලුණු චුට්ටක්,කහ චුට්ටක් දා ගන්න.(අල තම්බන කොට ලුණු චුට්ටක් දාලා තම්බ ගන්න)
  3. ඉන්පසු කරපිංචා කෑලි ටික එක් කරගන්න. ඒකටම චීස් ටික,බිත්තරය,ඊස්ට් හැදි තුන, එකතු කර ගන්න.
  4. කිරි කෝප්පය දමමින් හොඳින් කවලම් කරගන්න. උකු ගතිය මදි නම් තව කිරි ටිකක් යොදා ගනිමින් ටිකක් විතර ඝන මිශ්‍රණයක් සකස් කරගන්න. ඊට පස්සෙ මේක පැය බාගයක් පමණ හොඳට වහලා තියන්න.
  5. ඉන්පසු තාච්චියක් ලිප තබා ඒකට තෙල් දමන්න. රත් කරගන්න. මේක ගැඹුරු තෙලේ බදින නිසා තෙල් ටිකක් වැඩිපුර අවශ්‍යයි.
  6. දැන් අර මිශ්‍රණය අරගෙන පයිපින් බෑග් එකකට දාලා එහෙමත් නැත්නම් පොලිතින් බෑග් එකක කෙළවර මදක් කපා, ඔයාලා කැමති නම් නොසෙල් එකක් දාගෙන කැමති හැඩයක් ගන්නත් පුළුවන්.
  7. ඉන්පසු තෙල් ටික හොදට රත් උනාම අර මිශ්‍රණය කෑලි කෑලි එන විදියට තෙල් එකෙ තැනින් තැනට වත් කරගන්න. ටිකකින් ඒවා පිපිලා උඩට එනවා ඔයාලට පෙනෙයි. රන්වන් පාටට බැදීගෙන එනවිට ( ගොඩාක් දුඹුරු පාට වනතුරු තියන්න එපා ) ලිපෙන් අයින් කරලා තෙල් බේරෙන්න තියන්න.
  8. සැරට අවශ්‍ය නම් ඔබගේ කැමැත්ත අනුව මිරිස්කුඩු ටිකක් යොදා ගැනීමටද පුළුවන්.

0 comments:

Post a Comment